Mahinda Rajapakse's condolence message on the passing away of Nalin de Silva

නලින් ද සිල්වා මිය ගියාට ඔහුගේ දේශපාලන පදනම මිය ගොස් නැත

අජිත් පැරකුම් ජයසිංහ

නලින් ද සිල්වාගේ මතවාදී අරගලය හා දේශපාලනය විසින් සිදු කරනු ලැබුවේ සිංහල බෞද්ධ ගොවිගම පිරිමි රාජ්‍ය ආධිපත්‍යය තහවුරු කිරීමයි. රාජපක්ෂ පවුල් පාලනය එහි උච්චතම ප්‍රතිඵලයයි.

නලින් ද සිල්වා සිංහල බෞද්ධ වුවත්, ගොවිගම නොවේ. එහෙත්, ඔහු ගොවිගම බලය පිළිගත් අයෙකි. එයට හේතුව පැහැදිලිය. බලවත් සුළුතර කරාව කුලයේ උන්නතිකාමය සමග සෙසු සිංහල බෞද්ධ ගොවිගම පිරිමි නොවන සියලු බලවේග බලමුළු ගැන්වී නිශ්චිත මොහොතක ලංකාව වෙනස් කරන බව ඔහු දැන සිටියේය. දෙමළ කැරැල්ල අවස්ථාවේදී දෙමළ ජාතිවාදයේ හා කොටි සංවිධානයේ ප්‍රබලත්වය නිසා එය සිදු නොවූ මුත්, 2022 අරගලය අවස්ථාවේ එය උච්චස්ථානයට පත් වී, සිංහල බෞද්ධ ගොවිගම රාජ්‍ය ආධිපත්‍යය විනාශ නොවී බේරුණේ අනූ නමයෙනි. තව ටිකක් එහා මෙහා වූවා නම් ශ්‍රී ලංකාව නම් රාජ්‍යය විසිරී යන්නට පවා ඉඩ තිබිණි.

එසේ නොවීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව නම් රාජ්‍යයේ මූලික ස්වභාවය තවදුරටත් වෙනස් නොවී පවතී. එහෙත් එය වෙනස් විය යුතුය. දැන් දැන් වෙනස් වෙමින් පවතී. නලින් ද සිල්වාගේ දැක්මේ මූලික ලක්ෂණය මෙම රාජ්‍යය වෙනස් වීම වැළැක්වීමේ ඔහුගේ දේශපාලනයෙන් ප්‍රකාශ වේ.

නලින් ද සිල්වාගේ දැක්ම අනුව මෙරට අනාගත රාජ්‍ය නායකත්වය රාජපක්ෂවාදයට හා නාමල් රාජපක්ෂට හිමි විය යුතුය. රාජපක්ෂවරුන් දශකයක් පමණ කාලයක් තුළ දෙමළ කැරැල්ල මර්දනය කළ අතර, රැඩිකල් මුස්ලිමුන් අන්තවාදය දෙසට තල්ලු කර පාස්කු ප්‍රහාරය ඔස්සේ විනාශයට යොමු කළහ. රැඩිකල් වාමාංශික ජවිපෙ කෑලි ගණනාවකට කඩා බිඳ දැමූහ. එහෙත්, ආර්ථිකය කළමනාකරණය කරගැනීමට අසමත් වීම හේතුවෙන් සිදු වූ රාජපක්ෂ ජනප්‍රියවාදයේ පසුබෑමත් සමග දැන් මේ සියල්ල යළි පිබිදෙමින් තිබේ.

දෙමළ, මුස්ලිම් ජාතිවාදී බලවේග අතරින් කතෝලික ආගම්වාදයක් ද හිස ඔසවා තිබෙනු පැහැදිලිව දැකිය හැකිය. මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන ලිබරල් ධනේශ්වර ධාරාවේ සාමාන්‍ය පිළිතුර වන්නේ ආර්ථික වර්ධන වේගය ඉහළ නැංවීම හරහා දෘෂ්ටිවාදී දේශපාලනයට ආර්ථික පීඩනය භාවිතා කිරීමට තිබෙන අවස්ථා අවම කිරීම හා හා බලය බෙදාගැනීම මත පදනම් වූ රාජ්‍ය ප්‍රතිසංස්කරණයි.

බලලෝභය වෙනුවෙන් ජාති, ආගම්, පන්ති ආදී අනන්‍යතා පදනම් කරගෙන දේශපාලනය කරන බලවේග කිසිදා මේ විසඳුම්වලින් තෘප්ත වන්නේ නැත. තමන්ට ලැබෙන්නේ කුමන අවස්ථාවද, එය බදා වැළඳගැනීමට ඔවුන් සැදී පැහැදී සිටිති. මෙයට වර්තමානයේ දැක්විය හැකි හොඳම උදාහරණය පාස්කු ප්‍රහාර දේශපාලනයයි. මේ වන විට පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සමග වක්‍රව සම්බන්ධ මුස්ලිම් ජාතිවාදීන් හා වින්දිත කතෝලික පූජකවරුන් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා අධිකරණයේදී පවා ආරක්ෂා කරමින් නිර්දය ලෙස සිංහල බෞද්ධ දේශපාලන නායකත්වය හා රාජ්‍ය නිලධාරීන් හඹා යන ආකාරය බලන්න.

නලින් ද සිල්වා මිය ගියත්, නලින් ද සිල්වාගේ දේශපාලනය සඳහා වන පදනම අහෝසි වී නැත. එය අහෝසි කිරීම සඳහා බලවේග පෙළගැසීම ද පහසු නැත.