හාල් ප්‍රශ්නය, ජනාධිපති, මාලිමාව හා ප්‍රතිවාද
අජිත් පැරකුම් ජයසිංහ
ප්‍රතිවාද කණ්ඩායමේ රමිඳු ලක්ඛික පෙරේරා සහල් ප්‍රශ්නය හා මාලිමාවේ ආර්ථික චින්තනය නම් ලිපියේ දක්වන ආකාරයට, මාලිමාවේ ආර්ථික චින්තනය අනුව, මහා පරිමාණ සහල් වෙළඳුන් යනු මිනිසුන් නොවේ. ඔවුන් බලා සිටින්නේ හාල් මිල ඉහළ දමා හැකි තරම් ලාභ ලබාගැනීමටය. එහෙත්, ඔවුන් කොයි තරම් නරක වුණත්, ලංකාවේ හාල් මිල ද සාපේක්ෂව එතරම් ඉහළ අගයක නැත.
අස්වනු කපන කාලයට ගොවීන්ට අවශ්‍ය ඉහළ මිලක් හා ඉක්මනින් විකුණා ගැනීමේ අවස්ථාවයි. ඒ කාලයට අස්වනු වැඩි ප්‍රමාණයක් මිල දී ගන්නේ පෞද්ගලික වෙළෙන්දෝය. අතරමැදියන් හරහා ඒ වී මහා පරිමාණ මෝල් කරා පැමිණේ. මහා පරිමාණ මෝල් හිමියන්ට තොග රඳවා තබාගෙන මිල පාලනය කිරීමට අවස්ථාව ලැබෙන්නේ එසේය.
එයට විසඳුම ලෙස මාලිමාව යෝජනා කරන බව පෙනෙන්නේ, වී නිෂ්පාදනය සඳහා රජය පොහොර සහනාධාර, වාරිමාර්ග නඩත්තුව ආදිය ඔස්සේ දක්වන දායකත්වය භාවිතා කරමින් සහල් මෝල් හිමියන්ට හෙවත් තොග වෙළඳුන්ට බලපෑම් කිරීම හා වෙළඳපොළට ඍජුව මැදිහත් වීමයි.
තොග වෙළඳුන්ට බලපෑම් කිරීම කුමන ආකාරයකින් කරන්නේද යන්න පැහැදිලි නැත. ඒ සඳහා ක්‍රම දෙකක් ඇත. මහා පරිමාණ හාල් මෝල් හිමියන් විනාශ වන ආකාරයේ දැඩි මිල පාලනයක් පැනවීම එක් ක්‍රමයකි. කන්නයක්, දෙකක් යන විට සහල් වෙළඳපොළෙහි දැඩි අස්ථාවරත්වයක් හා ගුණාත්මකභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න පැනනගිනු ඇත. ඒ සමගම සහල් වෙළඳපොළේ සිදුවන අස්ථාවර වීම තුළ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට වඩා කෘර ගිජු ලිහිණියන් විය හැකි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පිරිසක් රජ කරන්නට ඉඩ තිබේ. එසේ නැතිනම්, යම් මිළ සූත්‍රයකට අනුව නියාමනයක් කළ හැකිය. එය මෝල් හිමියන්ට නරක නැත.
මෙහි තිබෙන වැදගත්ම මාලිමා ආර්ථික චින්තනය නම් වෙළඳපොළට ඍජුව මැදිහත් වීමයි. රමිඳුට අනුව, ඒ සඳහා “වී අලෙවි මණ්ඩලය හරහා වී මිල දී ගෙන, සහල් හිඟ පවත්නා අවස්ථාවල එම තොග මුදා හරිමින්, වෙළඳපොළ හැසිරවීමට රජය මැදිහත් වනු ඇත. තෙවනුව, සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ශක්තිමත් කරමින්, සමූපකාර ජාලය හරහා සහල් බෙදා හැරීම මගින් මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ බලය දුර්වල” කරනු ඇත.
මේ සඳහා රට පුරා වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සේවකයන්, ගබඩා පහසුකම්, වාහන ආදියෙන් ශක්තිමත් කළ යුතුය. එසේම, වී මිල දී ගැනීමට රජය ප්‍රාග්ධනය සැපයිය යුතුය. මේ වී කොටන්නේ සුළු පරිමාණ මෝල් විය යුතුය. ඒවා අලෙවි කරන්නේ සමුපකාර හරහාය. මේ යාන්ත්‍රණයේ මූලික ලක්ෂණය වන්නේ අකාර්යක්ෂමතාව හා දූෂණයයි. ඒ අනුව, සහල් නිෂ්පාදන මිළ අධික ලෙස ඉහළ යනු ඇත. ගුණාත්මකභාවයේ ද යම් ගැටලු ඇති විය හැකිය.
එවිට සිදු වන්නේ රජයේ සහල් නිෂ්පාදන මිළට වඩා අඩුවෙන් විකුණන්නටය. ඉතිරිය පියවන්නේ නැවතත් රජය විසිනි.
මේ අතර, වී අලෙවි මණ්ඩලයේ සේවකයන් පමණක් නොව සමුපකාර හා සුළු පරිමාණ මෝල් හිමියන් නඩත්තු කිරීමේ බර ද රජයට පැටවේ. ඔවුන් මෙම ජාලයේ වැදගත් පුරුක් නිසා ඔවුන්ගේ හඬට සවන් දීමට අනිවාර්යයෙන් සිදු වේ.
රමිඳු ලක්ඛිකගේ ලිපියෙහි ‘පෞද්ගලික දේපොලෙහි සමාජමය කාර්යය’ නම් අලුත් යයි ඔහු සිතන අදහසක් ඉදිරිපත් කරයි. ඔහු එවැන්නක් ගෙන එන්නේ පෞද්ගලික දේපොළවල සමාජමය කාර්යයක් නැතැයි ලිබරල් යයි ඔහු හඳුන්වන කඳවුර සිතා සිටින්නේ යයි ඔහු සිතන නිසාය. එහෙත්, ජෝන් ලොක්, ජෝන් ස්ටුවර්ට් මිල්, ජෝන් රෝල්ස්, ඇඩම් ස්මිත් වැනි ලිබරල් චින්තකයන් ඔය කාරණය ගැන කරුණු දක්වා ඇත.
සහල් මිල ගැන අධි සංවේදීභාවය හේතු දෙකක් මත පැන නගී. එකක් නම්, තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ ඇති අවිශ්වාසයයි. එමගින් ජනතාවට කන්නට දෙන්නට බැරි වන සාගතයක් නිර්මාණය වනු ඇතැයි මාලිමාවට බියක් ඇත. දෙවෙනි කාරණය නම්, ව්‍යාජ ජනතාවාදයයි. සත්තකින්ම ජනතාව සහල් ගැන ඔය තරම් අධි සංවේදීද? එවැනි සංවේදීතාවක් නිර්මාණය කරන්නේ මාධ්‍ය සහ දේශපාලකයන්මය. දිළිඳුම සමාජ තීරය තුළ හාල් මිල ගැන යම් සංවේදීතාවක් ඇති බව සත්‍යයකි. මේ වන විට ලංකාවේ ජනගහනයෙන් 25%ක් පමණ ජීවත් වන්නේ දරිද්‍රතා රේඛාවෙන් පහළය.
මේ ඔක්කොම කරන්නේ දිළිඳු ජනතාවට කන්නට දෙන්නට නම්, තියෙන ව්‍යූහය කඩා බිඳ දමා වී අලෙවි මණ්ඩල ආදියේ බරට රජය කරගහන්නේ නැතුව අස්වැසුම වැනි සමාජ ආරක්ෂණ ජාලයක් හරහා ඒ වැය කරන මුදල් කෙළින්ම දිළිඳු ජනයා වෙත බැර කරන්නට පුළුවන.