Fuse

ඉන්දු ලංකා වයර් අතර ෆියුස් එක පළාත් සභාද?

අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ ජනවාර්ගික හෝ ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීමේ උවමනාව තමන්ට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම පවසයි. ඒ සඳහා ඔහු උතුරු නැගෙනහිර දෙමළ නායකයන් සමග සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. ඉන්දියාවේදී ද ඒ පිළිබඳ සාකච්ඡා කරන ලදී. පසුගිය ජුලි 26 දින සර්ව පාක්ෂික සමුළුවක් කැඳවමින් එහිදී ද ඔහු තම අභිලාෂය ප්‍රකාශයට පත් කළේය.

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ අන්දමින් ක්‍රියාත්මක කිරීම හෝ එය ඉක්මවා යන සංශෝධනයක් සිදුකිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව පෙනේ. කෙසේ වෙතත්, සුපුරුදු පරිදි, බොහෝ දේශපාලන බලවේග මෙම ක්‍රියාවලිය දෙස හුදු දේශපාලනිකව පමණක් බලන ආකාරයක් ද දැකිය හැකිය. එහිදී, දෙමළ ඡන්ද මෙන්ම, සිංහල ඡන්ද ගැන ද ඔවුන් අධි සංවේදීය. ජනාධිපතිවරයාට ද එය අදාළය. ඔහු ද මීළඟ ජනාධිපතිවරණයට තරග වදිනු ඇති බව ප්‍රත්‍යක්ෂය. දෙමළ ජාතික සන්ධානය හා එහි ප්‍රතිවාදී දෙමළ ජාතික ජනතා පෙරමුණ අතර වැඩියෙන් දෙමළ ජාතිකවාදී වීම සඳහා පවතින තරගය ද මෙහිදී අදාළය.

ජාතික මැතිවරණයක් වෙත ළං වෙමින් සිටින ඉන්දියාවට හා අගමැති මෝදිට ද ලංකාවේ ජාතික ප්‍රශ්නය මේ මොහොතේ ඉතා වැදගත්ය. එහෙත්, එහි පවතින්නේ දේශපාලන බලය පිළිබඳ කාරණාවක් පමණක් නොවන බව අවධාරණය කළ යුතුය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බංකොලොත්භාවය පිළිබඳ ප්‍රශ්නය හමුවේ වර්තමානයේදී අනුගමනය කරමින් සිටින ආර්ථික මූලෝපාය සාර්ථක කරගැනීම සඳහා ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කලක සිට සඳහන් කරමින් සිටියි. වත්මන් ආර්ථික මූලෝපාය විවේචනය කරන්නන්ට ද කියන්නට තිබෙන්නේ අවශ්‍ය මෙකී ආර්ථික වර්ධන වේගය අත්පත් කරගැනීම දුෂ්කර බවයි. ඒ නිසා ලංකාවේ ආර්ථිකය කවදා හෝ යළි කඩාවැටෙනු ඇතැයි සතුටින් අපේක්ෂා කරන විපක්ෂ දේශපාලන බලවේග තිබේ. මෙම බලවේග විසින් විකල්ප ආර්ථික මූලෝපායක් ද ඉදිරිපත් කර නැත.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය අතරතුරු ප්‍රකාශයට පත්කරන ලද ඉන්දු – ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම මෙහිදී දෙරටටම අතිශය වැදගත් වේ. ඉන්දියාවේ ඇත්තේ තිරසාර හා වේගවත් ආර්ථික වර්ධනයකි. එහි සුවිසල් තාක්ෂණික දියුණුවක් සිදුවෙමින් තිබේ. ශ්‍රී ලංකාව ආර්ථිකය යථා තත්වයට පත්කර ගනිමින්, ප්‍රතිසංස්කරණ හරහා වර්ධනය අත්පත් කරගන්නටත්, ස්ථාවරත්වය ඇති කරගන්නටත් උත්සාහ කරමින් සිටියි. දෙරට උත්සාහ කරනුයේ සමීප හා ගැඹුරු ද්විපාර්ශ්වික ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට සහ වර්ධනය ඉහළ නැංවීමට තිබෙන මෙම සුවිශේෂී අවස්ථාව උපයෝගී කරගැනීමටයි.

‘සම්බන්ධතාවය ප්‍රවර්ධනය කරමින්, සමෘද්ධිය උත්ප්‍රේරණය කිරීම’ ඉන්දු-ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම නම් කර තිබෙන ආකාරයයි. එහිදී එහිදී දෙරට අතර සමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ, ආර්ථික සහ මූල්‍ය සබඳතා මෙන්ම අන්තර් පුද්ගල සබඳතා ඔස්සේ ශීඝ්‍ර වර්ධනයක් එහිදී ඉලක්ක කරනු ලැබේ. පහත දැක්වෙන්නේ එහි මූලිකාංග පිළිබඳ සාරාංශයකි.

නාවික සම්බන්ධතාව: කලාපීය සැපයුම් සහ නාවික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණින් කොළඹ, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරාය සහ සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම, ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවා නැවත ආරම්භ කිරීම සහ රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම අතර සහ අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වන තවත් ස්ථාන අතර යාත්‍රා සේවා කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කිරීම.

ගුවන් සම්බන්ධතාව: යාපනය සහ චෙන්නායි අතර දැනට ආරම්භ කර තිබෙන ගුවන් සබඳතා කොළඹ, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ගමනාන්ත වෙත පුළුල් කිරීම. පලාලි ගුවන් තොටුපල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුළුව සිවිල් ගුවන් සේවා සඳහා ආයෝජන සහ සහයෝගීතාව.

බලශක්ති සහ විදුලි බල සම්බන්ධතාව: ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කිරීමේ සහයෝගීතාව ඔස්සේ 2030 වන විට බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම. කලාපීය රටවල් අතර ද්විපාර්ශ්වික විදුලි වෙළඳාම සක්‍රීය කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ ධාරිතාවයකින් යුත් විදුලිබල ජාල අන්තර් සම්බන්ධතාවයක් ඇති කිරීම. සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ LNG යටිතල පහසුකම් පිළිබඳ අවබෝධය ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම සහ ශ්‍රී ලංකාවේ බලශක්ති උත්පාදනයේ පුනර්ජනනීය බලශක්ති මිශ්‍රණය ඉහළ නැංවීමේ අරමුණින් නව්‍ය තාක්‍ෂණයන් භාවිතයෙන් හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා සම්බන්ධතාව සහයෝගීතාව ගවේෂණය කිරීම. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කිරීමේ අඛණ්ඩ සහයෝගීතාව. ශ්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වාසදායක බලශක්ති සම්පත් සැපයීම සහතික කිරීමේ අරමුණින් ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීම. ඒකාබද්ධ තෙල් ගවේෂණය.

වෙළඳ, ආර්ථික සහ මූල්‍ය සම්බන්ධතා: දෙරට ආයෝජකයින්ට සාධාරණ ලෙස සැලකීම තුළින් අන්‍යෝන්‍ය ආයෝජන සඳහා පහසුකම් සැලසීම. ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායන් සහ ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල නිෂ්පාදන/ආර්ථික කලාපවල ඉන්දීය ආයෝජන සඳහා පහසුකම් සැලසීම. නව සහ ප්‍රමුඛතා ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන පුළුල් ලෙස වැඩිදියුණු කිරීමේ අරමුණින් ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම (ETCA) පිළිබඳ සාකච්ඡා කිරීම. ව්‍යාපාර සහ සාමාන්‍ය ජනතාව අතර වෙළඳාම සහ ගනුදෙනු තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා UPI පදනම් කරගත් ඩිජිටල් ගෙවීම් ක්‍රියාත්මක කිරීම. ශ්‍රී ලංකාවේ ජනතාවට ඵලදායී හා කාර්යක්ෂමව සැපයීම සඳහා ප්‍රමුඛතාවයන් අනුව ඉන්දියාවේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගැනීම.

අන්තර් පුද්ගල සම්බන්ධතාව: දෙරට අතර ආගමික සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කිරීම. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අධ්‍යාපන හා පර්යේෂණ ආයතන අතර සහයෝගීතාව පුළුල් කිරීම. ත්‍රිකුණාමලය සහ කොළඹ වරායට ගොඩබිම් ප්‍රවේශය සංවර්ධනය කිරීම, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාව ශක්තිමත් කිරීම සඳහා පාලමක් ඉදිකිරීම සලකා බැලීම.

ශ්‍රී ලංකාවේ දේශපාලනික චලනයන් මෙම මූලෝපාය සමග සමපාත විය යුතුය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය අතිශය වැදගත් වන්නේ එහෙයිනි. එහෙත්, බොහෝ අයට පළාත් සභාවල මෑත ඉතිහාසය පවා අමතක වී තිබේ. පළාත් සභා ඡන්දය පවත්වන්නැයි ජනාධිපතිවරයාට අභියෝග කරන ඇතැම් දේශපාලකයන් පළාත් සභා ඡන්ද පැවැත්විය නොහැකි අන්දමේ උගුලක් නිර්මාණය කිරීමට දායක වූ අය බව අපට නම් අමතක නැත.

පළාත් සභා නවයම මේ වන විට තිබෙන්නේ ආණ්ඩුකාර පාලනය යටතේ ය. නැගෙනහිර, උතුරුමැද සහ සබරගමු පළාත් සභා 2017 ඔක්තෝබරයේ සිට ආණ්ඩුකාර පාලනය යටතේ ය. මධ්‍යම, උතුරු සහ වයඹ පළාත් සභා 2018 සැප්තැම්බර් සිට ආණ්ඩුකාරවරයා යටතේ ය. බස්නාහිර, දකුණ හා ඌව පළාත් සභාවල ධුරකාලය ද 2019 වසර තුළදී අවසන් විය. මේ වන විට පළාත් සභා මැතිවරණ පැවැත්විය නොහැකි තත්වයක් නිර්මාණය කර තිබේ. එය වනාහි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මැතිවරණ පරාජයන් වළක්වා ගැනීම සඳහා යොදන ලද උප්පරවැට්ටියකි.

පළාත් සභා මැතිවරණ කල් දමා තිබෙන්නේ කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර‍ ක්‍ර‍මය හා කාන්තා නියෝජනය ඉදිරියට ගෙන එමින් ලහිලහියේ පළාත් සභා පනත සංශෝධනය කිරීමෙනුයි. ඒ සඳහා අවශ්‍ය 2/3 බහුතර ඡන්දය ලබාගැනීමට ජවිපෙ හා දෙමළ ජාතික සන්ධානය පවා ආණ්ඩුවට සහයෝගය ලබාදුන්හ. ඡන්දය දීම සඳහා ඇතැම් මන්ත්‍රීවරුන් ගුවනිනුත් ගෙන්වාගන්නා ලදී. පළාත් සභා මැතිවරණය කල් දැමීම සඳහා උපක්‍ර‍මවලට අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා ඩිලාන් පෙරේරා සුවිශේෂ සම්බන්ධීකරණයක් සිදු කළේය. පසු කලෙක ඔහුගේ පියා වූ නැසීගිය මාෂල් පෙරේරා ඉතා වෘද්ධ අවධියක සිටියදී පළාත් සභා කීපයකම ආණ්ඩුකාර තනතුරුවලට පත්කිරීම ළබැඳියාවන් සම්බන්ධ බරපතල ගැටුමකට තුඩුදෙයි.

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලෙස උපරිම බලය බෙදාගැනීමක් වෙනුවෙන් උද්දේශනය කළ දෙමළ ජාතික සන්ධානය පළාත් සභා අක්‍රිය කිරීම සඳහා යහපාලන ආණ්ඩුවට සහාය වූ බව අමතක කළ යුතු නැත.

කොට්ඨාස ක්‍රමය හා සමානුපාතික නියෝජනය ඇතුළත් මිශ්‍ර‍ ක්‍ර‍මයකට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අලුතෙන් කොට්ඨාස සීමා නිර්ණය කිරීමක් සිදු කරන ලදී. එම සීමා නිර්ණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී යහපාලන ආණ්ඩුවේ පක්ෂත්, මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන විපක්ෂයේ පක්ෂත් එක්ව එම සීමා නිර්ණය කොමිෂන් වාර්තාව පරාජය කරන ලදී. සීමා නිර්ණ කොමිෂම පත් කළ, හිටපු ජනාධිපතිවරයාගේ පක්ෂය නියෝජනය කළ පළාත් පාලන ඇමතිවරයා වූ ෆයිසර් මුස්තාෆා පවා සීමා නිර්ණය කොමිෂන් වාර්තාවට විරුද්ධව ඡන්දය දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(ආ) හා 95(1) ව්‍යවස්ථාවන් අනුව පත්කරන ලද සීමා නිර්ණය කොමිෂන් සභාවල සේවය කළ කොමසාරිස්වරු ද වර්තමාන තත්වය සම්බන්ධයෙන් වගකිව යුතුය.

දැනට ක්‍රියාත්මක පළාත් සභා පනත අනුව පළාත් සභා මැතිවරණ පවත්වන්නට නම් අලුත් සීමා නිර්ණයක් සිදු කළ යුතුය. එහෙත්, ඒ සඳහා විධිමත් අන්දමින් කටයුතු කරන බවක් නොපෙනේ. එසේ නැතිනම් පළාත් සභා පනත තිබුණු ආකාරයෙන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සිදු කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *