Art

නා කපන අනෝරා වැස්සක ජෝතිපාල

අජිත් පැරකුම් ජයසිංහ

ඊයෙ රෑ මා නොවන මම කියන වැඩසටහනට ආපු නිලාන් හෙට්ටිආරච්චි කියන ගායකයා යසිත් කෙළඹිආරච්චි කියන ගායකයාගේ ගීයක් ලස්සනට ගැයුවා. සීතල හාදුවකින් දෙකොපුල් තෙමූ කියන මේ ගීය මං අහල තියෙන්නෙ බස්වලදි. වෙනත් බස් සිංදු බොහොමයකට සාපේක්ෂව එය සුන්දරයි.

වැඩසටහන මෙහෙයවපු කැලුම් ශ්‍රීමාලුත්, නිලානුත් එම ගීයට ජෝතිපාලගේ හඬ මුසු කළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ගීයක් ගැන මහ ඉහළින් කතා කළා. ඒ නිසා ඒ ගීයත් මං අහලා බැලුවා.

ජෝතිපාල අපි පොඩි කාලේ සිටම අහනවා. ජෝතිපාල කියන අනන්‍යතාව නිර්මාණය වන්නෙ ඒ කාලෙ ජෝතිපාල, ඔහු ජීවත් වුණ කාලෙ සංගීතය හා ශබ්ද තාක්ෂණය, චිත්‍රපට, දේශපාලනය ආදී සියල්ල පසුබිම් කරගෙන. ඒ එක්කම ජෝතිපාලට ගිත නිර්මාණය කළ කරුණාරත්න අබේසේකර වැනි අය නිර්මාණය වීමත් ජෝතිපාල නිර්මාණය වීමට ඉවහල් වුණා. කෘත්‍රිම බුද්ධියෙන් කටහඬ පොඩ්ඩක් මිශ්‍ර කරලා, සර්පිනා සද්දයක්, ඩොලැක් සද්දයක් දැම්මාට ජෝතිපාල සංගීතය නිර්මාණය වෙන්නෙ නැහැ.

අලුත් ගායකයන්, සංගීතඥයන් වගේම ගීත රචකයන් ද නිර්මාණය වෙන්නෙ වෙනස් සංදර්භයක. ඒක ඇතුළෙ ලේලන්ඩ් බස්, සංගීත සංදර්ශන හා වීඩියෝ, ලයිටිං, ප්‍රමුඛ වෙච්ච ඔක්ටොපෑඩ්, කීබෝඩ්, ශබ්ද තාක්ෂණය වගේ දේ තිබෙනවා. ඒ අයගෙ නිර්මාණ අනුකූල වෙන්නෙ ඒ සංදර්භයටයි. ඒ නිසායි, ඔවුන් තරුණ පරම්පරාව අතර ජනප්‍රිය වෙන්නෙ සහ වයසින් වැඩි පරම්පරා ඔවුන් ගැන දන්නෙවත් නැත්තෙ.

නවීන පරම්පරා පවා ජෝතිපාලට පෙම් බඳින සර්වකාලීන හෝ දීර්ඝකාලින ගුණයක් ජෝතිපාල තුළ තිබෙනවා. ඒ නිසායි ඔවුන් ජෝතිපාලගේ අනන්‍යතාවෙන් දිය පොදක් තමන්ට ග්‍රහණය කරගන්න හදන්නෙ.

ඊළඟට එන පරම්පරා දැන් ඉන්න අලුත් පරම්පරාවලටත් ඔය වගේම සලකයි.

පැරණි පරම්පරාවලට නාකි මයිනො කියල අපහාස නොකරන අනාගතයක් හැදෙන්නට මේ වගේ ගී දායක වෙනවා.

https://www.youtube.com/watch?v=tPdFqqzcNqI