අත්අඩංගුවට ගන්නා සියලු මුස්ලිම් මිනිසුන් ත්‍රස්තවාදීන් ද?
1971, 1989 කැරැලි සමයන්හිදී පොලිසිය හා හමුදාව පමණක් නොව අතුරු හමුදා පවා සිංහල මිනිසුන්, ගැහැනුන් අයුක්ති සහගත ලෙස අත්අඩංගුවට ගත්තා. බොරු චෝදනා එල්ල කළා. ඝාතනය කළා. ඇතැම් අය බොරු චෝදනා මත සිරගත කිරීමත් සිදු වුණා. ඇත්ත චෝදනා තිබුණු අය නිදහස් වීමත් සිදුවුණා. ඒ කරුණු සිංහල සමාජයේ බොහෝ දෙනා හොඳින් දන්නවා.
තිස් අවුරුදු යුද්ධය මැද ඔය දේවල් ඒ විදියට ම සිදු වුණ ආකාරය ගැන දෙමළ සමාජය ද හොඳින් දන්නවා.
උසස්වීම් ගන්න, කැපී පෙනෙන්න, මාධ්‍යවල පෙනී ඉන්න, දේශපාලන වාසිගන්න, තමන්ගේ අඩුපාඩු වහගන්න, පෞද්ගලික පලිගැනීම්වලට, කප්පම් ගන්න එහෙමත් මිනිසුන් බොරු චෝදනාවලට පටලැවීම එදත් සිදු වුණා. අදත් සිදුවෙනවා.
වර්තමාන කාලය තරමක් වෙනස්. රජය සැකකරුවන් මරාදැමීම ප්‍රතිපත්තියක් ලෙස පිටුදැක තිබෙනවා. ඒ නිසා ආරක්ෂක අංශ එයින් ඈත් වී සිටින බව ඇත්ත. හේතුව එවැනි වැරදි ක්‍රියා කරන අයට දැන් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නැතිකමයි. එහෙත්, එදා සිදු වුණ වැරදි කිසිවක් අද සිදු වන්නේ නැතැයි කියන්නට පුළුවන් ද?
සහරාන් හසීම්ගේ නායකත්වයෙන් පාස්කු ඉරිදා සිදු කරන ලද බෝම්බ පිපිරවීම් මාලාවෙන් පසු ත්‍රස්තවාදය සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය තමයි වැඩි ම සැකයට භාජනය වී තිබෙන්නේ. ඉස්සර වගේ ම තමයි. තිස් අවරුදු යුද සමයේ හැම දෙමළ ජාතිකයකු ම ත්‍රස්තවාදියකු යයි සැක කළ පරිද්දෙන් ම දැන් හැම මුස්ලිම් ජාතිකයකුමත් සැකයට භාජනය වෙනවා.
හැම සිංහල තරුණයකු ම ත්‍රස්තවාදියකු යයි සැක කළ සමයක් ද මේ රටේ තිබුණා.
අපේ මූලික කතාව මේකයි. මේ දිනවල නිතිපතා මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට ගැනෙනවා. මාධ්‍ය ඔවුන් ගැන කතා වාර්තා කරනවා. ඒ කතාවලට මූලාශ්‍රය වන්නේ පොලිසිය සපයන තොරතුරුයි. ඉස්සර වගේ ම, උසස්වීම් ගන්න, කැපී පෙනෙන්න, මාධ්‍යවල පෙනී ඉන්න, දේශපාලන වාසිගන්න, තමන්ගේ අඩුපාඩු වහගන්න අදත් නිලධාරීන් බොරු නොකරන බවට කාටද සහතික විය හැක්කෙ?
මේ හේතුවෙන් අදත් මුස්ලිම් මිනිසුන්, විශේෂයෙන් ම තරුණයන් පීඩාවට පත්වෙනවා වෙන්නට පුළුවන්. පාස්කු ඉරිදා ප්‍රහාරවල උණුසුම තවමත් මැකී ගොස් නැති නිසා සමාජය තවමත් ත්‍රස්තවාදී සැකකරුවන්ගේ මානව හිමිකම් ගැන උනන්දු වෙන්නේ නැහැ.
ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් ගැන අප සැලකිලිමත් විය යුතු නැහැ. ඒත්, ත්‍රස්තවාදීන් ලෙස සැකපිට අත්අඩංගුවට ගත් හැම කෙනෙකු ම ත්‍රස්තවාදියකු නොවන්නට පුළුවන්. එහෙම දේ එදත් වුණා. අදත් වුණා. වැරදි සැකයට භාජනය වීමක් නිසා අහිංසකයෙකු පීඩාවට පත්වෙන්නට පුළුවන්. ඒ වගේ ම, ඇතැමෙකු අන්තවාදය සරණ ගියේ නොමග යාමෙන් වෙන්නට පුළුවන්. එම පුද්ගලයා පුනරුත්ථාපනය කළ හැකි අයෙකු වන්නට පුළුවන්.
විනිශ්චය කරන්නට යන්න එපා. හැබැයි මාධ්‍යකරුවන් ලෙස කතාවක හැම පැත්තක් ම විමසා බැලීමේ වරදක් නැහැ. මේ අප සමග සම්බන්ධ කණ්ඩායමක් විසින් සිද්ධියක් පිළිබඳ කරන ලද එවැනි අධ්‍යයනයක්.
එයට මෙතැනින් පිවිසෙන්න. අත්අඩංගුවට පත් හොරොව්පතානේ පස්දෙනාගේ බැංකු ගිණුම්වල කෝටි 100ක් යන පුවත ඇත්තද? >>