Wehi Peellaka Atharamanwa

වැහි පීල්ලක අතරමංව

යසස් සමන්ත වීරසිංහගේ කෘතියක් ගැන අදහසක්

වැහි පීල්ලක අතරමංව පොත දෙපාරක් කියෙව්වා. ඒක විදර්ශන සාහිත්‍ය තරගාවලියෙ හොඳම නවකතාවට තේරුණු කෘතිය. මගේ නවකතාවකුත් ඒ තරගයෙදි දිගු ලැයිස්තුගත වුණ නිසා, තරගකරුවකු නිසා, මොකක්වත් නොලියා ඉන්නත් හිතුවත්, අද උදේ උදන් ප්‍රනාන්දු එක්ක මේ පොත ගැන කතා කරපු නිසා මෙය ලියන්නට හිතුණා.

වැහි පීල්ලක අතරමංව කියන්නෙ පසුගිය ආර්ථික අර්බුදයෙදි තෙල් පෝලිමක නාට්‍යමය සිදුවීම් අතිශයෝක්තිය මුසු විකාරරූපී ස්වරූපයකින් ඉදිරිපත් කරන රසවත් කතාවක්. එහි කතානායකයා කියන්නෙ ලංකාවෙ ඊනියා ප්‍රගතිශීලී, ප්‍රබුද්ධ, වාමාංශික, රාජ්‍ය සේවක, පහළ මධ්‍යම පන්තිකයා. ලංකාවේ වැඩකරන ජනයා සූරා කන රජයෙන් යැපෙන ගමන් අහස උසට හීන මවන, ඒවා අසාර්ථක වෙලා කාලකන්නි වන අසරණයා.

කතාව කියවාගෙන යනකොට අපට ඇත්තටම ඔහු ගැන අනුකම්පාවක් ඇති වෙනවා. එතකොටම, කතාවේ චරිතයක් වන පෝලිමේ තියෙන ඔහුගේ මෝටර් සයිකලය ඉදිරිපත් වෙලා ඔහුගේ කුහකත්වය ඉස්මතු කරමින් අපේ හිත ඔහු සමග ඇති වන බැඳීම ඛණ්ඩනය කරන්නෙ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගෙ දුරස්ථකරණ සංකල්පය සිහිපත් කරමින්.

මේ පොතේ මට නම් නීරසම කොටස් ටික තමයි කතානායකයා දකින සිහින. ඔය සිහින වගේ ඒවා තියෙන පොත් හොඳ පොත්ය කියන එක රැල්ලක්නෙ. ඒ අතර ඒ හීන අස්සට ඔබන්නෙ හීනම නෙමෙයි. තරහ වෙන්න එපා කිව්වට, ලංකාවෙ සාහිත්‍යකරුවන්ගෙ හීනමාන තමයි ඒ.

ඔය ලෝක සාහිත්‍යයේ ජනප්‍රිය හරි සම්මානලාභී හරි ලේඛකයන්ගෙ පොත්, තව ලොකු ලොකු ග්‍රන්ථ තමනුත් කියවලා තියෙනවාය කියන්න ලංකාවෙ ලේඛකයන් තමන්ගෙ සාහිත්‍ය නිර්මාණ පාවිච්චි කරන එක හරිම කණගාටුදායක තත්වයක්.

ඔය ජාත්‍යන්තර සම්මානලාභීන් කවුරුවත් නිර්මාණශීලීත්වය අතින් ලංකාවෙ අයට වඩා අමුතු ජීවීන් පිරිසක් නෙමෙයි. ලංකාවෙ සාහිත්‍යකරුවන්ට, කලාකරුවන්ට, විද්‍යාර්ථීන්ට, බුද්ධිමතුන්ට, වාමාංශිකයන්ට තියෙන ප්‍රධානම රෝගයක් තමයි මේ පශ්චාත් යටත් විජිත දූපත් මානසිකත්වය. දූපතෙන් එහා තියෙන හැම දෙයක්ම මාරයි කියල තමයි ඔවුන්ට පෙනෙන්නෙ.

අපට ඔය කට්ටියට උපදෙස් දෙන්නට තරම් රැස් වළලු නම් නැහැ. ඒ වුණාට අපේ භාවිතාවක් තියෙනවා කැමති නම් අනුමනය කරන්නට පුළුවන්. වඩා වැදගත් වෙන්නෙ ඔබ කොච්චර බරසාර පොත් කියවලා තියෙනවද කියන එක නෙමෙයි. ඔබ කොයි තරම් නිර්මාණශීලීද කියන එක. පොත් කියවන්නට ඕනැ. ඒ තමන්ගෙ නිර්මාණශීලීත්වය මුවහත් කරගන්න. එහෙම නැතුව තමන් පොත් කියවන බව කියලා සමාජයෙන් ඇරියස් ඉල්ලගන්න නෙමෙයි. එවැනි අය ඇත්තටම කරන්නෙ තමන්ගෙ නිර්මාණශීලීත්වයේ හිදැස් පණ්ඩිතමානයෙන් වසාගන්න එක.

මේ ලේඛකයාගෙ පළමු නවකතාව. ඒක හරි නිර්මාණශීලීයි. ඉතින් එවැනි නිර්මාණශීලීත්වයක් නැති අය තමන්ගෙ හිස්තැන් වහගන්න දාන උප්පරවැට්ටිවලට අහු නොවී ඉන්න එක හොඳයි කියලයි මම නම් යෝජනා කරන්නෙ. සම්මාන නොලැබෙන්න පුළුවන්. ඒ වුණාට තමන් තමන්ම වෙන්න.

සමකාලීන යථාර්ථය ඇසුරෙන් රසවත් නිර්මාණයක් කළාට ස්තුතියි.

ඇඩ් එක: නුදුරු දිනෙක විදර්ශන ප්‍රකාශනයක් ලෙස එළිදැකීමට නියමිත මගේ අරුණෝදාකරුවෝ #Dawnbreakers නවකතාවටත් තේමා කරගන්නෙ 2022 අරගලය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *