මාලදිවයින ලංකාවෙන් ගුරුවරුන් බඳවා ගනියිද?
මාලදිවයිනට ලංකාවෙන් ගුරුවරුන් බඳවා ගන්නට කැමති බව එරට ජනාධිපති මොහොමඩ් මුයිසු මාලදිවයිනේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් රංග සුජීව ජයවර්ධනට පැවසූ බව එරට raajje වෙබ් අඩවිය වාර්තා කළා.
ඉස්සරත් ලංකාවෙ ගුරුවරුන් (විශේෂයෙන් ඉංග්‍රීසි ගුරුවරුන්) මාලදිවයිනේ රැකියාවල යෙදුණා. පස්සෙ කාලෙක ඒක නතර වුණා. ඒකට හේතුව මාලදිවයින තම අධ්‍යාපන ක්ෂේත්‍රය ගොඩක් දියුණු කරගැනීම.
ඒ වගේම, ලංකාවේ ගුරු අධ්‍යාපනයේ හා ගුරු වෘත්තීය තත්වයේ පිරිහීමත් එයට හේතුවක් වෙන්නට පුළුවන්. ඉස්සර තිබුණු, නිදහස් පරිසරයක් පැවති ගුරු විද්‍යාල වැහිලා ගිහින් අධ්‍යාපන විද්‍යා පීඨ ආවා. ඒවා තනිකර වහල් කඳවුරු වගේ. ඒවායේ නිලධාරීන් අතර ගුරු සිසුන්ගේ බත්පතෙනුත් ගසාකන තක්කඩි සිටින බව පසුගිය දිනවල මාධ්‍යවල වාර්තා වුණා. මෙවැනි පරිසරයන්ගෙන් ඉහළ ගුණාත්මකභාවයක් තියෙන ගුරුවරුන් බිහි වෙයිද?
අනෙක් පැත්තෙන්, සේවය තුළදී ගුරුවරුන් පුහුණු කරන ගුරු අධ්‍යාපන සේවාවේ තත්වය මොකක්ද? සේවාස්ථ නමින් පැවැත්වෙන ගුරු පුහුණු සැසි රජයේ මුදල් නාස්ති කරන, අවම ඵලදායී වැඩසටහන් බව තමයි ගුරුවරුන් බොහෝ දෙනෙකුගේ අත්දැකීම.
එහෙම තත්වයක් තුළ ඉස්සර වගේ නයිජීරියාවට, භූතානයට, මාලදිවයිනට සපයන්නට තරම් ගුණාත්මක ගුරුවරුන් ලංකාවේ ඉඳියිද? ‘හරියට උගන්නන්නෙ නැහැ’ කියන එක ආදර්ශ පාඨය වෙච්ච ලංකාවෙ පාසල්වල ගුරුවරුන් මාලදිවයින් ගිහින් මොනවා කරයිද? සල්ලි ගෙවන නිසා ටියුෂන් කරනවා වගේ උගන්වයිද? නැතිනම්, මෙහෙ වගේ දියව් දියාව් කියමින් වීදි බසියිද?
පාසල් 250කට අඩු, ගුරුවරුන් 10,000ට අඩු එරට ගුරු වෘත්තීය සමිති ලංකාවේ වගේ කඩාකප්පල්කාරීත්වයට යොමු වෙලා නැති, වෘත්තීය සංවර්ධනය ගැන අවධානය යොමු කරන ඒවා.
ලංකාවේ අධ්‍යාපන සංවර්ධනයට ප්‍රධාන බාධාවක් වන්නේ වෘත්තීය සමිති නායකත්වය. දශක ගණන් තිස්සේ හොර පාරවලින් රස්සාවෙන් නිදහස් වෙලා වැටුප් ලබමින් ඉන්න, තමන්ගෙ වෘත්තිය කරන්නට බැරි, අධ්‍යාපනය තියා සන්නිවේදනය, උද්දේශනය ගැන පවා කිසිම දෙයක් නොදන්න, හයියෙන් කෑගහන්න විතරක් පුළුවන් ගුරු සංගම් නායකත්වයකින් කවදාවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් හරවත් උද්දේශනයක් ලංකාවෙ සිදු වෙලා නැහැ. ඕනැම ප්‍රතිසංස්කරණයකට විරුද්ධව ඉස්කෝල වහනවා, අධ්‍යාපනය විකුණනවා කියලා බොරුවට තප්පුලන එක විතරයි කරලා තියෙන්නෙ.
