Paradise film

ප්‍රසන්න විතානගේගේ පැරඩයිස්: නොගැඹුරු දේශපාලනය හා ගැඹුරු ජීවිතය

අජිත් පැරකුම් ජයසිංහ

පැරණි ඉංග්‍රීසියට paradise යන වචනය පැමිණියේ ලතින් භාෂාවෙනි. එය බොහෝ විට ඒදන් උද්‍යානය හෝ ස්වර්ගීය මරණින් මතු ජීවිතයක් හා සම්බන්ධ පරමාදර්ශී, සුන්දර ස්ථානයක අර්ථයන් දරයි.

එහෙත්, ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටයට වඩා ගැලපෙන්නේ ග්‍රීක් භාෂා මූලයෙහි අර්ථයයි. පැරණි පර්සියානු pairidaeza යන වචනය පැරණි ග්‍රීක භාෂාවට paradeisos (παράδεισος) ලෙස ඇතුළු වී ඇත. එය උද්‍යානයක හෝ රාජකීය දඩයම් බිමක අර්ථය දෙයි.

ග්‍රීක මූලයක් සහිත “ඇන්ඩෘ” නාමධාරී සිංහල සංචාරක මාර්ගෝපදේශකයකු පැරඩයිස් චිත්‍රපටයේ ප්‍රධාන චරිත හතරෙන් එකක් නිරූපණය කරයි. ඔහු කරන්නේ තරමක් විකට ස්වරූපී රංගනයකි. ඇන්ඩෘ යන නම ව්‍යුත්පන්න වී ඇත්තේ “ඇන්ඩ්‍රියාස්” (Ἀνδρέας) නම් වදනෙනි. එය “ඇනර්” යන වචනයට සම්බන්ධ වන අතර එහි අරුත “පිරිමි” යන්නයි.

ප්‍රසන්න විතානගේ සිය සිනමාවෙන් ප්‍රතිනිර්මාණය කරමින් සිටින ශ්‍රී ලංකාව උද්‍යානයක් මෙන් සුන්දර රාජකීය දඩයම් බිමකි. රජයේ දඩයම් බිමකි. ශ්‍රී ලංකා රජය යනු සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි මූලික එකකි.

2022 අප්‍රේල් වන විට මේ රජය බංකොලොත් වී ඇත. මෙතෙක් දඩයමට ලක් වූවන් නැගිට ඇත. රජය ද තවදුරටත් දඩයම කරගෙන යයි. සිංහල මූලික රජයේ දඩයමට කඳුරට හෙවත් මලයහ හෙවත් ඉන්දියානු දමිළයා හැම විටම ඉලක්කයකි.

ඉන්දියානු දමිළ ප්‍රජාව අතර දැන් ඉන්දීය සම්භවය හා සම්බන්ධ අනන්‍යතා ප්‍රකාශනයට යම් විරෝධයක් මතු වී තිබේ. විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන විසින් මලයහ හෙවත් කඳුරට දමිළ යන ජනවාර්ගික ප්‍රතිනාමකරණය යෝජනා කරමින් තිබේ.

ඉන්දීය ජාතික කේශව් හා අම්රිතා කේරළයේ සිට ලංකාවට සිය යුග දිවි සංවත්සරය සැමරීමට පැමිණෙන්නේ ශ්‍රී ලංකා රජය බංකොලොත් වී තිබියදීය. ඔවුන් යන්නේ මලය රටටය. ඔවුන්ට සත්කාරකත්වය සපයන්නේ ඉන්දියානු දෙමළ ශ්‍රී ය. ඉක්බාල් නම් මුසල්මානුවා ද එහි සිටියි.

කේශව් හා අම්රිතා එක්තරා ආකාරයකට ඉන්දියානු ආර්ථික හා සංස්කෘතික ආධිපත්‍යයේ ප්‍රකාශනයන් වේ. මෙය ප්‍රකාශ වන්නේ රාමායනයේ රාවණා මූලික කරගත් කතාව ඔස්සේය. ලංකාව රාමායන ට්‍රේලය ඉන්දීය සංචාරකයන්ට අලෙවි කරන්නේ මෙම මිථ්‍යා කතාව භාවිතා කරමිනි. එහෙත්, රාවණා යනු රාම විසින් පරාජය කළ චරිතයකි. ලාංකිකයන්ට ද රාවණා ගැන ඇත්තේ කෘත්‍රිම උනන්දුවකි. රාවණා ලංකාවේ සිංහල හෝ දෙමළ සංස්කෘතීන් තුළ එතරම් ගැඹුරින් මුල් බැසගත් සංකල්පයක් නොවේ.

කේශව් ඉන්දීය ආර්ථික බලයේ ප්‍රකාශනයක් වන අතර, අම්රිතාගේ උපහාසය හා සහකම්පනය ඔස්සේ ප්‍රකාශ වන්නේ ඉන්දීය සංස්කෘතික ආධිපත්‍යයයි.

කේශව් වැනි සාමාන්‍ය ඉන්දීය සංචාරකයකුට ලංකාවේ කඳුරට පොලිසියේ සාජන් බණ්ඩලා පරාණ බයක් දක්වති. ඔවුන්ගේ ලැප්ටොප් හා ජංගම දුරකථන සොරුන් විසින් පැහැරගෙන යාමෙන් පසු කේශව් පොලිසියට ගොස් සාජන් බණ්ඩාට තර්ජනය කරයි. ඔහුගේ උපකරණ වහාම ඔහුට නොලැබුණොත් ඉන්දීය මහ කොමසාරිස්ට දන්වන බවට ඔහු තර්ජනය කරයි. සාජන් බණ්ඩා අධික ලෙස බියට පත් වී සැක සහිත තරුණයන් තිදෙනෙකු ගෙනැවිත් කේශව්ට පෙන්නා, ඔහු ඔවුන් සොරුන් බව කී පමණින්, යකඩ පොල්ලක් ගෙන ඔවුන් ඉදිරිපිටදීම පහර දී එක් අයෙකු මාරාන්තික තුවාල සහිතව රෝහල් ගත කරයි. ඔහු රෝහලේදී මිය යයි. සාජන් බණ්ඩාට එය ඉතා සාමාන්‍ය දෙයක් බව පෙනේ. ඔහුට කිසිදු පශ්චාත්තාපයක් හෝ නීතිමය ප්‍රතිවිපාකයක් නැත. මරණය විදුලිය විසන්ධි වීම නිසා ඔක්සිජන් ලබාදීමට නොහැකි වීමෙන් වූ එකකැයි කියැවේ. බණ්ඩා එතැනින් නොනැවතී තවදුරටත් සිය වධහිංසන මෙහෙයුම ගෙන යන්නට උත්සාහ කරයි. ඔහු ඒ වෙනුවෙන් එතරම් උනන්දුවකින් කටයුතු කරන්නේ කුමක් නිසාද යන්න ද පැහැදිලි නැත. එය හුදෙක්ම වධහිංසනයේ හා ඝාතනයේ යෙදීමේ ආසාවක් වැනිය. ඔහුගේ කෘරත්වය අවසානයේදී කේශව්ගේ මරණයට හේතු වන සිදුවීම් දාමයකට තුඩු දෙයි.

මේ කිසිවක් අප දන්නා ලංකාවේ මේ තරම් සරල ලෙස සිදුවන්නේ නැති වුවත්, ප්‍රසන්න ලෝකයට ඉදිරිපත් කරන ලංකාව එහෙම එකකි. එය අති සරල ලෙස ම්ලේච්ඡයන්ගේ පාරාදීසයකි. එය ඔහුගේ දේශපාලනික නීෂයයි (niche).

කෙසේ වෙතත්, මෙම ගැටුම සම්බන්ධයෙන් අම්රිතා, ඇන්ඩෘ හා ශ්‍රී දක්වන මානුෂීය ප්‍රතිචාර හේතුවෙන් ප්‍රසන්නගේ සිනමාව සුන්දර වේ.

පැරඩයිස් චිත්‍රපටයේ ප්‍රමුඛ තේමාව පොලිස් වධහිංසනයයි. එය අතිශය දුර්වල ආඛ්‍යානයකි. අරගලය හා ඉන්දීය අධිපතිවාදය එහි තවත් තේමාවන් වේ. එහෙත්, විශිෂ්ටත්වය ඇත්තේ යටි තලයේ දිවෙන ස්ත්‍රීවාදී රාමායන ආඛ්‍යානය තුළය.

මුවාගේ සංකේතය එහිදී අතිශය ප්‍රබල ඉදිරිපත් කිරීමකි. වාල්මිකීගේ රාමායණයේ, සුන්දර රන් මුවෙකු ගැන සිත බැඳුණු සීතා ඌ අල්ලා ගන්නා ලෙස රාමගෙන් ඉල්ලා සිටියි. මුවා යනු රාමගේ අවධානය වෙනතකට යොමු කිරීමට රාවණා විසින් එවන ලද මාරිච යක්ෂයා ය. වනයේ ගැඹුරේදී මාරිච ප්‍රකෘති ස්වරූපයට පැමිණ රාමගේ කටහඬ අනුකරණය කරමින් උදව් ඉල්ලා කෑගැසීම නිසා එය උගුලක් බව ප්‍රමාද වී වටහා ගත් රාම ලුහුබැඳ ගොස් අවසානයේ මුවා මරා දමයි. කනස්සල්ලට පත් සීතා, රාම සොයා ගන්නා ලෙස ලක්ෂ්මණගෙන් ඉල්ලා සිටී. ලක්ෂ්මණ ආරක්ෂක සීමාවක් සලකුණු කර රාම සොයා යයි. තාපසවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණෙන රාවණාට දානය පිරිනැමීමට සීතා ආරක්ෂක සීමාවෙන් පිටතට යයි. රාවණා සීතා ලංකාවට පැහැරගෙන යයි.

මුවා විසින් පිටතට කැඳවා ගන්නා අම්රිතා ඇන්ඩෘ සමග රාවණා පුරාවෘත්තයේ සංකේතාත්මක ස්ථාන සොයා ගමනක් යයි. එය පූජකවරුන්ගේ මෙන්ම ඇන්ඩෘගේ ද වාණිජ යථාර්ථය හෙළිදරව් කරයි. සංචාරක මාර්ගෝපදේශ ඇන්ඩෘ එහිදී වඩාත් අව්‍යාජය. නම අනුව ඔහු ක්‍රිස්තියානි බැතිමතෙකු විය හැකිය. අම්රිතා ඔවුන් සම්බන්ධයෙන් දක්වන සහකම්පනය හා රාමායනය පිළිබඳ ඇගේ පුළුල් දැක්ම මෙහිදී කැපී පෙනේ.

“ඔබ හිතනවද ගැහැණියෙකුට ප්‍රශ්නයක් ඇතිවුණාම පිරිමි ඇවිල්ලා බේරගන්නකම් ඇය අඬ අඬා ඉදියි කියලා?” යි ඇය ඇන්ඩෘගේ රාමායන කතා අනුවාදයට ප්‍රතිචාර ලෙස අසයි.

ස්ත්‍රිය පිළිබඳ අම්රිතා ඇන්ඩෘට පළ කරන අදහස් වැදගත්ය. එම අදහස් පළ වන්නේ සීතා අසරණියක ලෙස නිරූපණය කරනු ලබන ලාංකික රාවණා මූලික, පුරුෂෝත්තමවාදී රාමායන කතාවට පරස්පරවය. ඇය අවධාරණය කරන්නේ රාමායන කතාවේ ඇති සිය ගණනක් අනුවාද අතර ස්ත්‍රීවාදී රාමායන කතාවකි. එසේම, ස්ත්‍රියක ලෙස ඇය වෙතින් පිළිබිඹු වන ජීවිත වින්දනය එකී ස්ත්‍රීවාදී රාමායන දැක්ම නියෝජනය කරයි. එය කලා වෙළෙන්දකු වන වන කේශව්ගේ පටු, වාණිජවාදී චර්යාවන් සමග පැහැදිලිව පරස්පර වේ. අර්චනකාමී පාරිභෝගික භාණ්ඩ වන ලැප්ටොප්, ජංගම දුරකථන ආදිය අහිමි වී සිටියදී පවා ඇය මෙතරම් සතුටින් ඉන්නේ කෙසේදැයි කේශව් අසයි. එම භාණ්ඩ අවසානයේදී කේශව් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකුගේ මරණයට හේතු වේ.

ප්‍රසන්නගේ සිනමාවෙහි සෞන්දර්යය ඇත්තේ මතුපිට දේශපාලන කතිකාවේ නොවේ. එය ඉතා නොගැඹුරු එකකි. එහෙත්, මිනිස් ජීවිතයේ සියුම් හැඟීම් හා සංස්කෘතික කාරණා ඔහු ස්පර්ශ කරන ආකාරය හේතුවෙන් කතාබහ කරන්නට මාතෘකා රැසක් ඇති අපූරු සිනමාවක් නිර්මාණය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *