court of justice

විනිසුරුවරුන්ටත් බදු ගෙවන්නට සිදු වේ

සිය වැටුපෙන් ඉහළ පෞද්ගලික ආදායම් බද්ද (APIT) අය කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අධිකරණ සේවාහි නිරත පාර්ශ්ව නියෝජනය කරන වෘත්තීය සංගම් තුනක් විසින් ගොනුකර තිබූ පෙත්සම් තුනක් අභියාචනාධිකරණය විසින් ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ අනුව, විනිසුරුවරුන්ගේ වැටුපෙන් ද එම බද්ද අයකර ගනු ඇත.

මෙම පෙත්සම් තුන ගොනුකරනු ලැබුවේ, ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය හා කම්කරු අධිකරණ සභාපතිවරුන්ගේ සංගමයයි.

මෙම පෙත්සම් විභාග කළ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ විනිසුරුවරුන් තිදෙනෙකු වන විනිසුරු සෝභිත රාජකරුණා, විනිසුරු මේනකා විජේසුන්දර සහ විනිසුරු නීල් ඉද්දවල තීන්දු කළේ බදු පැනවීම විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ කාර්යයක් නිසා ඒ සම්බන්ධයෙන් අධිකරණය තීන්දු ලබාදීම සදාචාරාත්මක නොවන අතර, එවැනි තීරණවලට අධිකරණය මැදිහත් වීමෙන් අධිකරණයේ ගෞරවයට හානිකර විය හැකි බවයි.

අභියාචනාධිකරණයේ සභාපති බන්දුල කරුණාරත්න සහ විනිසුරු ඩී.එන්.සමරකෝන් යන මහත්වරුන් කියා සිටියේ පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ලබාදිය යුතු බවයි. 2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධිත) පනතේ විධිවිධාන අර්ථකථනය කිරීමේදී අධිකරණ නිලධාරීන් APIT ගෙවීමට යටත් වන පරිදි අදාළ වගන්ති අර්ථකථනය කර නොමැති බව විනිසුරු කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.