ලංකාවෙ දේශපාලකයන් අතරින් වැඩි දෙනෙකුට අධ්‍යාපනයේ ගැඹුරු වෙනස්කම් කිරීමේ උවමනාවක් තිබිලා නැහැ. උදාහරණයක් විදියට මේ දිනවල රජයේ පාසල්වල 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය නිකුත් කරලා. ඒ අනුව, පදිංචිය අනුව 50%යි. ඒ කියන්නෙ ළඟම පාසල හොඳම පාසල එච්චරයි. 25%ක්ම ආදි ශිෂ්‍ය මාෆියාවට. ඉතිරි 25% රජයේ සේවකයන් විවිධ පදනම්වලින් අත්පත් කරගන්නවා. රටට ඩොලර් ගේන විදේශ ශ්‍රමිකයන්ගෙ දරුවන්ට රජයේ පාසල්වල විශේෂ අවස්ථාවක් තිබෙනවාද? නැහැ. ඔවුන්ට මේ ආදි ශිෂ්‍ය මාෆියා එක්ක නටන්න වෙලාවත් නැහැ. ඒ නිසා එවැනි මව්පියන් බොහෝ විට තමන්ගෙ ළමයින් ඊනියා ජාත්‍යන්තර පාසල්වලට යවන්නට පෙළඹෙනවා. ගම්බද රජයේ පාසල් වැහෙනවාට වඩා වැඩි වේගයකින් නගරබද පෞද්ගලික පාසල් විවෘත වෙනවා. ඒවා සම්බන්ධ නියාමනයක්වත් හඳුන්වා දී නැහැ. අඩු තරමේ ඒ පාසල්වල ඉගෙන ගන්නා සිසුන්ට මිනිස් පැටවුන්ට විදියට සලකන්නේවත් නැහැ. 2018 වසරේදී උසස් පෙළ විෂය ධාරාවක පළමු තැන පානදුරේ පෞද්ගලික පාසලක ශිෂ්‍යාවක් හිමි කරගත්තාම එම තැන එම ශිෂ්‍යාවට නොදිය යුතු බව එවකට විපක්ෂයේ සිටි බන්දුල ගුණවර්ධන ඇමති කිව්වා. ඔහු ජාත්‍යන්තර පාසල් බිස්නස් එක කරපු ටියුෂන් දේශනාකරුවෙක්.
යම් වෙනස්කම් කරන්නට උත්සාහ කරපු අධ්‍යාපන ඇමතිවරුන් මේ රටේ හිටියා. රනිල් වික්‍රමසිංහ, අකිල විරාජ් කාරියවසම් වගේම වත්මන් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් පවා එහෙම අය.
ඇමතිලාට පුළුවන් ප්‍රතිපත්තිමය තීරණ ගන්න. ඒවා සාර්ථක කරන්නට පුළුවන් නිලධාරීන්ට හා ගුරුවරුන්ට. අකිල විරාජ් අධ්‍යාපන ඇමති කාලෙ ගර්භනී ගුරුවරියන්ට නිල ඇඳුමක් හඳුන්වා දුන්නා. ගුරුවරියන් ඒක ඇන්දද? පස්සෙ කාලෙ සාරි වෙනුවට ගවුන් ඇඳලා ජවුසන් නටපු ගුරුවරියන්වත් ඒ නිල ඇඳුම වෙනුවෙන් පෙනී සිටියෙ නැහැ. ගුරුවරුන් සාධනීය පියවරවලට සහාය දිය යුතුයි. රජයේ අනෙකුත් සේවාවන්ටත් වඩා පාසල් අධ්‍යාපනය තුළ මේ වන විට අරාජිකත්වය වර්ධනය වෙලා.