FMM photo

සවන් දීමේ වගකීම හා ප්‍රකාශනයේ නිදහස

සවන් දීම ද අදහස් ප්‍රකාශනයේ නිදහසට ගරු කිරීමේ වගකීමෙහි කොටසකි. අදහස් ප්‍රකාශනයේ නිදහසට බාධා කිරීමටත් වඩා, වර්තමානයේදී දකින්නට ලැබෙන බරපතල ගැටලුවක් වන්නේ අදහස්වලට සවන් නොදීමයි. අනුන්ගේ අදහස්වලට සවන් නොදී තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම මෙන්ම, තමන් සවන් නොදුන් අදහස් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම ද අතිශය සුලබය. මේ සියල්ලම ප්‍රකාශනයේ නිදහසට බාධාකාරීය.

ඩිජිටල් යුගය යනු අතිශය වේගවත් සන්නිවේදනයක් සිදුවන යුගයකි. සෙමෙන් සිදුවන දේශන පැවැත්වීමෙහිදී අවධානය රැකගැනීම අප සියලු දෙනාට අභියෝගයකි. එසේම, යමක් බෝරිං වන ඕනෑම අවස්ථාවකදී අප දැන් කරනුයේ ජංගම දුරකථනයට එබිකම් කිරීමයි. ඈනුම් ඇරීම, නහය හෑරීම, නියපොතු කෑම වැනි දේට වඩා එය විනීත ය. එමගින් ආතතිය පාලනය කරගැනීමට ද හැකි වේ.

එමෙන්ම, ජංගම දුරකථනය මේ වන විට සමාජයේ දැඩි ඇබ්බැහියක් ද වී හමාරය. සමාජ මාධ්‍ය නොබලා විනාඩි කීපයක් ගත කිරීම පවා අප බොහෝ දෙනෙකුට දුෂ්කරය. එහි ඇත්තේ විනෝදාස්වාදය පමණක් නොවේ. වේගයෙන් ගලා යන දැනුම් ප්‍රවාහයක් සමග ද එය අප සම්බන්ධ කරයි.

එසේම, සමාජ රැලි නිර්මානය කරන්නේ ද සමාජ මාධ්‍ය විසිනි. එවැනි රැලි අතර වර්තමානයේදී ඉහළින්ම තිබෙන්නේ කෙටි විනෝදාස්වාද වීඩියෝ ය. කතා පැවැත්වීම පවතින්නේ ජනප්‍රියත්වයේ පහළම මට්ටමේය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ෆේස්බුක් පිටුවේ පළ වූ මෙම ඡායාරූපය ඡායාරූප මාධ්‍යකරණය ඔස්සේ නිශේධනීය අදහස් සන්නිවේදනය කළ හැකි ආකාරය ගැන ද මනා නිදසුනකි.