දූෂණ විරෝධී දේශපාලන සංදර්ශන ද දූෂණයකි

අජිත් පැරකුම් ජයසිංහ

තම ඡන්දදායකයන් සතුටු කිරීම සඳහා දූෂිත දේශපාලකයන්ගේ වැරදි සම්බන්ධයෙන් කරන විමර්ශන දේශපාලන පළිගැනීම් බවට පත් කිරීම ඔවුන්ට සදාචාරාත්මකව ගැලවීමට අවස්ථාව ලබාදීමකි.

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ලබාගැනීමට නොහැකි වී තිබෙන්නේ ද විමර්ශන දේශපාලනීකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඖෂධ වංචා නඩුවේදී කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිස් සම්බන්ධයෙන් විමර්ශන හා නීතිමය ක්‍රියාමාර්ගවලදී දේශපාලන ඇඟිලිගැසීම් තිබුණේ නැත. මේවායින් පාඩම් ඉගෙනගත යුතුය.

ඇරියස්කාරයන්ට දේශපාලනික තනතුරු දී ඔවුන් ලවා අවිධිමත් ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට, පොලිසියේ අපරාධ විමර්ශන ක්‍රමවේදය හා නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු පැවරීමේ පටිපාටියවිධිමත් කිරීමට කටයුතු කළ යුතුය.

ආණ්ඩුව රාජ්‍ය සේවයේ හා අධිකරණයේ ස්වාධීනත්වයට අත තැබීම ද දූෂිතයන්ට වාසිදායක තත්වයකි.

මෙය ද තේරුම් ගත යුතුය. අතීතයේ කරන ලද සියලු වැරදි සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම දුෂ්කරය. තේරෙන උදාහරණයකින් කියනවා නම්, 1989 වකවානුවේ ජවිපෙ විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් දැන් නඩු පැවරීම ප්‍රායෝගිකව කළ නොහැක්කකි.

කළ හැකි දෙය වන්නේ මින් ඉදිරියට එසේ සිදු නොවන පරිදි වගබලාගැනීමයි. ඒ සඳහා නීති හා පද්ධති ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යය. පොලිසියේ ස්වාධීනත්වය ශක්තිමත් කළ යුතුය. විමර්ශන ක්‍රමවේද විධිමත් කළ යුතුය. නීතිපති දෙපාර්තමේන්තුව ඇමතිවරුන් කියන අන්දමේ ගැටලු සහගත තැනක් නම්, ස්වාධීන අභිචෝදකයකු හඳුන්වා දීම සඳහා නීති සංශෝධනය කළ යුතුය. අධිකරණ ස්වාධීනත්වයට ඇඟිලි නොගැසිය යුතුය. සෙනසුරාදා අධිකරණයට ඉදිරිපත් කිරීම වැනි තක්කඩි වැඩ නොකළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *