ඕනෑවට වඩා රැස්වීම් ලංකාවේ සංවර්ධන ගැටලුවකි
අජිත් පැරකුම් ජයසිංහ
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වැඩ නොකිරීම යයි පසුගියදා ජනාධිපතිවරයා රැස්වීමකදී පැවසීය.
වැඩ කරන්නට බැරිවෙන්නට ප්‍රධාන හේතුවක් වන්නේ වැඩකට නැති රැස්වීම් බව හා බොහෝදෙනෙකුට වැඩ යනු ද රැස්වීම් බව සඳහන් කරමින් අප විසින් පළ කරන ලද ෆේස්බුක් පෝස්ටුවක් සම්බන්ධයෙන් ගැඹුරු සංවාදයක් ඇති විය.
එයින් පැහැදිලි වූ කරුණ වන්නේ මෙම සටහන තමන මා ද ඇතුළුව බොහෝ සේවකයන් රැස්වීම් සම්බන්ධයෙන් දැඩි ලෙස අසහනයට පත් වී සිටින බවයි.
තීරණ ගැනීම, වැඩ සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගති සමාලෝචනය, අධීක්ෂණය හා ඇගයීම සඳහා රැස්වීම් අවශ්‍යය. එහෙත්, ප්‍රශ්නය එය නොවේ. අනවශ්‍ය රැස්වීම්ය. එසේම, රැස්වීම්වලදී සිදුවන කාලය කාදැමීම්ය. එහෙයින් නිලධාරීන්ට වැඩ කරන්නට කාලය ඉතිරි නොවීමයි.
මෙවැනි රැස්වීම් කාර්යාල, ප්‍රාදේශීය, පළාත් හා ජාතික මට්ටමෙන් පමණක් නොව ජාත්‍යන්තර මටටමෙන් ද පැවැත්වේ. කාලයට අමතරව, මහජන මුදල් ඇතුළු ධනය, ඉන්ධන හා පොදු සම්පත් ද ඒ වෙනුවෙන් නාස්ති වේ.
රැස්වීම් සංවිධානය කිරීම ඇතැම් විට ව්‍යාපෘතියකි. ව්‍යාපෘති යෝජනාව අනුව රැස්වීම්වල සහභාගිත්ව ඉලක්ක තිබේ. ඒ නිසා, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැස්වීම් සඳහා පැමිණීමේ දීමනාවක් හෝ ගමන් ගාස්තුවක් හෝ ගෙවයි. ඇතැමෙකු රැස්වීම්වලට සහභාගී වන්නේ එය ලබාගැනීමටයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ම රැස්වීම්වලට සහභාගී වීම වෙනුවෙන් දීමනාවක් ගෙවන්නේ වැටුපට අමතරව ය. මෙය වෙනත් මහජන නියෝජිත සභාවලට ද බෝවී තිබේ.
මේ පිළිබඳ අදහස් පළ කරමින් කළමනාකරණ විශේෂඥවරයකු වන නිශාන්ත කමලදාස මෙසේ පැවසීය.
රැස්වීමක් කැඳවිය යුත්තේ නැතිවම බැරි නම් ය. ඒ සඳහා කැඳවිය යුත්තේ නැතිවම බැරි අය ය. එහි දී කතා කළ යුත්තේ කතා නොකරම බැරි දේ ය. එයට ගත කළ යුත්තේ ගත නොකරම බැරි කාලය පමණ ය. එය භාවිතා කරන්නේ අදහස් ලබා ගැනීම සඳහාත් සම්මුති ඇති කර ගැනීම සඳහාත් පමණක් නම් වඩාත් හොඳ ය. එය උපදෙස් දීම සඳහා භාවිතා කළ යුත්තේ අවම වශයෙනි. එය කාට හෝ මුදුනා වීමට ඉඩක් නොවිය යුත්තේ ය. එය බණ දෙසීම සඳහා නම් භාවිතා නොකළ යුත්තේම ය.
මෙම කරුණ පිළිබඳ ඔහු විසින් ලියන ලද අනගි බ්ලොග් ලිපියක් පහත සබැඳිය ඔස්සේ කියැවිය හැකිය.
