Supun Pathirage, arrested chairman of Central Environmental Authority of Sri Lanka

දූෂණය නැති කිරීමේදී වඩා වැදගත් පුද්ගලයන් නෙමෙයි, නීතියි

– අජිත් පැරකුම් ජයසිංහ

මේ තියෙන්නෙ පාරිසරික වාර්තාවක් ලබාදීම සඳහා අල්ලසක් ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලද සුපුන් එස්. පතිරගේ නම් පුද්ගලයාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක.

පෙනෙන විදියට තරුණයෙක්. අවශ්‍ය සුදුසුකම් තිබෙන කෙනෙක්. දේශපාලනිකව එජාපයට හෝ ජනාධිපතිවරයාට හිතවත් අයෙකු වෙන්නට ඇති.

උගත්කම, තරුණකම ආදිය දූෂණයෙන් තොර වීමට හේතු වෙන්නෙ නැහැ. කිසිම පුද්ගලයකු හෝ පුද්ගල වර්ගයක් හෝ දූෂිතයන් නොවනු ඇතැයි සිතන්නටත් බැහැ.

මෙම පුද්ගලයාව මෙම තනතුරට පත් කළේ ජනාධිපතිවරයා විසින් 2022 අග භාගයේදීයි. ඊට පෙර මෙම තනතුරේ හිටියේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සිරිපාල අමරසිංහයි. ඔහු ඉවත් කිරීමට හේතු වුණේ, ඔහුත් ඔහුගේ පුතාත් නකල්ස් ලෝක උරුම වන රක්ෂිතය ආසන්නයේ හෝටලයක් ඉදිකිරීම සඳහා තම බලතල පාවිච්චි කිරීම නිසා.

දූෂණය නම් පිළිකාව සුව කිරීමේදී පුද්ගලයන්ගේ වැදගත්කමක් නැහැ. වැදගත් වන්නේ රටේ නීති පද්ධතිය ශක්තිමත් කිරීම හා රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව නැංවීමයි. ව්‍යවසායකයන්ට ව්‍යාපෘති ආරම්භ කිරීම පහසු වෙන විදියෙ නීති අවශ්‍යයි. විවිධ සංකීර්ණ නීති මගින් සිදුවන්නේ දූෂණයට මග සැකසීමයි.

දූෂණ සහ වංචා නැවැත්වීමට විධි විධාන ඇතුළත් දූෂණ විරෝධී පනත පසුගිය ජුලි 19 දින පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එහෙත්, එහි පැවති අඩුපාඩු නිසා ඉතා ඉක්මනින්ම එම අඩුපාඩු ඉවත් කර දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී නොවැම්බර් 8 වැනිදා සම්මත කරගැනීමට සිදු වුණා.

අමාත්‍යාංශ නිලධාරින්ට මෙන්ම, නීති කෙටුම්පත් කිරීම සඳහා තිබෙන නීති කෙටුම්පත් කිරීමේ දෙපාර්තමේන්තුවටත් නීතියක් හරියට සම්පාදනය කරගන්නට බැරි වෙන එකත් රාජ්‍ය අකාර්යක්ෂමතාවේ ලක්ෂණම තමයි. දූෂණයට මග සලසන්නෙ මේ අකාර්යක්ෂමතාව. නිති සම්පාදනයේ මේ ගැටලුව නිසා මාස ගණනක්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පත්කරගැනීමට නොහැකිව තිබුණා.

ලිංගික අල්ලස් ගැනීම , පෞද්ගලික ආයතන තුළ සිදුවන අල්ලස් මෙන්ම ක්‍රීඩා ඉසව් සම්බන්ධ වන අල්ලස් ද මෙම නව පනත යටතේ විශේෂයෙන් ආවරණය කර තිබෙනවා.

නව නීතියෙන් ජනාධිපතිවරයාවත් වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබාදිය යුතු පිරිස අතරට ඇතුළත් කර තිබෙනවා.

නිලධාරියෙක් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබා දිය යුතු අවස්ථා සංඛ්‍යාව වැඩි කර තිබෙනවා. සිය තනතුර ලද අවස්ථාවෙයි, වාර්ෂිකවයි මෙන්ම රැකියාවෙන් ඉවත් වන අවස්ථාවේදී සහ රැකියාවෙන් ඉවත් වී වසර දෙකකට පසුවත් වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබාදිය යුතුයි.

එසේම, තමන්ගේ වත්කම් රුපියල් මිලියන 10ක් හෝ ඊට වඩා වැඩි වටිනාකමක වෙනසක් වෙනවා නම් ඒ අවස්ථාවේදී විශේෂ වත්කම් හා බැරකම් ප්‍රකාශයක් ලබාදිය යුතුයි.

මැතිවරණ අපේක්ෂකයෙකු නාම යෝජනා පත්‍රය සමගම වත්කම් හා බැරකම් ප්‍රකාශය ලබාදිය යුතුයි.

නව වත්කම් හා බැරකම් ප්‍රකාශනය ඉලෙක්ට්‍රෝනික පද්ධතියකට යොමු කිරීමට මෙන්ම නොමිළේ මහජනතාවට එය බැලීමට අවස්ථාව ලබා දෙන්නට ද නව නීතිය අනුව ප්‍රතිපාදන තිබේ.

පුද්ගලයන් වැදගත් නැත. වැදගත් වන්නේ නීති හා එම නීති ක්‍රියාත්මක වීමයි.