Matugama Public Ground with AGA office

පසුව පාතාලය වුණ මතුගම පරණ බස් ඩිපෝ එක

අජිත් පැරකුම් ජයසිංහ

ඉස්සර මතුගම ඩිපෝව තිබුණෙ දැන් පෞද්ගලික බස් නැවතුම්පොළ පිටුපස පිටාර බස්ගාල තියෙන තැන. ඩිපෝවට ඇතුළු වුණේ දැන් ගුණසිංහ තෙල් පිරවුම්හල තියෙන තැනින්.

ඩිපෝව එතනින් අයින් කරලා අළුත්ගම පාරට ගෙනිච්චෙ මට මතක විදියට අසූගණන්වලදියි. පස්සෙ කාලෙක ඒ භූමියේ වෙළඳපොළක් හැදුවට ඒක දැන් මුළුමනින්ම අසාර්ථකයි. දැන් එතන හැඳින්වෙන්නෙත් පාතාලෙ නමින්. එතන ව්‍යාපාරික වශයෙන් සාර්ථක වෙලා නැහැ.

මතුගම ආනන්ද – ශාන්ත මේරි 1974 මහා ක්‍රිකට් තරගයෙදි ගත්ත ඡායාරූපයක් වන පහත දැක්වෙන ඡායාරූපයේ සෙනග හිටගෙන ඉන්නෙ ඩිපෝවෙ මහ තාප්පය අයින දිගේ ඇදුණු පාරෙ. ඉස්සර එතන පිට්ටනියට අඩි කීපයක් ඉහළින් ගුරු පාරක් තිබුණා. ඒ පාර දැන් පෞද්ගලික බස් නැවතුම තියෙන තැනින් අගලවත්ත පාරට වැටුණා. පස්සෙ කාලෙක ඒ පාර පිට්ටනියටම කැපුවා. දැන් හතරෙ සීමාව තියෙන්නෙ ඒ පාර තිබුණු හරියෙ.

ආනන්ද ශාස්ත්‍රාලයේ ළමයි වැඩි හරියක් බස් නැවතුමේ සිට පාසලට ගියේ මේ ගුරු පාර දිගේ. අපි වගේ කොල්ලො නම් ගියේ පිට්ටනිය මැද්දෙන්. එහෙම ගිහින් දැන් ඔය පෞද්ගලික බස් නැවතුමට හතරමං හන්දිය පැත්තට වෙන්න දිගට තියෙන කඩ පේලියේ දැන් ඔය තියෙන මිදුල දිගේ ඇවිත් සමුපකාර කිරිහල ගාවින් අගලවත්ත පාරට වැටෙනවා. සමුපකාර කිරිහල 1990 දශකයෙදි කඩා දාලා පෞද්ගලික බස් නැවතුම්පොළ පළල් කළා. දැන් කළුතර බස් නවත්තන්නෙ එතන.

ඩිපෝ එක අයින දිගේ තියෙන මේ පාරෙ යනකොට බස් ඩිපෝ එකේ සද්ද ඇහෙනවා. ඩිපෝ එක අයිනෙ මුල්ලක නොයෙල් බැස්ටියන්ගෙ සපත්තු මහන මඩුව තිබුණා. පිට්ටනියෙ ක්‍රිකට් ගහන අයගෙ සපත්තු, පෑඩ් පවා මැහුවෙ නොයෙල්. පස්සෙ කාලෙක නොයෙල්ටත් පාතාලෙ කඩයක් තිබුණා. එතනත් ඔහු සපත්තු මැහුවා. නොයෙල් ඉස්සර ශාන්ත මේරි විද්‍යාලයේ, මතුගම ක්‍රිකට් ක්ලබ් එකේ එහෙම ක්‍රීඩා කරපු වේග පන්දු යවන්නෙක්.  ඒ තාප්පෙන් එහාපැත්තෙ තිබිච්ච බස් තිබුණු සොඳුරු ලෝකය ඒ කාලෙ අපට අභිරහසක්. ඒ පාර ගියේ උප දිසාපති කාර්යාලයට. ඒක කවදාවත් තාර දාපු නැති, වීදුරු වගේ ඝනකම වැල්ලක් තිබුණු පාරක්.

මේ දැවැන්ත තාප්පෙ දේශපාලන සටන් පාඨ ලියවුණු කාලත් තිබුණා. හැත්තැ හතේ ඡන්දෙදි මතුගම ආසනයට තරග කරපු ප්‍රධාන අපේක්ෂකයන් තුන්දෙනා වුණේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී දයා ටී. පස්කුවල්, හැත්තැ හතේ ඡන්දෙ දිනපු එක්සත් ජාතික පක්ෂයේ තුඩුගල පොඩි රාළහාමි හෙවත් රෙජිනෝල්ඩ් වී. විජේගුණරත්න හා ලංගමේ හිටපු සභාපතිවරයකු හා අගලවත්ත හිටපු මන්ත්‍රී වුණ ලංකා සමසමාජ පක්ෂයේ අනිල් මුණසිංහ (1983දී ඔහු නැවත මතුගම මන්ත්‍රී ලෙස පත් වුණා). ඒ කාලෙ තාප්පෙ ‘අනිල් ජුලි 22 ගයනාවේ’ කියා ලියා තිබුණා මතකයි. අනිල් මුණසිංහට ගයනාවේ මොකක් හෝ සම්බන්ධතාවක් තිබුණා. ඡන්දෙ පැරදිලා ඔහු ගයනාවට පළා යන බව තමයි ඒ සටන් පාඨයෙන් කියැවුණේ.

උප දිසාපති කාර්යාලය පිට්ටනිය පැත්තෙන් හසුකරගත්ත ඡායාරූපයක් තමයි මුල් ඡායාරූපයේ තියෙන්නෙ. උප දිසාපති කාර්යාලය දැන් එතන නැතිවුණාට ඒ ගොඩනැගිල්ල තවමත් තියෙනවා. ඒක පිටිපස්සෙ ඉස්සර මහ කළුතෙල් වලක් තිබුණා. ඒ ඩිපෝවේ සර්විස් ස්ටේෂන් එකෙන් ගලපු අපජලය ඒ කාලෙ කොල්ලන් කිව්වෙ ඒකට පතුලක් නැහැය කියලායි. අපි විනෝදෙට ඒකට ගල් දානවා.

ඡායාරූප උපුටාගත්තෙ ෆේස්බුක් වෙතින්. නම නොදන්නා ඒ ඡායාරූප හිමිකරුවන්ට ස්තුතියි.