පරිස්සම් වන්න. ආණ්ඩුව මාධ්‍ය මර්දනය කරන හැටි දැනගන්න
මේ වන විට, ආණ්ඩුව විසින් කොවිඩ්-19 සම්බන්ධයෙන් ගනු ලබන පියවර හා ලබාදෙන තොරතුරු පිළිබඳ මහජන විශ්වාසය පලුදු වී තිබේ. කොවිඩ් මර්දන කටයුතුවල ප්‍රධානියා එළඹෙන සඳුදා සිට සංචරණ සීමා ඉවත් කරන බව කියූ කටින් ම ඊට පැය කීපයකට පසු එම සංචරණ සීමා ජුනි 21 දින දක්වා දීර්ඝ කරන බව නිවේදනය කළේය.
රජය ගැන පවතින අවිශ්වාසය හේතුවෙන් විශේෂයෙන්ම කටකතා වේගයෙන් පැතිර යන අතර ඒවා පතුරුවා හැරීමේ ප්‍රධාන මාධ්‍යය බවට පත්වී තිබෙන්නේ සමාජ මාධ්‍යයි. මාධ්‍යකරණය, නීති රීති හා ආචාරධර්ම පිළිබඳ අවබෝධයක් නොමැති ඇතැම් වගකීම් විරහිත පුද්ගලයන් විසින් ව්‍යාජ පුවත්, දුස්තොරතුරු හා ද්වේෂ සහගතව නිර්මාණය කරන තොරතුරු ද වෛරී ප්‍රකාශ ද වර්තමානයේ මාධ්‍ය සම්බන්ධ ප්‍රධාන ප්‍රශ්නයක් බව ඇත්තය. එහෙත්, ඒවාට මුවාවෙමින් රජය විසින් ගනු ලබන පියවර සීමාව ඉක්මවා යන බවක් ද පෙනේ.
ශ්‍රී ලංකා පොලීසිය විසින් ‘අසමගිය, වෛරය හා කෝවිඩ්-19 වැඩසටහනට බාධා ඇති කරන ව්‍යාජ පුවත්, ඡායාරූප, වීඩියෝ බෙදාහැරීම’ මැයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මාධ්‍ය මර්දනය සම්බන්ධ අලුත්ම සිද්ධියයි.
ව්‍යාජ පුවතක් වන්නේ හෝ නොවන්නේ කුමක්ද යන්න තීරණය කිරීම භාර පොලිසිය ඇතුළු විධායක බලය ඇති අය පිළිබඳ සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා රඳවා තැබීමට තීරණය කරනු ලබන පදනම පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් විමසා තිබේ.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, මූලික අයිතිවාසිකම් වන කතාකිරීමේ හා ප්‍රකාශනයේ නිදහසට බාධාකිරීම සඳහා පොලිස් නිලධාරීන් විසින් ඒවා අවභාවිතා කළ හැකිය. කෝවිඩ්-19 අධි වසංගතය හේතුවෙන් පනවා තිබෙන සංචරණ සීමාවන් පවතින අතරතුර මහජනතාවගේ කතාකිරීමේ හා ප්‍රකාශනයේ නිදහස සහ විරුද්ධ වීමේ හා එකඟ නොවීමේ නිදහස ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යය,” යි ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙයි.
ආණ්ඩුව විසින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට කරනු ලබන බාධා මාලාවක්ම පසුගිය දිනවල වාර්තා විය.
ජනමාධ්‍ය වෙත ප‍්‍රකාශ නිකුත් කිරීම යන ශීර්ෂය යටතේ 2020-05-10 දාතමින් යුත් ලිපියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සියලූ රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන් වෙත යවන ලදී. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නිලධාරීන් ‘‘විවිධ කණ්ඩායම් වශයෙන් හා පුද්ගලිකව නිවැරදි නොවන තොරතුරු මත පදනම් වූ සෞඛ්‍ය තොරතුරු හා දත්ත ඉදිරිපත් කරමින්ද සෞඛ්‍ය ප‍්‍රතිපත්ති විවේචනය කරමින්ද ජනමාධ්‍ය ඔස්සේ විවිධ ප‍්‍රකාශ සිදු කිරීමේ ප‍්‍රවණතාවක් දක්නට ඇති බව’’ එම ලිපියෙහි සඳහන් කරන ලේකම්වරයා, ආයතන සංග‍්‍රහයේ වගන්ති කිහිපයක් උපුටා දක්වමින්, එම විධිවිධාන නොතකා ක‍්‍රියා කරන නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බව දැනුම් දී තිබේ.
එම වගන්ති නම් ආයතන සංග‍්‍රහයේ II වන කාණ්ඩයේ XLVII පරිච්ඡේදයේ 6 සහ 7 වගන්ති සහ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති හෝ පරිපාලන ක‍්‍රියාමාර්ග හෝ සම්බන්ධයෙන් අදහස් ප‍්‍රකාශ කිරීම හා විවේචනය කිරීම සම්බන්ධයෙන් විධිවිධාන පවතින ආයතන සංග‍්‍රහයේ 1 වැනි කාණ්ඩයේ XXXI පරිච්ඡේදයේ 3වන වගන්තියද එම වගන්තිය සංශෝධනය කරන 2019.02.27 දිනැති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ අංක 06/2019 ද වේ.
මෙම ලිපිය, සමස්ත සෞඛ්‍ය සේවකයන්ගේ අදහස් පළ කිරීමේ නිදහසටද සංවිධානය වීමේ නිදහස, වෘත්තීය සමිති අයිතිවාසිකම් යනාදියටද දැඩි බලපෑමක් ඇති කරන අතර අනෙක් අතට තොරතුරු දැනගැනීමේ නිදහසටද, ජනමාධ්‍ය නිදහසටද දැඩි තර්ජනයක් එල්ල කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
එමෙන්ම එම ලිපියේ නීත්‍යනුකූලභාවය පිළිබඳව ගැටලූ මතු වන අතර මූලික අයිතිවාසිකමක් වන අදහස් පළ කිරීමේ නිදහස, ආයතන සංග‍්‍රහයේ විධිවිධානවලට වඩා ඉහළින් පවතින බව 76/2012 දරන මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව හරහා ශ්‍රෙෂ්ඨාධිකරණය මගින්ද තහවුරු කර ඇති බව ද එම සංවිධානය පෙන්වා දෙයි. (පී.එස්. මනෝහාරි පැල්කැටිය එදිරිව එච්.එම්. ගුණසේකර සහ වෙනත් අය- නඩු අංකය 76/2012)
එමෙන්ම 2016දී තොරතුරු අයිතිය මූලික අයිතියක් ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවට ඇතුළත් කෙරුණු අතර 2016 අංක 12 දරන තොරතුරු ලබාගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි විධිවිධාන ඊට පෙර බලපැවැත්වූ නීතිවලට ඉහළින් බලපැවැත්වෙන බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වතු හා නාගරික කටයුතු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චමල් සංජීව ප‍්‍රකට සෞඛ්‍ය සන්නිවේදකයෙකි. ජනමාධ්‍යවලට ප‍්‍රකාශ ලබා දීම සම්බන්ධයෙන් මැයි 31 වැනිදා මූලික විමර්ශනය සඳහා කටඋත්තරයක් ගැනීමට පැමිණෙන ලෙස, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – මහජන සෞඛ්‍ය සේවා (පාලන) විසින් ඔහුට දැනුම් දී තිබිණි. මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට රට ලොක්ඩවුන් නොකළහොත් ඇති විය හැකි ප‍්‍රතිවිපාක පිළිබඳව 2021 මැයි 16 දිවයින පුවත්පතේ පළ කළ ලිපියක් හා ඉන් පසුව යූ ටියුබ් නාලිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් මෙම පරීක්ෂණය හේතු වී තිබේ. සෞඛ්‍ය ලේකම්වරයා විසින් 2020-05-10 දාතමින් නිකුත් කර ඇති ලිපිය ක‍්‍රියාවට නැංවීමක් ලෙසද මෙය නිරීක්ෂණය කළ හැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. අදාළ යූටියුබ් සාකච්ඡාව පහත දැක්වේ:
වන විනාශය පිළිබඳ සාවද්‍ය තොරතුරු සිය ෆේස්බුක් ගිණුමේ පළ කළේය යන චෝදනාව මත, කොත්මලේ සහකාර ඉඩම් නිරවුල් කිරීමේ කොමසාරිස් චමිල් ඉන්දික ජයසිංහ මැයි 21 වැනිදා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. දණ්ඩ නීති සංග‍්‍රහයේ 120 වගන්තිය යටතේ ‘රජයට එරෙහිව ජනතාව කුපිත කිරීම’ යන චෝනාව මත සැකකරු කොළඹ අංක 7 මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර අධිකරණය විසින් ඔහු ඇප මත නිදහස් කරන ලදී. ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ඒකකය විසින් සිදු කළ පරීක්ෂණයේදී හෙළි වූ කරුණු අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප‍්‍රකාශ කළේය.
මෙම අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එය අදහස් පළ කිරීමෙන් හා විවේචනයෙන් වැළකිය යුතු බවට රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන අඳුරු බියගැන්වීමේ සංඥාවක් බවත් රාජ්‍ය සේවකයන්ටද පුරවැසියන් ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හිමි සෑම අයිතිවාසිකමක්ම අනුල්ලංඝනීයව භුක්ති විඳීමේ නිදහස තිබිය යුතු බවත් අවධාරණය කළේය.
අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් මේ වන විට උද්ගතවී ඇති භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහසට සිදු වන ත්ර්ජනයන් සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසයි: “ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ යසිරු කුරුවිටගේ මැතිව් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අපගේ දැඩි අවධානය යොමු වී ඇත. ඔහු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන ආකාරය දෙස අප විමසිලිමත්ව බලා සිටින අතර වාර්තා වී ඇති පරිදි අත්අඩංගුවට ගැනීමේදී ඔහුට විරුද්ධ චෝදනාව කුමක්දැයි දැන්වීමට අත්අඩංගුවට ගැනීමට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අපොහොසත් වී ඇත. ඒ අනුව එකී අත්අඩංගුවට ගැනීම නීතියෙන් නියම කරනු ලැබූ කාර්යපටිපාටියට අනුව සිදු වී ඇත්ද යන්න පිළිබඳව සැක මතු වී ඇත. යසිරු කුරුවිටගේ මැතිව් මහතාට නීතියේ සර්වසාධාරණ රැකවරණය ලබා දෙන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති මූලික අයිතිවාසිකම්හි රැකවරණය ලබා දෙන ලෙසත් අපි රජයට බල කර සිටිමු.”
මාධ්‍ය අවකාශය තුළ කොවිඩ් 19 තත්ත්වය හා අනෙකුත් සංවේදී කාරණා පිළිබඳ ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරන්නන්, පතුරවන්නන් සෙවීම සඳහා සහ ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කර ඇති බව පසුගියදා පොලිස් මාධ්‍ය ප්රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
ඒ පිළිබඳ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය මෙසේ පවසයි: “2021ක්වූ ජූනි මස 08 වන දින පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයේද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය විස්තරාත්මකව විස්තර කරමින් චෝදනාවන් ගොනු කල හැකි අණ පනත් ගණනාවක් ජනතාවට පෙන්වයි.
“එහි දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියද සඳහන් කිරීම පිළිබඳ අපි මවිතයටත් කණස්සල්ලටත් පත් වෙමු. ලංකාණ්ඩුවට විරුද්ධත්වයක් පළ කිරීම අපරාධ වරදක් බවට පත් කරන එය යටත් විජිත යුගයේ ආචීර්ණ කල්පික නීතියක් වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට සහතික වී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියට මුල් තැන දෙමින්, පුරවැසියන්ට ආණ්ඩුවට විරුද්ධව භාෂණයෙන් හා ප්‍රකාශනයෙන් කටයුතු කල හැකි බවත් උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අවස්ථා ගණනාවකදී අඛණ්ඩව තහවුරු කර ඇති බවත් අපි පෙන්වා දීමට කැමැත්තෙමු. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතේ 3 වන වගන්තිය මඟින් සිදු කරන අත්අඩංගුවට ගැනීම් පිළිබඳ මේ වන විටත් සමාජයේ විවේචනයට ලක් වී ඇති බවත් පෙන්වා දෙන අපි සමාජ මාධ්‍යයේ කෙටි කතාවක් පළ කිරීම හේතු කොට ගෙන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන යටකී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මාස කිහිපයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කල ශක්තික සත්කුමාර නම් ලේඛකයාට චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු නැති බව පැවසූ හෙයින් නිදොස් කොට නිදොස් වූ අයුරුද මෙහිදී සිහිපත් කරමු.
“ජූනි මස 08 වන දිනම පාර්ලිමේන්තුව තුළදී ප්‍රකාශයක් නිකුත් කරන පොලීසිය භාර ඇමති සරත් වීරසේකර මහතාද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයට සමාන ප්‍රකාශයක් පුනරුච්චාරණය කරයි. පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාද විපක්ෂයේ මන්ත්‍රීවරයකුට ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් ගැනත්, ඒවා නියාමනයට ළගදී ගෙන එන පනතක් ගැනත් ඉඟි පළ කරයි. මේ සියළු සිදුවීම් මගින් පෙනී යන්නේ ආණ්ඩුවේ මතය විවේචනය කරමින් තම භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස භුක්ති විඳින සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් බිය ගැන්වීමට ආණ්ඩුව උත්සහ දරන බවයි.
“සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ද මාධ්‍ය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කල යුතු බව අප පිළිගන්නා අතරම සමාජ මාධ්‍ය භාවිතා කරන ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා දඩමීමා කරගනිමින් පොදුවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන් හා පොදු සමාජය බිය ගැන්වීම් සිදු කිරීම නවත්වන ලෙසද අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.”