අයිතිවාසිකම්ද? පාලනයද? මහර බන්ධනාගාරයේ ඝාතන නඩුව අවසන් කිරීම
අජිත් පැරකුම් ජයසිංහ
මහර බන්ධනාගාරයේ සිරකරු මරණ සම්බන්ධ නඩුව අවසන් කිරීමට නීතිපති උපදෙස් මත අධිකරණය තීන්දු කර තිබේ. මෙම තීන්දුව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් අතර කෝපයට හේතු වී ඇත. එහෙත්, මෙය සිරකරු අයිතිවාසිකම් සහ පුරවැසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් රජයේ වගවීම ප්‍රශ්න කිරීමට හේතු වී ඇත. රිමාන්ඩ් රැඳවියන් 11දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් කිසිවකු වගවීමට පත් නොවන ආකාරයෙන් නීතිමය ක්‍රියාදාමයන් අවසන් කිරීමට ගත් තීරණයෙන් ඉස්මතු වන්නේ අධිකරණය නීතිය හා සාමය පවත්වා ගැනීමට අවශ්‍ය දෙයක් ලෙස රාජ්‍ය මර්දනය නීත්‍යානුකූල කරන ආකාරයයි.
2020 නොවැම්බර් 29 වන දින මහර බන්ධනාගාරයේ ඝාතන සිදු වූයේ කෝවිඩ්-19 අධි වසංගතය මධ්‍යයේය. අධික ලෙස තදබද වූ බන්ධනාගාරය තුළ රැඳවියන් අතර ආසාදනය පිළිබඳ වැඩිවන බිය මධ්‍යයේ PCR පරීක්ෂණ ඉල්ලා රැඳවියන් විරෝධය පළ කළ අවස්ථාවේදී ගැටුම්කාරී තත්වයක් ඇති විය. රැඳවියන් 1,000 ක් සඳහා නිර්මාණය කර ඇති බන්ධනාගාරය තුළ 2,000 කට අධික පිරිසක් රඳවා තබා තිබිණි. මෙම අධික තදබදය කෝවිඩ්-19 පැතිරීම උග්‍ර කළ අතර, මියගිය සිරකරුවන් හතර දෙනෙකු වෛරසය ආසාදනය වී සිටි අය බවට පසුව හඳුනා ගන්නා ලදී. සිරකරුවන්ගේ ඉල්ලීම් හදිසි මෙන්ම මානුෂීය වූ නමුත් මෙම ඉල්ලීම් ඉටු නොවීම ආතතීන් උත්සන්න කිරීමට හේතු විය. විශේෂ කාර්ය බලකාය (STF), පොලිසිය හා බන්ධනාගාර ආරක්ෂක අංශ කඳුළු ගෑස්, රබර් උණ්ඩ සහ ජීව උණ්ඩ සමිඟ මැදිහත් වූ අතර රැඳවියන් 11 දෙනෙකු මිය ගොස් 107 දෙනෙකු තුවාල ලැබීය.
පසුකාලීන විමර්ශනයයේදී වෙඩි තැබීම් සම්බන්ධ අවිනිශ්චිත සාක්ෂි සහ තනි අපරාධකරුවන් හඳුනාගැනීමේ දුෂ්කරතා ඇතුළු අභියෝගවලට මුහුණ දීමට සිදු විය. බන්ධනාගාර ආඥාපනත යටතේ නීත්‍යානුකූල බලය තුළ ක්‍රියාකරමින් ඊට සම්බන්ධ නිලධාරීන් නීතිය හා සාමය පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බවට නීතිපතිවරයා කරුණු ඉදිරිපත් කළේය. තවදුරටත් අවුල් සහගත තත්ත්වයන් ඇති වීම වැළැක්වීම සහ රැඳවියන් 2,000කට අධික පිරිසක් සාමූහිකව බන්ධනාගාර රැඳවුම් භාරයෙන් පළා යාම නතර කිරීමේ අවශ්‍යතාව මත නිලධාරීන් ක්‍රියා කර ඇති බව නීතිපතිවරයා අවධාරණය කළේය.
කෙසේ වෙතත්, මෙම සාධාරණීකරණය ගැටලු මතු කරයි. රැඳවියන්ගේ නීත්‍යානුකූල ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය අපොහොසත් වීම සහ ඔවුන්ගේ විරෝධතාවට දක්වන ම්ලේච්ඡ ප්‍රතිචාරය අනුව, පාලනය මර්දනයක් බවට පරිවර්තනය විය හැකි ආකාරය පෙන්නුම් කරයි. නඩුව අවසන් කිරීම මගින් අධිකරණය අත්‍යවශ්‍යයෙන්ම මෙම මරණ සිරකරුවන්ගේ ජීවත්වීමේ මූලික අයිතිවාසිකම නොසලකා හරිමින් පාලනය පවත්වාගෙන යාමට කටයුතු කිරීමෙහිදී ඇති වූ ප්‍රතිවිපාකයක් බවට වූ ආඛ්‍යානය අනුමත කර ඇත. මෙම තීරණය මගින් රාජ්‍ය ක්‍රියාවන් කෙතරම් ප්‍රචණ්ඩකාරී වුවද නීත්‍යානුකූලභාවයේ මුවාවෙන් ආරක්ෂා කෙරෙන දණ්ඩමුක්තියේ සංස්කෘතිය තවදුරටත් තහවුරු වෙයි.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තදබදය තීරණාත්මක ප්‍රශ්නයක් ලෙස පවතී. සිරකරුවන් රඳවා තබාගැනීමේ කොන්දේසි බොහෝ විට මූලික මිනිස් ගෞරවය උල්ලංඝනය කරයි. ජීවිතයට තර්ජනයක් වන සෞඛ්‍ය ගැටලු පවා බැහැර කරන පද්ධතිමය නොසැලකිල්ල මෙහි තිබෙන බරපතලම ගැටලුවයි. පාලනය බලාත්මක කිරීමේ සිට මානව හිමිකම් ආරක්ෂා කිරීම දක්වා පාලනය මාරු වන තුරු, ශ්‍රී ලංකාව එහි අධිකරණ පද්ධතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි විශ්වාසය ඛාදනය වීමේ අවදානමක් ඇත. වින්දිතයන්ගේ පවුල්වලට සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්ට ඉතිරිව ඇත්තේ අවම පිළිසරණක් වන අතර, රජය අධිකාරිය බලය ශක්තිමත් කරගනිමින් සිටියි.