රැස්වීම් …රැස්වීම්…. – ඉවරයක් නැති වැඩකුත් නැති රැස් පමණක් ඇති රැස්වීම්…
සමාජ ක්‍රියාකාරිකයකු වන සිරිල් පතිරණගේ මෙසේ පැවසීය: “කිසි වැඩකට නැති කථා සාප්පු. සමහර අය නිදි. තව තියෙනව වැඩමුළු, සම්මන්ත්‍රණ, කියවන එකා පණ යනකල් කියවනව. අනෙක් අය ඈනුම් ඇර ඇර කොයිවෙලේ ඉවර වේද කිය කියා බලා ඉන්නවා.”
කෙසේ වෙතත්, මෙවැනි වැඩකට නැති රැස්වීම්වලට සහභාගී වෙමින් ඒවායේ කතා පැවැත්වීම ම ජීවනෝපාය කරගත් පිරිසක් සිටිති. ඇතැමෙකු මෙම කතා සාප්පුවල සම්පත් දායකයෝ වෙති. (මේ ලියන මට ද ඉඳහිට එවැනි අවස්ථා ලැබේ.) මෙවැනි ඉහළ පෙළේ රැස්වීම් සංවිධානය කිරීම, ඒවාට වේදිකා සැකසීම, ඩිජිටල් ප්‍රින්ටිං කිරීම, ශබ්ද උපකරණ කුලියට දීම, ඒවාට එක එක විසිතුරු බඩු සැපයීම, ආහාර පාන සැපයීම, ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම, සිංදු කීම, නැටීම, විහිළු කිරීම, ෆොටෝ බූත් සැපයීම ආදී නානාවිධ විප්‍රකාර මගින් මුදල් ගරා ගන්නා වැඩකට නැති අවස්ථා හෙවත් ඉවන්ට් කළමනාකරණය කිරීමේ කර්මාන්තයක් ම බිහි වී තිබේ.
“රැස්වීම සහ ක්‍රියාවේ නියැලීම අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර වේ. එක්කෝ ඔබ රැස්විය යුතුයි නැතිනම් ඔබ ක්‍රියාවේ නියැලිය යුතුයි,” යනුවෙන් පීටර් ඩ්‍රකර්ගේ ප්‍රකාශයක් උපුටා දක්වන අතුල සෙනෙවිරත්න පලදායි රැස්වීමක් සඳහා ස්වර්ණමය රීති දහයක් ද උපුටා දක්වයි:
1. රැස්වී සිදුකලයුතු යමක් තිබේ නම් පමණක් රැස් වෙන්න.
2. අවශ්‍ය අය හොඳින් හඳුනාගෙන ඔවුන්ට පමණක් ආරාධනා කරන්න.
3. හොඳ න්‍යාය පත්‍රයක් පිළියෙළ කර එය රැස්වෙන හැම දෙනාට කල්තියා ලබාදෙන්න.
4. රැස්වීමේදී යම් කිසිවෙක් ඉටු කලයුතු භූමිකාවක් වේ නම් ඒ බව අදාළ අයට කල් තියා දැනුම් දෙන්න.
5. සාකච්චාවට බඳුන් වීමට නියමිත කාරණාව පිලිබඳ ලුහුඬු තොරතුරු කල් තියා ලබා දෙන්න.
6. වෙලාවට පටන්ගන්න.
7. න්‍යාය පත්‍රයෙන් බැහැර නොවන්න.
8. සටහන් තබාගන්න. විශේෂයෙන් ම, ගතයුතු ක්‍රියාමාර්ග පිලිබඳ ගත් තීරණ ක්‍රියා කලයුතු පාර්ශව, කඩඉම්, සහ කාල රාමු සහිතව සඳහන් කරගන්න.
9. වෙලාවට නිම කරන්න.
10. රැස්වීමේ වාර්තා සටහන් අනවශ්‍ය ප්‍රමාදයෙන් තොර ව ලබා දෙන්න.
වැඩකට නැති රැස්වීම් සම්බන්ධයෙන් නිලධාරීන් අතර ප්‍රසිද්ධ විහිළු තිබේ.
NATO: No ActionsTalks Only
UNCTAD: Under No Circumstances Take Any Decisions