President

ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන අපේ මතය

අජිත් පැරකුම් ජයසිංහ

නොවැම්බර් 21දා ජවිපෙ දසවන පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පවත්වන ලද කතාවෙන් රජය අනුගමනය කරන්නට බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කරන ලදි.

ජවිපෙ/ ජාජබ බලයට පත්වීමෙන් ඇස් ගිනිකණ වැටී සිටින අඳබාලයන් හානේ, මාරයි, කොලයක් බලාගන්නෙ නැතුව කොහොම මෙහෙම කතා කරනවද ආදී වශයෙන් විස්මය පළ කළහ. ජනාධිපතිවරයාගේ මේසය මත කොළයක් විය. ටෙලිප්‍රොම්ප්ටර පාවිච්චි කරන්නට ද ඇත. ඒවායේ කිසි වරදක් නැත. මුළු ජීවිත කාලයම කතා පැවැත්වීම සිදු කළ නායකයෙකු මෙවැනි අවස්ථාවලදී හොඳ කතාවක් පැවැත්විය යුතුමය. එහෙත්, මේ කතාව එහෙමම එකක්ද? සුපුරුදු පරිදිම ආදායම් උපයා ගන්නා ආකාරය මේ කතාවේ නැත. බදු අඩු කරන ආකාරය ගැන පසුගිය කාලයේ දුන් පොරොන්දු ගැන හාංකවිසියක් නැත.වෙනත් සුපුරුදු කයිවාරු නම් ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ ඇති වැදගත්ම කොටස පහත දැක්වේ. එය පවසන්නේ අප වැනි විරුද්ධ මතධාරීන් දිරිමත් කිරීමටයි. ආණ්ඩුවට දැන් අවශ්‍ය වන්නේ ඇස් ගිනි කණ වැටී සිටින වහලුන් නොව, තමන් ඉදිරියේ ලොකු කර බලන කන්නාඩියක් තබන අප වැනි විපක්ෂ ක්‍රියාකාරිකයන්ය. ජනාධිපතිවරයා මෙසේ කීය: “ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ විවිධ මතවාද දරන දේශපාලන කඳවුරු පැවැත්මයි. විවිධ ආර්ථිකමය දේශපාලන ප්‍රතිපත්ති මත දේශපාලන කඳවුරුවල පැවතීමයි. එනිසා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස තනි පක්ෂ පාලනයක් කිසිසේත්ම අප අපේක්ෂා කරන්නේ නැහැ. බහු පක්ෂ දේශපාලනයේ ප්‍රතිපත්තිය අප පිළිගනු ලබනවා.”

ජාතිවාදී දේශපාලනයට නැවත කිසි දිනෙක ජාතිය බෙදීමට ඉඩ නොදෙනු ඇති බව ඔහු පැවසීය. 1987, 2004 වැනි වකවානුවල ජවිපෙ සිංහල ජාතිවාදයේ පිට නගිමින් බලය සමග ගනුදෙනු කළ බව රහසක් නොවේ. රාජ්‍යයේ සිංහල මූලිකත්වය පමණක් නොව, ඔවුන් විසින් බලයට ගෙන එන ලද රාජපක්ෂ පවුල හරහා රාජ්‍යයේ සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි ආධිපත්‍යය තහවුරු කිරීමට ද ජවිපෙ විශාල වශයෙන් දායක විය.

වර්තමානය වන විට පවතින්නේ සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි මූලිකත්වයෙන් යුත් ශ්‍රී ලංකා රාජ්‍යයකි. ජවිපෙ කියන්නේ එය වෙනස් කරන බවද? තමනුත් දායකත්වය දී නිර්මාණය කළ එවැනි ආධිපත්‍යවාදයක් එහෙම ලේසියෙන් වෙනස් කරන්නට හැකි යයි සිතීමම මුළාවකි.

එය කරන්නට යන්නේ ආණ්ඩුව තුළ සුළුතර ජාතීන්, ආගම්, කුල ආදියට ඉඩ නොදී වීම ද අරුම පුදුම තත්වයකි. ඇමති මණ්ඩලය තුළ හෝ නියෝජ්‍ය ඇමතිවරුන් අතර උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරන, සිංහල නොවන එකදු මහජන නියෝජිතයකු නැත. පත් කර ඇති දෙමළ ඇමතිවරුන් කඳුරට දෙමළ ප්‍රජාවට අයත් අයයි. ඒ අයගේ වෙනම අනන්‍යතාවක් ද පසුගිය සමයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රිනී අම්බිකා සැමුවෙල් හරහා ප්‍රවර්ධනය කරන ලදි. කඳුරට දෙමළ ඇමතිවරුන් උතුරු නැගෙනහිර දෙමළ ජනයා නියෝජනය කරන්නේ නැත.

ඇමති මණ්ඩලය තුළ මුස්ලිම් නියෝජනයක් නැත. නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය ඇමති තනතුරක් පමණක් ලබා දී ඇත.

කණගාටුදායකම තත්වය කාන්තාවන් සම්බන්ධයෙනි. මෙවර පාර්ලිමේන්තුවට කාන්තාවන් 23දෙනෙකු පත් වී ඇත. ඔවුන් අතරින් අති බහුතරය ජාතික ජන බලවේගයේ මන්ත්‍රිනියන්ය. අගමැතිනිය කාන්තාවකි. ඇය අධ්‍යාපන ඇමතිනිය ද වේ. තවත් එක් ඇමති තනතුරක් කාන්තාවකට ලබාදී ඇත. වෙනත් කිසිවක් කාන්තාවන්ට නැත. කාන්තාවන් මෙතැනින් ඉදිරියට යා යුතු ආකාරය ගැන වෙනම සාකච්ඡා කළ යුතුය. මුලින්ම ප්‍රකට ස්ත්‍රීවාදිනී හරිනි අමරසූරිය බලය වෙනුවෙන් අයියලා ළග දෙකට නැවෙන නැවිල්ල නැති කරගත යුතුය.

ජාතිවාදී දේශපාලනයට නැවත කිසි දිනෙක ජාතිය බෙදීමට ඉඩ නොදෙනු ඇති බව ජනාධිපතිවරයා පවසන්නේ රාජ්‍යයේ සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි ආධිපත්‍යය තවදුරටත් තහවුරු කරමින් වීම සුවිශේෂ තත්වයකි.

“දේශපාලනය කිරීමට අපට ඕනෑ තරම් සටන් පාඨ තිබෙන්න පුළුවන්. නමුත් කිසිවෙකුට යළි අප රටේ දේශපාලන බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් ජාතිවාදී, ආගම්වාදී සටන් පාඨ ගොඩනැඟීමට ඉඩ නොදෙන්නට අප සහතික වෙනවා,” යි ජනාධිපතිවරයා පවසයි. එහෙම කරන්නට බැරිය. බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ජාතිවාදය පාවිච්චි කිරීමේ තනි ලයිසන් එක ඇත්තේ ජවිපෙට පමණක් නොවේ. සිංහල, දෙමළ, මුස්ලිම්, කඳුරට දෙමළ ආදී අනන්‍යතාවන් මත පදනම් වන දේශපාලනය තහනම් කිරීමට ඔහුට අයිතියක් නැත.

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා පැවසීය. මෙය නොකියූ කිසිදු ආණ්ඩුවක් නැත. කාටවත් කරන්නට බැරි විය. බැරි වන්නට ප්‍රධාන හේතුව රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති හරහා ජවිපෙ රාජ්‍ය සේවකයන් මෙහෙයවූ ආකාරයයි. උදාහරණයක් ලෙස මහින්ද ජයසිංහ නම් ගුරු සංගම් නායකයා හරහා ගුරු වෘත්තියේ හා අධ්‍යාපනයේ සිදු වී තිබෙන පරිහාණිය සුළුපටු නොවේ. දැන් ඔහු නියෝජ්‍ය ඇමතිවරයෙකි. ජවිපෙ විසින් රාජ්‍ය සේවයට කරන ලද ලොකුම සේවය වන්නේ මෙවැනි පිළිකා රාජ්‍ය සේවයෙන් ඉවත් කර ප්‍රතිපත්ති සම්පාදනයට ගෙන ඒමයි. එහෙත්, ඉතිරි වූ තවත් ගල්තැලුම් ඇත. රාජ්‍ය සේවයේ පරිහාණියට හේතු වන ප්‍රධාන බලවේගයක් රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්නට බලය පාවිච්චි කරන්නේ නම් එය ඉතාම සාධනීය තත්වයකි.

දේශපාලනඥයන් සහ විධායක නිලධාරීන් ඇතුළු සියලුම පුරවැසියන් නීතියට යටත් බව ද ඔහු පැවසීය. මින් පෙර එවැනි තත්වයක් යම් දුරකට පැවතිණි. බීමත්ව රිය පැදවූ ජවිපෙ මන්ත්‍රීවරුන් නීතියට ඉහළින් සිටි අවස්ථා පවා තිබිණි. වර්තමානයේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පදවිය හොබවන පුද්ගලයා ද බීමත්ව රිය පදවා අනතුරක් සිදු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. නීතියට ඉහළින් සිටිමින් වැරදි සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා නිතර වහසි බස් කියයි. ඔහුගේ ෆයිල් විශේෂඥවරයා දැන් මහජන ආරක්ෂක ඇමතිය. දැන් විසිල් ඇතිය. බල්ටි ඕනෑය.

ජවිපෙ ද අපරාධ ඉතිහාසයක් ඇති පක්ෂයකි. ඒ සම්බන්ධයෙන් ජවිපෙ කිසිදාක වගවී නැත. අපරාධ සම්බන්ධ යථාර්ථයක් මෙන්ම ප්‍රබන්ධකරණයක් ද ඇත. විශාල වශයෙන් බොරු නිර්මාණය කර ප්‍රචාරය කරන ලදි. සත්‍ය සෙවීමේ පුළුල් බලතල සහිත කොමිෂන් සභාවක් පත්කිරීමට ආණ්ඩුව කැමතිද? එයට ජවිපෙ අපරාධ යුගය ද ඇතුළත් වන පරිදි කාලවකවානුව පුළුල් කළ යුතුය.

නොවැම්බර් 23 වන විට IMF විධායක මණ්ඩලය සමඟ එකඟතාවයකට පැමිණීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ ජවිපෙ ආණ්ඩුව මෙසේ දනගසා සිටීම සමාජ සංවර්ධනය පැත්තෙන් සාධනීය තත්වයකි. ග්‍රීසියේ අගමැති සිප්‍රාස් මෙන් ජනප්‍රිය ජනාධිපතිවරයකු යටතේ වඩාත් ආක්‍රමණශීලී ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කළ හැකි නම් ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකිය. ඔහු එය කරන්නේ නම් අප සහයෝගය දිය යුතුය. එහෙත්, ඔහුට තිබෙන ජනවරම එයට සපුරා පටහැනි එකක් නොවේද? ජනාධිපතිවරණයට දින කීපයකට පෙර දෙරණ 360 වැඩසටහනේදී පවා ඔහු ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය වෙනස් කළ යුතු බව පැවසීය. ජනාධිපතිවරයාට ආර්ථික අර්බුදයේ යථාර්ථය දැන් වැටහෙන බව ඔහුගේ කතාවෙන් පෙනේ.

“හැබැයි අපි ප්‍රතිපත්තියක් ලෙස අපේ ආර්ථිකය මුහුණ දී තිබෙන ගැඹුරුතම අර්බුදයන්ට එම න්‍යාය පත්‍රය පමණක් ප්‍රමාණවත් වනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපේ රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා එම වැඩපිළිවෙළ ප්‍රමාණවත් වේවි,” යි ඔහු පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කළ පමණින් ආර්ථිකය ගොඩ එන්නේ නැත. දැන් ඒ වැඩසටහන පවා අඩාල වී තිබේ. ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ කතාවේ වචනයක්වත් නැත. පොහොසත් රටක් ඇති කරන්නට නම්, ආර්ථිකය පොහොසත් කළ යුතුය. ඒ සඳහා එඩිතර නායකත්වයක් අවශ්‍යය.

ආණ්ඩුවේ ආර්ථික දැක්ම ප්‍රකාශ කරන පහත දැක්වෙන කොටස බලන්න:

“පළමුකොටම අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වේගවත් වර්ධනයක් හා ප්‍රසාරණයක් ඇතිකරගත යුතුයි. බොහෝ විට අපේ ආර්ථික වර්ධනයන් විශාල වශයෙන් ගෙන දෙන්නේ බස්නාහිර පළාත තුළින්. ඒ නිසා අනෙක් පළාත් දක්වා ආර්ථිකය ප්‍රසාරණය විය යුතුයි. ඒ නිසා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වේගවත් වර්ධනයක් හා වේගවත් ප්‍රසාරණයක් ඇති කර ගැනීම අපේ ආර්ථිකයේ ප්‍රධාන සැලැස්මයි.

“ඊළඟ ලක්ෂණය වන්නේ ආර්ථිකයට ජනතාව සම්බන්ධ විය යුතුයි. ජනතාව පිටමං කරන ලද ආර්ථිකයකින් අපට ඵලක් නැහැ. ජනතාව දූවිලි බවට පත්කරන ලද ආර්ථිකයකින් අපට ඵලක් නැහැ. ආර්ථිකයේ සෑම ක්‍රියාදාමයකදීම ඒ ඒ හැකියාව අනුව ජනතාව ආර්ථිකයේ පංගුකරුවන් බවට පත්විය යුතුයි. ජනතාව ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් වන්නේ නැතිව ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන එන්නේ නැහැ. ඒ නිසා ප්‍රධාන ප්‍රයත්නය බවට පත්වන්නේ අපි හදන ආර්ථික ගමන් මගේ අපි කොහොමද ජනතාව පංගුකරුවන් බවට පත්කර ගන්නේ යන්නයි.

“අපේ ආර්ථික උපායමාර්ගවල තුන්වන ලක්ෂණය වන්නේ අප මොනතරම් රටේ ජාතික ධනය නිෂ්පාදනය කළත් එම ජාතික ධනය අතළොස්සක් අතරේ සංකේන්ද්‍රනය වනවා නම් ඒ රාජ්‍යයේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වන්නේ නැහැ. සියලු ජනතාව එක් වී ආර්ථිකයේ මහා ජාතික ධනය නිෂ්පාදනය කරනවා. රටේ ස්වභාවික සම්පත් ඒ ජාතික ධනය නිෂ්පාදනය කිරීමට උපයෝගි කර ගන්නවා. අප සියලුදෙනා එක්වී මහා ජාතික ධනයක් එකතු කරගෙන එය අතළොස්සක් අතරේ සංකේන්ද්‍රය වනවා නම් රටේ ආර්ථිකය මෙන්ම සමාජය ද ස්ථාවර වන්නේ නැහැ. ඒ නිසා අපේ ප්‍රතිපත්තිය වන්නේ ආර්ථික ප්‍රතිලාභ සාධාරණව ජනතාව වෙත ගලා යා යුතුයි. කිහිප දෙනෙකු අතේ සංකේන්ද්‍රනය වීම නිසා විශාල අර්බුද ගණනාවක් නිර්මාණ වූ ඉතිහාසයක් අප දැක තිබෙනවා. ඒ නිසා අපි ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාව වෙත සාධාරණව ගලා යා යුතුය යන ස්ථාවරයේ සිට අප ආර්ථිකය හසුරවනවා.”

