Anura Kumara Disanayaka

අනුර කුමාර ණය ගැන කියන කතාව එහෙම වුණොත් ලංකාවට මොකක් වෙයිද?

– අජිත් පැරකුම් ජයසිංහ

අනුරට තිබුණා මේ කියන කතාව මුලින් කියලා ඒක කරන්න බලය ගන්න. ඔහු කියන විදියට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය නොගෙවිය යුතුයි. ඔහු කියන පරිදි ගෙවිය යුත්තෙ ඔහුගෙ වචනවලින් මල්ටිලැට්න් කියන බහුපාර්ශ්වීය හෙවත් මල්ටිලැටරල් ණය හා ද්වි පාර්ශ්වීය ණය විතරයි.

මෙවැනි කතා පැවැත්වීමට පෙර අද කාලේ තනියම වුණත් සොයා යමක් ඉගෙන ගත යුතුව තිබෙනවා.

ජාතික ආණ්ඩු විසින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) නිකුත් කරන්නේ යටිතල පහසුකම් සංවර්ධනය, අයවැය හිඟය සහ පවතින ණය ප්‍රතිමූල්‍යකරණය වැනි විවිධ අරමුණු සඳහා ප්‍රාග්ධනය රැස් කිරීම සඳහායි. ISB නිකුත් කිරීම සාමාන්‍යයෙන් කළමනාකරණය කරනු ලබන්නේ ප්‍රබල ආයෝජන බැංකු සමූහයක් මගිනුයි. ඔවුන් බැඳුම්කර සඳහා ගැනුම්කරුවන් සොයා ගැනීමට සහ ඒවාට සුදුසු මිල නියම කිරීමට රජයන්ට උපකාර කරනවා. පහත දැක්වෙන්නෙ එවැනි බැංකු කීපයක්.

Citigroup
Goldman Sachs
JPMorgan Chase
Morgan Stanley
UBS

මේ ණය ගෙවීම පැහැර හැරියාම රටක් බංකොලොත් ලෙස සැලකෙනවා. ජාත්‍යන්තර ණය දර්ශකවල පහළටම ඇද වැටෙනවා. තවදුරටත් ණය ගන්නට බැරි වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධානවල සම්බාධකවලට රට යටත් විය හැකියි. වෙළඳාම සහ ආයෝජන සීමා කිරීම් මෙම සම්බාධකවලට ඇතුළත් විය හැකිය. ඒ වගේම ආයෝජක විශ්වාසය නැති වෙනවා. අනුර කියන ඩොලර් ඉපැයීම ණය පැහැර හැරලා කරන්න බැහැ. ඔහු කියන පරිදි තමන් කැමති සමාගම්වලට විතරක් ආරාධනා කරන්න පුළුවන් වෙයිද එහෙම රටකට? ISB ණය නොගෙවන රටවලට විශාල අපකීර්තියක් ඇති වෙනවා.

ගමේ ගොඩේ වුණත්, අනුන්ගෙන් ණය අරගෙන නොගෙවා ඉන්න මිනිසුන්ට කිසිදු පිළිගැනීමක් නැහැ. මේ ණය වැඩි හරියක් ගත්තෙ අනුරලා මහින්ද රාජපක්ෂ එක්ක එකතු වෙලා පුළුල් කරපු රාජ්‍ය අංශය නඩත්තු කරන්න. ඒ වෙනුවෙන් ගත් ණය ගෙව්වෙත් ණය අරන්.

ණයවලින් කොටසක් ගෙවීම ප්‍රතික්ෂේප කර සෙසු ණය විතරක් ගෙවාගෙන යාමට හෝ ප්‍රතිව්‍යූහගත කරගැනීමට හැකි යයි සිතීම අනුරගේ හිතලුවක්. චීනය වගේ රටක් නම් සමහර විට මේකට කැමති වේවි. තමන්ගේ ණය ආපසු ගෙවන්නට ඔවුන් දැනටත් අලුත් ණයක් දෙන්නට එකඟ වී ඇති බව පෙනෙනවා. අපට තියෙන එකම පිහිට චීනය විතරක් වුණොත් යසට තියෙයි. ලංකාව චීන කොලනියක් වෙයි.

මේ වගේ ගොබ්බ විසඳුම් වාමාංශික ආණ්ඩුවක් බලයේ සිටි ග්‍රීසියේවත් යෝජනා වුණේ නැහැ. ග්‍රීසිය දැනුත් තමන් නොගෙවා පැහැර හැරි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවමින් ඉන්නවා. ඔවුන්ගේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ ගිහින් දැන් නැවතත් ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ණය ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.

අනුර කියන විදියට අපට ණය නොගෙවා චූන් එකේ ඉන්න බැහැ. ආයෝජන ආරවුල් විසඳීම සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICSID) වැනි ජාත්‍යන්තර උසාවිවල ISB ණය ගෙවීම පැහැර හරින රටවලට එරෙහිව නඩු පැවරිය හැකියි. බැංකු නඩු දිනුවොත්, ණය පැහැර හැර ඇති ISB ප්‍රමාණය සහ පොලී සහ නෛතික ගාස්තු අය කරගැනීමට පුළුවන්.

ඒ වන්දිත් ගෙවන්නේ නැතිනම් රටවල වත්කම් අත්පත් කර ගැනීම දක්වා යන්නට පුළුවන්. ISB ණය ආපසු ගෙවීම පැහැර හරින රටවල බැංකු ගිණුම්, රජයේ ගොඩනැගිලි සහ විදේශ විනිමය සංචිත වැනි වත්කම් බැංකුවලට අත්පත් කර ගත හැකියි.

උදාහරණයක් ලෙස, 2018 දී, Aurelius Capital Management විසින් එක්සත් ජනපද ෆෙඩරල් උසාවියේ වෙනිසියුලාවට එරෙහිව නඩු පවරා ඩොලර් මිලියන 600ක වන්දියක් දිනාගත්තා. නඩුව තවමත් අවසන් නැහැ. Aurelius Capital Management විසින් වෙනිසියුලාවේ වත්කම් අත්පත් කර ගැනීමට උත්සාහ කරනවා.

එක්සත් ජනපදය, කැනඩාව සහ යුරෝපීය රටවල් කිහිපයක් වෙනිසියුලාව සමඟ ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවා එරට රජයට සම්බාධක පනවා තිබෙනවා. කෙසේ වෙතත්, රුසියාව, චීනය සහ ඉරානය වැනි රටවල් වෙනිසියුලාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දිගටම පවත්වාගෙන යනවා.

ඇමරිකානු ජනපද සංවිධානය (OAS) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන කිහිපයක වෙනිසියුලාවේ සාමාජිකත්වය ද අත්හිටුවා තිබෙනවා. කෙසේ වෙතත්, වෙනිසියුලාව නොබැඳි ව්‍යාපාරයේ සාමාජිකයෙක්.

අනුර කරන්නේ මේ රටේ මිනිසුන් බරපතල මිථ්‍යාවක හෙළන එක. අමාරුවෙන් ගොඩ ගනිමින් සිටින ලංකාව ඔහුගේ මේ කටහැකර කතා නිසා තවත් අමාරුවේ වැටෙනවා.