පාර් (කෙටිකතාව)
අජිත් පැරකුම් ජයසිංහ
පාර් ගැන කතාවක් ලියන්නට ඕනෑ යයි පසුගිය දිනෙක මම කීවෙමි. ඒ කවදා කුමක් නිමිති කරගෙනදැයි මට මතක නැත.
මේ සතියේ ගෙදර එන්නට නොලැබෙන බව කීමට අම්මාට දුරකථනයෙන් කතා කළ විට පාර් මිය ගිය පුවත ඇය මට කීවාය. මා එය මගේ බිරිඳට කී මොහොතේ ඇය මහ හඬින් හඬා වැලපුණාය.
පුංචි කාලයේ සුරතල් බල්ලකු, පූසකු මළ විට දැනුණ වාවාගත නොහැකි දුක මට නොදැනුණ මුත් නෙතට කඳුළක් නැගිණි.
ගිය සති අන්තයේ ගෙදර ගිය විට පාර් පෙනෙන්නට නොසිටි බැවින් මම විපරම් කළෙමි. ඇය අසනීපෙන් බව අම්මා කීවාය. මා ඇය සොයා යන විට ඇය සිටියේ පිළිකන්නේ අත්හැර දමා තිබුණු මාළු ටැංකියක නිදාගෙනය. මා ‘පාර්’ කී විට ඇය වෙනදා පරිදිම හිස ඔසවා බැලුවාය. ඇදී ගිය මුහුණේ වූයේ වේදනාබර පෙනුමකි. ඇගේ නාසය මුල තෙත අඩවිය වියලි දුඹුරු පැහැති කබොල්ලක් සේ පෙනිණි. ඇදී ගිය ඇගේ සිරුරේ වෙනදා පැවති බැබලෙන සුද බොර පැහැයකට හැරී තිබිණි. අත්හැර දමන ලද මාළු ටැංකියේ තිබූ පස් නිසා විය හැකිය. ඇයට සුව වූ පසු නෑවිය යුතු යයි මම සිතාගත්තෙමි. එහෙත් ඇයට බෙහෙත් ටිකක් අරන් දිය යුතු යයි මට සිතුණේ නැත්තේ ඇයි? බළලුන් මෙසේ අසනීප වී සුව වීම අපට අලුත් දෙයක් නොවූ නිසාද?
“අනේ මැරුණෙ බෙහෙතක්වත් නැතුව,” යි බිරිඳ වැලපුණාය. අපට පාර්ගේ මිනියවත් දැකගැනීමට නොහැකි විය. ඊළඟ සති අන්තයේ ගෙදර ගිය විට බිරිඳ පාර් වැළලූ තැන මල් අත්තක් සිටෙව්වාය. ගෙවල්වල ඇති කරන සාමාන්‍ය බල්ලන්ට, බළලුන්ට පුංචි පුංචි අසනීවපලදී බෙහෙත් අරගෙන දීමේ සම්ප්‍රදායක් අප අතර තිබුණේ නැත. ඔවුහු කැලෑ කොළ වර්ග කා තමන්ම ප්‍රතිකාර කරගත්හ. අප ඇත්තෙන්ම ඔවුන් ඇති කළා නොව, ඔවුන්ට අපේ පරිශ්‍රයන් ආශ්‍රිතව ජීවත් වීමට උදව් කළා පමණි.
පාර් මීට කලින් ද කීප විටක්ම අසනීප වූවාය. ඒ අතරින් ලොකුම අසනීපය වුණේ පොලිස්කාරයා නමැති බළලා ළා බාල වියේ සිටි ඇය දූෂණය කළ අවස්ථාවේ ඇති වූ කිසියම් තැල්මකින් ඇගේ සිරුරේ ඇලපතක සමට යටින් ගෙඩියක් හටගැනීමයි.
ඒ දවස්වල අප සිටියේ අනුරාධපුරයේයි. දිනක් හැන්දෑවේ ව්‍යායාම සඳහා බයිසිකලය පදිමින් ගෙදර දෙසට එමින් සිටියදී කූඹිච්චන්කුලම වැව අද්දර පාළු පාරේ අඳුරේ වාහනවලට බියේ එහෙ මෙහෙ පනිමින් සිටි සුදුපාට ගුලිය එක් අතකින් පපුවට තුරුළු කරගෙන, අනෙක් අතින් බයිසිකලය පැදගෙන මම ගෙදර ආවෙමි. හුළං පාරේ සැරට පූස් පැටියා බියෙන් සැලෙමින් හිස ඉවතට හරවා ගත්තාය/ ගත්තේය. ඌ බැළලි පැටවකු බව දැනගත්තේ ගෙදර ගෙනැවිත් පස්සා කකුල් දෙක මෑත් කර බැලූ විටයි.
එළියට අල්ලා බලන විට ඇය ලස්සන එකියක බව පෙනිණි. පුළුන් සුදු පාට ශරීරයේ තැන තැන කළු හා අළු පාට බතික් මෝස්තරයක් විසිරී තිබිණි. එහෙත්, ඇගේ මුහුණේ සුන්දරත්වය අපේ සිතට වැදුණේ ටික දිනකට පසුවය. වෙන බළලුන්ගේ මුහුණුවලට වඩා ඇගේ වටකුරු, ලොකු ඇස් සහිත මුහුණ සුන්දර බව මුලින්ම කීවේ බිරිඳයි.
ඉස්පිරිතාලයේ තැන තැන වෙසෙන බළලුන් ගැන සුරතල් කතා ඇය මට කියා තිබිණි. පූසකු ඇතිකිරීම පිළිබඳ අපි මීට පෙර කතා කර තිබිණි. එහෙත්, පිරිසිදුකම ගැන මහත් සේ සැලකිලිමත් වූ ඇයට අපගේ නිවසෙහි බළලකු ඇතිකිරීමෙන් ඇති වන ප්‍රශ්න ගැන විචිකිච්ඡාවක් තිබිණි. ඒ ප්‍රශ්නයට අපි පළමු පැයේදීම මුහුණ දුනිමු. බිරිඳ ඇයට කරවල සමග ඇනූ ලොකු බත් අහුරක් දුන්නාය. උපන්දා සිට බඩගින්නේ සිටි එකියක සේ ඌ එය වහ වහා ගිල දැම්මාය. බළල් පැටවාට අපේ ගෙදර නුහුරු බැවින් පිටතට ගියොත් ඌ අතරමං විය හැකි නිසා දොරවල් වසා තබන ලෙස බිරිඳට කියා මම නාන්නට ගියෙමි. නා හමාර වී එන විට ඌ අතුරුදහන් වී සිටියාය. මගේ කීම නොඅසා දොරවල් ඇර තැබූ බිරිඳට බැන බැන ඇයත් සමග මම ගෙය හා වත්ත පුරා ඌ සෙවීමි. බළල් පැටවා අතුරුදහන් වීම ගැන බිරිඳත්, මමත් රණ්ඩු ද වුණෙමු. බලාපොරොත්තු අතහැර ගෙට පැමිණ නිකමට මෙන් අපේ නිදන කාමරයට යන විට ඌ ඒ මත දමා තිබුණු සෝදා වේලූ රෙදි ගොඩක් මත සැපට නිදාගෙන සිටියාය.
මම එය බිරිඳට පෙන්වීමි. ඇය කුපිත වූවාය. ඌ බිමට ඇද දැමූ ඇය උගේ ඇඟේ ගෑවුණ රෙදි තෝරා නැවත සේදීම සඳහා ආපසු කිළිටි රෙදි කූඩයට දැමුවාය. “අපි මූව ආපහු ගිහින් දමමු,” යි ඇය වහා යෝජනා කළාය. එහෙත් එය ක්‍රියාත්මක කිරීමේ දැඩි වුවමනාවක් අප දෙදෙනාටම නොතිබිණි. එදා පටන් ඌ අවස්ථා ගණනාවක අපේ ඇඳ මතත්, සෝදා වේලූ රෙදි මතත් නිදාගෙන අසු වී ගුටි කෑවාය. හෙදියක වූ මගේ බිරිඳට ඇඳ පුදසුනක් සේ තබාගැනීමට ඕනෑ විය. එහෙත්, පාර් කෙතරම් ගුටි කෑවත් අවස්ථාව ලද හැටියේ අපේ ඇඳම උගේ සුව යහන කර ගත්තාය. උදේ ගබ්සාව සඳහා ඌ තෝරා ගත්තේ ද අපේ යහනයි. වතුර මල්ල පුපුරා ගලා ආ ජල දහරාව අපේ ඇඳ රෙද්ද යටින් මෙට්ටයට ද උරාගෙන තිබිණි.
ඌ පුටු කොට්ටවල නිදා ගන්නවාට අප අකැමැති බව පාර් දනියි. එහෙත්, අප එහා මෙහා වන තුරු සිට මැඩගත නොහැකි ආශාව නිසා පුටු කොට්ටවල ලගින ඌ ඇතැම් විට අප දකින විට හෙමින් සැරේ එයින් බැස බිම ලගියි. බිරිඳ ඌට සුවපහසු කොට්ටයක් මසා දුන්නද ඇය කැමති වූයේ අප අකැමැති තැන්වල ලැගීමටයි.
ඌට පාර් කියා නම තැබුණේ ඌ හමු වූ පසු අප නැරඹූ පාර් නමැති හින්දි චිත්‍රපටයේ නමිනි. පාර් යන හින්දි වචනයේ අරුත ‘එතෙරවීම’ යයි මා අසා තිබිණි. එයට දෙමළ තේරුමක් ද ඇති බව මම දැන සිටියමි. එහෙත්, පාර්ට ඒ නම වැටුණේ අන් කිසිවක් නිසා නොව පාරේ සිට අහුලාගෙන ආ නිසාය.
පාර් අපේ ලෝකයට ඇතුළු වූ ෆොරින් බොඩි එකක් හෙවත් ආගන්තුක දේහයක් වැනි යයි මගේ බිරිඳ ජීව විද්‍යාත්මකව පැවසුවාය. ඌ ගේ ඇතුළේ රුන්නාය. චූ කළාය. මුල් කාලයේදී මම ඌ වෙනුවෙන් කුස්සියේ වැලි කොළපතක් තැබුවෙමි. බිරිඳ එය අස් කිරීම මහත් සේ පිළිකුල් කළාය. එය අස් කිරීම ඇත්තෙන්ම ඔලුව අවුල් කරන වැඩකි. කුස්සියේ උදුන යට දර ගොඩේ පාර් චූ කරන්නට පටන් ගත් විට නම් ඇයට පාර් එපාම විය. චූ කරනවාට අමතරව එතන මළපහ කරන්නට ද පටන් ගත් විට ඒවා අදින්නට වූයේ මටයි. දවසක් ඌ මහ දවල් චොර චොර ගාමින් කුස්සියේ චූ කරනවා දැක මම වියරු වැටුණෙමි. උගේ මුහුණ චූ ගොඩේ උලා පහර දුන් මම ඌ අල්ලා පසුපස දොරෙන් එළියට විසි කළෙමි. මුත්‍රාවලින් පෙඟුණු, බියපත් පාර් මිදුලේ පඳුරක් යට සැඟවෙනු දුටු මගේ සිත හඬා වැටිණි. මම ඌ අල්ලා ගෙනැවිත් නාන කාමරයේ වතුර මලෙන් සබන් ගා නෑව්වමි. එය ඌට තවත් දඬුවමක් විය.
පාර් අපේ ගෙදර වාසටය ආ පසු, නිතර තාප්පය උඩ නිදන, රැවුල්කාර පෙනුම නිසා පොලිස්කාරයා නමින් මගේ බිරිඳ නම් තැබූ, අයිතිකාරයකු නැති රස්තියාදුකාර බළලා විමසිලිමත් වූයේය. ගෙයත්, මිදුලත් පුරා නටන අපේ පුළුන් බෝලය ඌට බිය වී වලිගය පුම්බාගෙන ගෙතුළට දිව ආ වාර ගණන අපමණය. ඌ එන්නේ පාර් කෑමට යයි බිරිඳ මට කීවාය. මට නම් උගේ හැසිරීමේ දක්නට තිබුණේ වනචර කාමුක සෙවල ගතියකි. මා සිතුවා හරිය. ඌ දිනක් හැන්දෑවේ අඩ අඳුරේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි ළාබාල පාර් රවටා කාණුව අද්දරට ගෙන ගොස් දූෂණය කළේය. කෑගැසීම ඇසී අප ටෝච් අල්ලා බලන විට පාර් කාණුව තුළ වැටී කකුල් හතර උඩ තියාගෙන ගොරවමින් සිටියාය. අපි ඌ ගෙනැවිත් වතුර බටයකින් උගේ පස්සා පැත්ත සෝදා ගෙට ගෙන ගියෙමු. ඌ සිටියේ මහත් බියපත්වය. දින ගණනාවක්ම නොකා නොබී, රිදෙන ඇඟපත හකුළුවාගෙන කුස්සියේ පුටුවක් උඩ නිදාගෙන සිටි ඌ මැරෙනු ඇතැයි මට සිතිණි. මම උගේ ඉදිමුණු ඇලපත අතගෑවෙමි. එයින් සහනයක් ඇති බව දැනගත් ඌ එතැන ලෙවකෑමට පටන් ගත්තාය. අන්තිමේදී ගෙඩිය පැලී සිරව පිට විය. බිරිඳ ප්‍රතිජීවක බෙහෙතක් කුඩු කර කිරිවලට මුසු කර ඌට දුන්නාය. ටික දිනකින් ඌ යළි සුපුරුදු සෙල්ලක්කාරිය වූවාය. අන්තිමේදී ඌ දූෂණය කළ පොලිස්කාරයාගේම පෙම්වතිය වූන තරමේ නැට්ටුක්කාරියක වූවාය.
හෙළවෙන ඕනෑම දෙයකට කඩාපැනීමේ ඇගේ සුරතල් පුරුද්ද ඌ මැරෙන්නට වැටෙන්නට දින කීපයකට පෙර දක්වාම ඌ අතහැරියේ නැත. මම මගේ අතක් පාර් සමග සෙල්ලම් පොරට යොදා විනෝද වුණෙමි. තනි අතින් ඌ පැරදවීම මට පහසු වූයේ නැත. ඌ මගේ අත පහුරු ගෑවාය. ජලභීතිකාව නිසා බිරිඳ ඒ සෙල්ලමට දැඩි ලෙස විරුද්ධ වූවාය. එහෙත්, ඇය බොහෝ විට පාර්ගේ ගතිගුණ හොඳ බව පැවසුවාය.
නිවාඩුවකට ගමට යන විට පාර් අපට මහත් ප්‍රශ්නයක් විය. බිරිඳ උදේ පාන්දරින් නැගිට ඌ වෙනුවෙන්ම බතක් උයා, තැම්බූ කරවල ගොඩක් සමග අනා උගේ පිඟානට බෙදුවාය. අප ගෙදරින් පිටත් වන්නටත් පෙර ඌ එයින් දෙකෙන් පංගුවක් කා තිබිණි.
“බළල්ලු ස්වාධීන සත්තු. බල්ලන් වගේ නෙමෙයි. දඩයමක් කරගෙන කාවි,” මම කීවෙමි. එහෙත්, දින ගණනකට පසු අප ගෙදර එන විට පාර් දොර ළඟ ගුලි වී හාමතේ සිටින අයුරු දුටු අප දෙන්නටම මහත් සේ දුක සිතිණි. ගෙනා බනිස් ගෙඩිය ඌට කෑලි කඩා දුන් විට ඌ දඩයමක් කරගත් කොටි දෙනක සේ ගොරව ගොරවා එය කෑවාය.
දැන් පාර් නමැති ෆොරින් බොඩිය හෙවත් බාහිර දේහය අපේ ජීවිතවලම කොටසකි. අපි ඌ ගැන තොරතුරු අපේ යාළුවන් සමග දුරකථනයෙන් ද කතා කළෙමු. එක කාලයක උගේ ප්‍රියතම වාසස්ථානය වී තිබුණේ දුරකථනය තබා තිබුණු බඩු පෙට්ටියයි. දුරකථනය නාද වන විට ඒ ගැන සැලකිලිමත් වන ඌ අප රිසීවරය ඉස්සූ විට දඟර ගැසුණු වයරයට අතින් පහර දෙක තුනක් දෙන්නට පුරුදු වී සිටියාය.
පොලිස්කාරයාගෙන් සිදු වූ අපරාධයෙන් පසු පාර් පාරේ හෝ තාප්පය දිගේ බළලකු යන විට පවා වලිගය පුම්බාගෙන ගෙට දිව ආවාය. ගැටිස්සියක් වී සිටියදීත් ඇය බළලුන් සමග නොගොස් අප අවටම දැවටෙමින් සිටියාය.
අප ඉන්නේ කොහිද, ඌ අප පෙනෙන හරියක නිදාගෙන හෝ මැස්සන් පසුපස දුවමින් සිටියාය. මගේ දුෂ්ට රණ්ඩුවලින් දුකට පත්වන බිරිඳ ඉස්තෝප්පුවේ පුටුව මත හිඳ හඬන රාත්‍රීවලදී ඌ ඇගේ දෙපා අසල ගැවසෙමින් සිටි බව ඌ මළ පුවත අසා හඬන අතර ඇය කීවාය. රාජකාරි උවමනාවකට මා පිටත ගොස් සිටියදී ඇගේ තනියට සිටි පාර්ගේ ඇවතුම් පැවතුම් ගැන අපි දුරකථනයෙන් ද කතා කළෙමු.
ඌ දවසක් මීයෙකු ද ඇල්ලූ බව නොකීවොත් අඩුපාඩුවකි.
මගේ බිරිඳට කලක් යනතුරු දරුවන් ලැබුණේ නැත. පාර්ට ද පැටවුන් නොලැබිණි. ඔය අතවාරරේ බිරිඳ ගැබ් ගත්තාය. මාස තුන හතරකට පසු බිරිඳට ගම්සාවක් සිදු විය. ටික දිනකින් දැල් ජනේලයෙන් රිංගද්දී බඩ හිර වීම නිසා පාර්ට ද පැටවුන් ගබ්සා විය. ලයිට් කපන කාලයේ බිරිඳ රාත්‍රී සේවා මුරයක යෙදෙමින් සිටියදී පාර් මළ පැටවුන් වදනු මම ලන්තෑරුම් එළියෙන් දුටුවෙමි. පළමු මළ පැටවා ඌ කෑ බව මම දන්නෙමි. බිරිඳ අදටත් එය පිළිගන්නේ නැත. දෙවන පැටවා තුරුළු කරගෙන එළිවන තුරු සිටි පාර් මා පැටවුන් වළලා දැමූ පසු අහිමි දරු සම්පත අමතක කර දමා වෙනදා මෙන්ම නැගී සිටියාය. ඌ බිරිඳ මෙන් ඒ පිළිබඳ තැවුණේ නැත. මේ දක්වාම බිරිඳ යළි ගැබ් ගත්තේ නැත. පාර් ද මිය යන තුරුම යළි ගැබ් නොදැරුවාය.
අනුරාධපුරයෙන් මාරු වී එන්නට සිදු වූ විට පාර්ට කරන්නේ කුමක්දැයි අපට ප්‍රශ්නයක් මතු විය. බළලුන් හුරු වන්නේ මිනිසුන්ට නොව තැනට යයි පැවසූ මිතුරෝ කිලෝමීටර් සිය ගණනක් දුර අපේ ගමට ඌ රැගෙන යාම තේරුමක් නැති වැඩකැයි පෙන්වා දුන්හ. එහෙත්, අප නැතුව ඌ තනි වනු දරාගත නොහැකි වූ අපි අපේ බඩු ගෙන ආ ලොරියේම පාර් ද රැගෙන ආවෙමු.
ගෙදර බඩු ලොරියට පටවද්දී, වෙන්නට යන අසුබ දෙයක් ගැන ඉව වැටී ඌ අතුරුදහන් විය. බඩු පටවා අවසන් වී ගෙය හිස් වන විට ඌ ආගිය අතක් නැති විය. සියලු බලාපොරොත්තු අතහැර දැමූ මම පිටත් වීමට පෙර අවසාන වතාවට ‘පාර්’ කියා හඬගාමින් ගෙය වටා ගියෙමි. හදිසියේ මට ඌ රහසින් පිළිතුරු දෙනු ඇසිණි. ඌ වහල මත සිට මඳක් පහළට පැමිණ මා දෙස බලා සිටියා. මම පරිස්සමෙන් ඌ බිමට බා වදෙන් පොරෙන් රෙදි මල්ලක බහාගෙන ලොරියේ ඉදිරිපසින් ගොඩ වුණෙමි. රෙදි මල්ල තුළ සිටීමට අකැමැති වූ පාර් එතුළ පෙරළි කළාය. මම ඌ පිටතට ගෙන උකුල මත තබාගත්තෙමි. රෑ කෑමට අතරමග ලොරිය නතර කළ විට මම කොත්තු රොටියෙන් ඌට මස් කැබැල්ලක් ගෙන ආවෙමි. ඌ එය කෑවේ නැත.
උතුරුමැද පළාතේ අනුරාධපුරයේ සිට බස්නාහිර පළාතේ කලුතර දිස්ත්‍රික්කයට ස්ථාන මාරුවක් ලද පළමු බළලා පාර් වන්නට පුළුවන. අපේ මහ ගෙදරදී ඌ අන්ත අසරණ විය. ගෙට ගෙන ගොස් තැබූ විට ඇය ළඟම තිබුණු කැබිනට්ටුවක් යටට රිංගා ගත්තාය.
අපේ මහ ගෙදර යනු පැටී නමැති තඩි බළල් නාම්බාගේත්, ජිමී නමැති වස කළු බලු තඩියාගේත්, අම්මාගේ හා තාත්තාගේත් වාසභවනයි. පසුව කී දෙදෙනාගෙන් පාර්ට ප්‍රතිවිරෝධයක් එල්ල වූයේ නැත. ඇත්තෙන්ම, එවක් පටන් පාර් බලාකියා ගැනීම සම්පූර්ණයෙන්ම කළේ ඔවුන් දෙදෙනාය. තමන්ගේ බත්පත කෑමට පෙර බළලුන්ගේ බත්පත පැහැරගෙන කෑම ජිමීගේ පුරුද්ද විය. පැටී හැර වෙනත් බළලකුට ගෙදර වත්තේ හතර මායිමෙන් ඇතුළු වීමට ජිමී ඉඩ දුන්නේ ද නැත. පැටී බළලකු නිසා පාර් බැළලිය සතුටින් භාරගනු ඇතැයි අපි සිතුවෙමු. එහෙත්, එසේ වූයේ නැත.
අවංක මෝඩ ප්‍රේමවන්තයකු වූ පැටී තම පෙම පුදා සිටි එහා ගෙදර කහපාට නාටු බැළලිය හැර අන් බැළලියකගේ මුහුණවත් බැලීමට ප්‍රිය නොකළේය. පවට පිං දෙන්නද? ඌ කවදාවත් එච්චර ලස්සන පාර් සමග යාළු වූයේ නැත. අම්මාත්, බිරිඳත් උන් දෙන්නා යාළු කරන්නට දැරූ උත්සාහය අවසන් වූයේ මට ගස් නගින්නට සිදු කරමිනි. ඒ යාළු කිරිල්ල පිළි නොගත් පැටී පාර්ගේ ඇඟට කඩා පැන්නාය. පාර් වලිගය පුම්බාගෙන ගෙයින් පිටතට පැන දිව්වාය. ඒ දුටු ජිමී බුරාගෙන, මල් පෝච්චි පෙරළාගෙන ඌ පසුපස පැන්නුවේය. අම්මා මල් පෝච්චිය පෙරලූ ජීමීට කෝටුව උරුක් කරමින් ‘වරෙන්කො ආපහු’ යි කියමින් බැන වැදුණාය. කලබැගෑනිය නිමා වන විට පාර් පුවක් ගසක මැද කඳ බදාගෙන, චූ බේරි බේරී සිටියාය. මා ඉනිමගක් තබා ඌ බිමට බෑ විට උගේ ඇස් භීතියෙන් මහත් වී ගත වෙව්ලමින් තිබිණි.
රැජිනක සේ රජරට වැජඹුණු පාර් යුද්ධයෙන් පැරදී සතුරන් අතට පත් වූ කලෙක මෙන් බියපත්ව, අසරණව සිටියාය. අපේ සිත් සැනසුණේ ඌ බත් පොඩ්ඩක් කෑ පසුවයි. මුල් කාලයේ පාර් සිටියේ ගේ පිටුපස කුස්සි මඩුවේ බාල්ක හරහට දමා ඇති ලෑලි මතය. බිමට බැස්සේ මළ මුත්‍ර කිරීමට හා කෑමට පමණි. කෑම කෑවේ බල්ලකු හා බළලකුගේ රැවුම් ගෙරවුම් මැද මහළු මිනිසකුගේ හා ගැහැණියකගේ ආරක්ෂාව ලබමිනි. එළියට පහළියට ගියේ ද පුදුම බියකිනි. ඒ වැඩ අහවර වූ සැණින් පාර් සොල්දරය උඩට නැග්ගාය. අපට ඌ ගැන මහත් දුකක් සිතිණි. ඌ මෙහි ගෙන ඒමෙන් අප කළේ වරදකැයි අපි පසුතැවුණෙමු. එහෙත්, රාජකාරි වැඩ නිසා අපට කොළඹ නතර වීමට සිදු විය.
එහෙම අසරණව සිටි පාර් මාස දෙක තුනක් යන විට අපේ මහගෙදර උගේ රජදහන කරගත්තාය. හොඳට කා බී, ඉඳහිට හොරා ද කා බඩ පුරවාගෙන සිටි ඇය පැටී බය කරගෙන ඇගේ ළඟින් හොරෙන් හොරෙන් යන ජිමීට අතින් පහරක් දෙන මට්ටමට ද දියුණු වී සිටියාය.
අඩි සද්ද කරමින් පුටුවල හැපි හැපී එහෙම මෙහෙ දුවන, උඳුපියලි ගාලේ හාවෙකු සේ හැංගී ඉඳ මැස්සන්ටත්, ළඟින් යන එන ඕනෑම අයෙකුගේ කකුල්වලටත් පනින, රෑට එළියට දැමීමට යන බව දැන ගෙය පුරා තැන තැන හැංගෙන පාර්ගේ හුරතල් දැක අපි සතුටු වුණෙමු.
පාර්ට අඩුවකට තිබුණේ පෙම්වතකු නැතිකමයි. මගේ බිරිඳ යළිත් බලා සිටියේ ගැබ් ගන්නා තුරුය. ඒ සමගම පාර් ද යළි ගැබ් ගනු ඇතැයි මම කීවෙමි. අපට දියණියක ලැබීමට පෙර පාර් මවක වනු ඇතැයි අපි කතා කළෙමු.