මේවා බැලූ බැල්මට මාර ටෝක්ය. එහෙත්, යථාර්ථයක් බවට පත්කරන්නට මූලෝපායක් තිබිය යුතුය. එසේම, ඔය සංකේන්ද්‍රණ කතාවම මිථ්‍යාවකි. ධනේශ්වර ක්‍රමය තුළ කාගේවත් ලිප් බොකුවල සල්ලි වැළලෙන්නේ නැත. සංකේන්ද්‍රණය වන ධනය ප්‍රාග්ධනය බවට පත්වේ. එය තවදුරටත් දිරිගැන්විය යුතුය. පරිභෝජනවාදය පවා ආර්ථික ක්‍රියාකාරීත්වයකි. ඉරිසායාව මූලෝපාය කරගෙන ආර්ථිකය ගොඩනගන්නට බැරිය.

වෙළෙඳපොළ හැසිරවීම පිණිස තරගකාරිත්වයට රාජ්‍ය මැදිහත්වීම සිදු කරන බව ද ඔහු පැවසීය. සහල් වෙළඳපොළ ගැන ඔහු සඳහන් කළ නිසා මේ ටිකත් කිව යුතුය. රජය මැදිහත් වී වී මිල වැඩි කර, රජය මැදිහත් වී සහල් මිල අඩු කරන විට රජයේ මැදිහත්වීම පවත්වාගෙන යාම සඳහා නැවත වියදම් වෙන්නේ රාජ්‍ය මුදල්ය. ඒ කියන්නේ 18% වැට් බද්ද වැනි ආකාරවලින් සූරාකන මහජන මුදල්ය. වෙනත් භාණ්ඩ හා සේවා මත අධික ලෙස බදු පනවා හාල් අඩුවට දෙන්නට යාම සරදියෙල් පන්නයේ මෝඩ ජනප්‍රියවාදයකි. දිගුකල් පවතින එකක් නොවේ.

ආණ්ඩුවේ ආර්ථික මූලෝපාය පහත දැක්වෙන ප්‍රකාශයෙන් පැහැදිලි කෙරේ. එය තනිකරම 1970-77 කාලයේ තිබුණු සමගි පෙරමුණු ආණ්ඩුවේ මූලෝපාය වැනි එකකි. අහෝ දුකකි! ඉරකි! තිතකි! රෝදය නැවත සොයාගැනීමකි. සොයාගන්නට යන්නේ අතීතයේ පාවිච්චි කර අතහැර දැමූ කරත්ත රෝදයකි. ගල් ටයර් යුගයටත් වඩා පැරණි එකකි.

“අපිට තව ක්ෂේත්‍ර තිබෙනවා.ඒ ක්ෂේත්‍ර ආර්ථිකයට ඉතාමත් වැදගත් සංවේදී ක්ෂේත්‍ර. ඒ ක්ෂේත්‍ර හුදු වෙළෙඳපොළේ තරගකාරීත්වය මත නෙවෙයි,රාජ්‍ය ඒ වෙළළෙඳපොළේ පංගුවක් නියෝජනය කිරීම හරහා වෙළෙඳපළ හැසිරවිය යුතුයි. එහිදී අපි විශේෂයෙන්ම කල්පනා කරනවා බලශක්ති වෙළෙඳපොළ. නිදහස් බලශක්ති වෙළෙඳපොළ නිදහස් තරඟය විසින්ම තීරණය විය යුතු නැහැ. බලශක්ති වෙළෙඳපළ හැසිරවීමේදී රාජ්‍ය පංගුවක් බලශක්ති වෙළෙඳපළ නියෝජනය විය යුතුයි. එය ආර්ථිකයේ ඉතාමත් සංවේදී ස්ථානයක්. බලශක්ති වෙළෙඳපොළේ ඇතිවෙන කුඩා උච්ඡාවචනයක් ආර්ථිකයට මාරාන්තික ලෙඩ ගෙනත් දෙනවා.ඒ නිසා එවැනි ක්ෂේත්‍රවල යම් රාජ්‍ය පංගුවක් වෙළෙඳපොළ නියෝජනය විය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.

“ඒවගේම මූල්‍ය වෙළෙඳපළ. මූල්‍ය වෙළෙඳපළ නිදහසේම හැසිරෙන්න පටන් ගත්තොත් එය කුමන තත්ත්වයකට පත්වෙයිද? මහ බැංකුව එය නියාමන අධිකාරියක් හැටියට කටයුතු කරනවා. හැබැයි ඒ වගේම අපි හිතනවා මූල්‍ය වෙළෙඳපොළෙත් රාජ්‍ය පංගුවක් නියෝජනය කළ යුතුයි. ඒ නිසා වෙළෙඳපොලේ අත්‍යාවශ්‍ය ස්ථාන කීපයක් අපි කල්පනා කරනවා රාජ්‍ය පංගුවක් හරහා හැසිරවිය යුතුයි. රාජ්‍ය ආම් එකක් හැටියට කටයුතු කළ යුතුයි, කියන ස්ථාවරයක අපි ඉන්නවා වෙළෙඳපළ තහවුරු කිරීමේ දී.

“හතරවනුව වෙළෙඳපළ විසිරිලා තිබෙන වෙළෙඳපළක් වෙනුවට අපට පුළුවන්කම තිබෙනවා වෙළෙඳපොළ සංවිධානාත්මක කරන්න. ඒ නිසා අපි දන්නවා අපේ රටේත් ලෝකයේත් වෙළෙඳපොළ හැසිරවීමේදී විශාල දායකත්වයක් මේ සමූපකාර ජාලය සංවිධානය කරනවා.

“ඒ නිසා යළි සමූපකාර ජාලය ශක්තිමත් ලෙස සංවිධානය කරලා වෙළෙඳපොළේ ශක්තිමත් තරගකරුවෙක් හැටියට අපි වෙළෙඳපොළට අවතීරණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපේ නිෂ්පාදනයත් වෙළෙඳපොළත් හැසිරවීමේ ප්‍රතිපත්තිය සෘජුයි. කවුරුත් මීට පස්සේ ප්‍රශ්න කරන්න. හැබැයි මේ පදනමේ පිහිටා. මේක තමයි අපේ පදනම.”

‘පිරිසිදු ශ්‍රී ලංකාව’ නම් නව වැඩපිළිවෙළක් දියත් කෙරේ. පාර්ලිමේන්තුව පිරිසිදු කිරීම නම් බල ව්‍යාපෘතිය දැන් ජයග්‍රහණය කර හමාරය. දැන් ඇත්තටම රට පිරිසිදු කළ යුතුය. එය ඉතා හොඳ දෙයකි. පසුගිය කාලය මුළුල්ලේම රට තමන්ගේ යයි නොසිතූ පිටස්තර බලවේගයක් රාජ්‍ය නායකත්වයට පත් වී ඇත. පුරවැසියන් අතළොස්සක් මෙන්ම, පසුගිය කාලය පුරාම කිසිදු විනයකින් තොරව කටයුතු කළ මහජන බලවේගයක් ද ඔවුන් සමග එකතු වී සිටිති. ග්‍රාමීය මට්ටමේ කඩාකප්පල්කාරී නායකයන් දැන් පළාත් පාලනයට පත් කළ හැකිය. පළාත් පාලන සභාවලින් තොරව පිරිසිදු ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ නොහැකිය.

අස්වැසුම දීමනාව වැඩි කිරීමට පියවර ගන්නා බවක් ද ජනාධිපතිවරයා පැවසීය. අස්වැසුම සම්බන්ධයෙන් අපට කීමට තිබෙන්නේ මෙයයි. දිළිඳු සහනාධාරවල මූලික අරමුණ විය යුත්තේ නිවැරදිව ඉලක්ක කර අත්‍යවශ්‍යම ජනයාට පමණක් ඒවා ලබාදීමයි. ප්‍රමුඛත්වය දිය යුත්තේ දිළිඳු ජනයා අතර ක්ෂුද්‍ර ව්‍යවසායකත්වය හා වෘත්තීය පුහුණුව වෙනුවෙනි. මේ අන්දමින් මහජන මුදල් බෙදා දීමට පොරොන්දු වීම දිළින්දන් දිළිඳුභාවයේ උගුලේ තබාගන්නා බාල හා යල්පැනගිය උප්පරවැට්ටියකි.

ගොවි සහ ධීවර ප්‍රජාවන් සංවර්ධනය කිරීමට රජය කැපවී සිටී. ගොවීන් කෘෂි ව්‍යවසායකයන් බවට පත් කළ යුතුය. ඒ සඳහා ඉඩම් අයිතිය ඉතා වැදගත් වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ ආරම්භ කළ උරුමය වැඩසටහන දිගට ගෙනයාම මේ ක්ෂේත්‍රයේ පරිවර්තනයක් සඳහා අවශ්‍ය මූලික පියවරයි. එසේම, සුහුරු කෘෂිකර්මාන්තයක් නිර්මාණය කළ යුතු යුගයක ජනාධිපතිවරයා තවමත් කතා කරන්නේ පොහොර සහනාධාරය ගැනය. ධීවරයන් සම්බන්ධයෙන් නම් ඉන්ධන සහනාධාරය ගැනය.

තොරතුරු තාක්ෂණ, සංචාරක, සහ විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍ර නංවාලීමට රජය ප්‍රයත්න දරනු ඇති බව ද ජනාධිපතිවරයා පවසයි. රජය කළ යුතුව තිබෙන්නේ අන් කිසිවක් නොව, ක්ෂේත්‍රයේ බුද්ධියට හා නිර්මාණශීලීත්වයට ඇති නීතිමය හා පරිපාලන බාධක අවම කිරීමයි. මනා නියාමනයක් ක්‍රියාත්මක කිරීමයි. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට යෝජනා කර තිබෙන සංශෝධනයට කුමක් කරන්නේද යන්න කීවා නම් වඩා සංයුක්තය.

ව්‍යවසායකත්වය දිරිමත් කිරීම සඳහා ආධාරක පරිසරයක් නිර්මාණය කිරීම හොඳ දෙයකි. රජයෙන් යැපීම අවම කිරීම, රාජ්‍ය අංශයේ රැකියා සඳහා දෙන ප්‍රමුඛත්වය අවසන් කිරීම, පෞද්ගලික අංශය දිරිගැන්වීම, සමාන වෙළඳපොළ තරගකාරීත්වයක් නිර්මාණය කිරීම ආදී පියවර රැසක් එයට ඇතුළත්ය.

ගැබිණි මව්වරුන් ආරක්ෂා කිරීම සහ ළමා මන්දපෝෂණය පිටුදැකීම සඳහා නව වැඩසටහනක් හඳුන්වා දෙන බව ජනාධිපතිවරයා පැවසීය. පසුගිය රජය විසින් සියලු පාසල්වල ප්‍රාථමික සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කළ අතර, එහි සැපයුම්කරුවන් වූයේ කුඩා ව්‍යවසායකයන් පිරිසකි. අලුතින් පටන් ගන්නට කලින් මේ වැඩසටහන සඳහා රජය කලට වේලාවට ගෙවීම් කළ යුතුය.

ජනාධිපතිවරයාගේ කතාවේ පහත දැක්වෙන කොටස අතිශය වැදගත්ය. මුලින්ම මෙය පැහැදිලි කර දිය යුතුව තිබෙන්නේ බොරුව හා වෛරය පැතිරීම ආත්මය කරගත් ජවිපෙ/ ජාජබ ක්‍රියාකාරීන්ටය.

“විශේෂයෙන්ම මේ වගේ ජාතික සභාවක කතා නොකළ යුතු වුවත් ‍ප්‍රාදේශීය සභා මට්ටමේ ප්‍රශ්නයක් වුවත් ඔබ අහන්න අපේ රටේ කාන්තාවන්ගෙන් මේ රට තුළ තමන්ට වැසිකිළි යාමට පිරිසිදු වැසිකිලි පද්ධතියක් තිබෙනවාද? මා දන්නා සමහර දුර පළාත් වලින් කොළඹ එන කාන්තාවන් කොළඹ ඇවිල්ලා නිවසට යනතෙක් වතුර බොන්නේ නැහැ. ඇයි ?ඇයට පිරිසිදු වැසිකිලි පද්ධතියක් නැහැ.තියෙන වැසිකිලි පද්ධතියක් දෙස බැලුවත් එය පිරිසිදුභාවයෙන් ආරක්ෂා කරගන්න බැරිවී තිබෙනවා.

“වැසිකිලි පද්ධතියක් ගොඩනැඟී තිබුණත් සමාජ ආකල්පය ගොඩනැගී තිබෙන්නේ කොතනද? එය පොදු පුරවැසියන්ගේ පොදු ස්ථානයක් වෙනුවට එය විනාශකාරී ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ඒ සියල්ලෙන්ම පෙන්නුම් කරන්නේ මොකක්ද? අපේ රටේ පුරවැසියන්ගේ යම් පුරවැසි කණ්ඩායමක් තුළ තිබෙන ආකල්පමය ස්වභාවයයි. ඒ නිසා මේ ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් එවැනි ආකල්පමය පරිවර්තනයක් සිදු කිරීමට අපි අපේක්ෂා කරනවා. පොදු දේපොළ ආරක්ෂා කරගන්නේ කොහොමද? පොදු සමාජයට වගකියන පුරවැසියෙක් බවට පත්වෙන්නේ කොහොමද? අපේ රටේ තිබෙන සම්පත් මේ වෙලාවෙ ජීවත් වෙන අපට පමණක් නෙවෙයි හිමි අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ රටේ සම්පත් ආරක්ෂා කර දෙන්නේ කොහොමද? අපි රියදුරෙක් ලෙස පාරේ වාහනයක් පදවාගෙන යන්නේ කොහොමද? අපි පාර මාරු වෙන්නෙ කොහොමද? අපි අනෙකාට ගරු කරන්නේ කොහොමද? තැනකට ප්‍රවිෂ්ට උනාම ආචාර සමාචාර ලෙස පිළිගන්නේ කොහොමද?

“මෙවැනි සමාජයක් අපට අවශ්‍ය නැද්ද? දැන් තියෙන්නේ ඛේදවාචකයකින් පිරුණු සමාජයක්. එකිනෙකාට නොරුස්සනා සමාජයක්. එකිනෙකා අතර ගැටුම්කාරී සමාජයක් තිබෙන්නේ.

“කුඩා හෝ සිදුවීමක් හැම වෙලාවේම පොළඹ වන්නේ ගැටුමකට. ඉවසීමකට නොවේ. අනෙකාට සමාව දීමට නොවේ. අනෙකා කෙරෙහි ළයාන්විත බැල්මකින් බැලීමට නොවේ. මුළු සමාජයම මහා කේඩෑරී වියළුණු සමාජයක් බවට පත්වී තිබෙනවා. ඒ නිසා මේ සමාජයට තෙතමනය අවශ්‍යයි. වියලුණු මුහුණු, දර කෝටු වගේ මුහුණු, එහෙම සමාජයකට ඉස්සරහට යන්න පුලුවන්ද? හිනාවක් තියෙන සමාජයක් අපට අවශ්‍යයි. අනෙකා කෙරෙහි ලෙන්ගතුභාවයෙන් බලන සමාජයක් අපට අවශ්‍යයි. මානවවාදී ගුණාංගවලින් පිරුණු සමාජයක් අවශ්‍යයි. අනෙකාගේ දුක පිළිබඳව සහකම්හපයක් සහිත සමාජයක් අපට අවශ්‍යයි.

“විශේෂයෙන්ම අප රටේ අධ්‍යාපන, සාහිත්‍ය, නීති කේෂ්ත්‍රය මෙන්ම ආකල්පමය වශයෙනුත් විශාල පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ තිබෙන සමාජය ඉතා දියුණු, ගුණාත්මක සමාජයක් බිහි කිරීමේ ක්‍රියාන්විතයක් ජාතික ජනබලවේගය ආණ්ඩුව නිර්මාණය කරනවා.

ජනාධිපතිවරයාගේ කතාව මෙතැනින් කියවිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *