වේයන්ගොඩ නිදානෙ රන් දෑකැති තියෙන්න බැරිද

අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ රත්තරං තිබුණේ නැත. මුතු මැණික් නම් තිබිණි. එහෙත්, ලංකාව ඉතිහාසයේ කවදාවත් ලොව ප්‍රධානම ධනවත් රාජ්‍යයක්ව සිටියේ ද නැත. ලංකාවේ රජවරු නිතරම අභ්‍යන්තර කැරලි, කුමන්ත්‍රණ ආදියටත්, පරසතුරු ආක්‍රමණ ආදියටත් මුහුණ දුන්හ. ඔවුන් ළඟ අති විශාල ධනස්කන්ධයක් එකතු වෙන්නට විදියක් නැත. එහෙම එකතු නොවූ ධනස්කන්ධයක් නිදන් කරන්නට විදියක් ද නැත.

පසුව ගන්නට නිදන් කරපු ඒවා රජුගේ උරුමකරුවන් හෝ ඒ ගැන දැන සිටි වෙනත් අය අරගන්නට ඇත. ආගමික භක්තිය නිසා වෙහෙර විහාරවල නිදන් කරපු ඒවා නිදන් හොරුන් විසින් ඩැහැගෙන දැන් බොහෝ කල්ය.

ලංකාවේ අතන මෙතන හැමතැනම නිධාන ඇතැයි කියන එක අර පියාඹන පීරිසි කතාව වගේ සාහිත්‍යමය හා සිනමාත්මක දෙයකි. පිටසක්වළ ජීවීන් ගැන කතාවක් රූපවාහිනියක විකාශය වූ ගමන්ම ලංකාව පුරාම පියාඹන පීරිසි පාවේ. ඒ ගැන ගොසිප් ප්‍රාදේශීය වාර්තාකරුවෝ පත්තරවලට ලියති.

රන් දෑකැති ගෙන නිති සැරසෙනවා – රත්‍ රන් පටි ඉන වට දිලිසෙනවා – රිවි දුටු පිනි බිඳු ලෙස පහවෙනවා – දුම්බර කෙතෙ අපි ගොයම් කපනවා.

ඉහත දැක්වෙන්නේ ජනකවියකි. සාහිත්‍ය නිර්මාණයකි. පුරාණ සාහිත්‍ය නිර්මාණවල අතිශයෝක්තිය බහුලය. එය සාහිත්‍යමය ලක්ෂණයකි. ඊනියා සමාජ සත්තා යථාර්ථවාදය හා සෝවියට් පොත් ලංකාවට එන්නට කලින් මෙහි ජීවත් වූ මිනිසුන් අතිශයෝක්තිය රසවින්දහ. එහෙත්, ඒවා ඇත්ත නොවන බව දැන සිටියහ. මාටින් වික්‍රමසිංහලාගෙන් පසු තත්වය වෙනස් විය. පුරාතන සාහිත්‍යයේ තිබුණු සාමාන්‍ය දේවලට දැන් අධි යථාර්ථවාදය යයි නමක් ද පටබැඳ තවදුරටත් යථාර්ථවාදයම උත්කර්ෂයට නංවනු ලැබේ.

මේ ජනකවිය පාදක කරගෙන අපේ ගමේ එවුන් වගයක් රන්වලාගල රක්ෂිතයේ රත්තරං දෑකැති සොයා නිදන් හෑරූහ. පොලිසිය රත්තරං දෑකැති සොයා උන්ව වධහිංසනයටත් පැමිණවූහ. අපේ ගමේ රත්තරං දෑකැති ලැබුණු එවුන් ගැන කතා දැනුත් ඇත. රත්තරං දෑකැත්තක පවුම් කීයක් ඇද්දැයි හිතන්න.

ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය පමණක් නොව අධිකරණය ද සමාජ සත්තා යථාර්ථවාදයෙන් ගොඩනැගුණු පරපුරකි. අප කැමති කුමන්ත්‍රණ න්‍යායවලටය. ඒ නිසා මෙහෙම නාටක පුදුම විය යුතු කාරණා නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *