NPP in Mount Lavinia

මොකක්ද මේ ගල්කිස්සෙ වැලි කේස් එක හා ජාජබ අමාත්‍යාංශ ලේකම්ගෙ සම්බන්ධය?

බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කර තිබේ. ඒ සමගම ඔහු සම්බන්ධ වැලි ව්‍යාපෘතියක් පිළිබඳ සමාජයේ කතාබහක් ඇති වී තිබේ. එබැවින් එය කුමක්දැයි අපි සොයා බැලුවෙමු.

සිද්ධිය සිදු වන්නේ කොවිඩ්-19 අධිවසංගතය අතරතුර 2020දීය. එම වකවානුවේදී චන්ද්‍රකීර්ති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විය. ගල්කිස්ස ප්‍රදේශයේ කෘත්‍රිම වෙරළ නිර්මාණය සඳහා ගල්කිස්ස වෙරළ පෝෂණ ව්‍යාපෘතිය (දකුණු කොළඹ වැලි පෝෂණය කිරීමේ ව්‍යාපෘතිය) සඳහා වැයවූ මුදල රුපියල් මිලියන 110ක් පමණ වේ. ඒ සඳහා අවශ්‍ය වැලි කියුබික් මීටර් ලක්ෂ අටක් ගෙන තිබෙන්නේ රත්මලාන දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් දෙකත් හයත් අතර දුරකින් පිහිටි වැලි නිධියකින් බව බීබීසී වෙනුවෙන් ෂර්ලි උපුල් කුමාර විසින් වාර්තා කරන ලදි.

වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති බීබීසී සිංහල සේවයට කියා සිටියේ, වැලි ලබා ගන්නා ස්ථානයට අදාළව පරිසර අධ්‍යනයක් සිදු කර තිබුණ ද එම වැලි තැන්පත් කරන ස්ථානවල පරිසර අධ්‍යයනයක් සිදු නොකළ බවය.

එහෙත් මේ අවස්ථාවේදී ගල්කිස්ස හෝටලය අසළ වැලි පුරවන ලද පරිසරයට අදාළ අධ්‍යයනයක් සිදු කළ යුතුව තිබුණු බවත්, අධ්‍යක්ෂ ජනරාල්වරයා ක්‍රියා කර ඇති ආකාරය පොදු නීතියේ මූලධර්ම වලට පටහැනි බවත් ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු පැවසූ පරිදි යම් ව්‍යාපෘතියක් වෙරළ කලාපයේ සිදු කරන්නේ නම්, වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ පනතේ 14 වන වගන්තිය අනුව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හෝ බලයලත් නිලධාරියෙකු ඒ සඳහා අවසරය ලබා දිය යුතුය.

“ඒ වගේම මේ පනතේම 16 වගන්තියේ කියලා තියෙනවා සමහර ව්‍යාපෘති සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයාට තමන්ගේ අභිමතය පාවිච්චි කරලා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් කළ යුතුයි හෝ මූලික පාරිසරික විශ්ලේෂණයක් කළ යුතුයි කියලා හිතෙනවා නම් එවැනි අවස්ථාවක එවැනි වාර්තාවක් කැඳවන්න ඕනා කියලා. මේකෙදි පාරිසරික වාර්තාවක් නොලැබීමේ ප්‍රතිඵලය ලෙස අපි දකින්නේ අධ්‍යයනය කළ යුතු කරුණු ගණනාවක් තවම අධ්‍යයනය වුණේ නෑ,” යනුවෙන් නීතිඥ ජගත් ගුණවර්ධන පැවසුවේය.

වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අදහස වී තිබෙන්නේ තමන්ට පැවරුණු බලතල අනුව ක්‍රියා කර ඇති බවය.

“වෙරළ ඛාදන තත්වයක් තිබියදී ඊට පිළියම් යොදන විට වෙරළ සංරක්ෂණ පනත අනුව එම ඛාදනය වෙන ස්ථානයට අපි පාරිසරික ඇගයීම් සිදු කරන්නේ නෑ. එතනදි වැදගත් වෙන්නේ ඛාදනය නිසා විනාශවූ පරිසරය යථා තත්වයට පත් කිරීම. ඒ ඛාදනය වූ වෙරළ තිරයේ යම් ජීවී කොටස් ඉන්න ඇති. ඔවුන්ට හානියක් සිදු වන්නටත් ඇති. නමුත් මේ වැලි පුරවලා අපි යථා තත්වයට පත් කළේ මුලින් අපිට දකින්න ලැබුණු වෙරළ,” යනුවෙන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.

මෙම ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා 2020 ජුනි 1 දින ජාතික ජන බලවේගයේ පිරිසක් ගිය අතර ජවිපෙ මාධ්‍ය විසින් එම නිරීක්ෂණ චාරිකාව පිළිබඳ එදා වාර්තා කළේ මෙසේය:

ඛාදනය වෙමින් යන ගල්කිස්ස වෙරළ තීරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ආණ්ඩුව විසින් දියත් කළ ව්‍යාපෘතිය අසාර්ථකභාවයට පත්ව තිබේ. විශාල මුදලක් වියදම් කරමින් දියත් කළ එම ව්‍යාපෘතිය ඵලරහිත, ජනතා මුදල් නාස්තිකළ ව්‍යාපෘතියක් බවට පත්වී තිබේ.

මේ පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ සහෝදරිය තුවාන් අයුබ් මොහොමඞ් සහෝදරයා සහ ජාතික ජන බලවේගයේ මොරටුව ආසන සංවිධායක නීතිඥ හර්ෂණ නානායක්කාර යන අය වෙරළ තීරයේ සංචාරයක නිරත විය.

“මෙම ව්‍යාපෘතිය සඳහා කිසිදු පරිසර අධ්‍යයන වාර්තාවක් ලබාගෙන නැහැ කියලා වාර්තා වෙනවා. ඒ වගේම මේක දෙහිවල ගල්කිස්ස නගර සභා බල සීමාව තුල කෙරුණු ව්‍යාපෘතියක්. නමුත් නගර සභාව මේ පිළිබඳව කිසිදු දෙයක් දන්නේ නැහැ. නගරාධිපතිවරයාත් කියනවා ඔහු මේ පිළිබඳව දන්නේ නැහැ කියලා. ඒ නිසා අපි ඉල්ලීමක් කළා මේ පිළිබඳව වෙරළ සංරක්ෂණ අධිකාරියට නගර සභාව ලෙස දැනුම්දීමක් කරන්න කියලා. ඒ වගේම මේ ව්‍යාපෘතිය සිදුකළේ රට පුරා ඇදිරි නීති දාලා ජනතාව ගෙවල්වලට කොටු වෙලා ඉන්න වෙලාවක. ඒ නිසා ප්‍රෙද්ශයේ ජනතාවටත් මේ ගැන අවබෝදයක් නැහැ. මේ සඳහා යන්ත්‍ර සූත්‍ර ගෙනවිත් තියෙන්නේ රාත්‍රී කාලයේ.

ඒ විතරක් නෙවෙයි පරිසරයට විශාල හානියක් සිදුවෙමින් තිබෙනවා. මුහුදු පැලෑටි, මුහුදු ජීවින්ට විශාල බලපෑමක් සිදුවෙලා තිබෙනවා. ඒවා මිල කරන්න බැහැ. විශාල මුදලක් අපතේ යවමින් කරපු මේ ව්‍යාපෘතිය ගැන විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි.“

නාගරික මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ සහෝදරී අදහස් දක්වමින් එසේ පැවසීය. ජාතික ජන බලවේගයේ මොරටුව ආසන සංවිධායක, නීතිඥ හර්ෂණ නානායක්කාර මෙසෙ

“අපි දන්නා තරමින් මේකට අවශ්‍ය ආයතනවලින් කිසිදු අනුමැතියක් ලැබී නැහැ. ආණ්ඩුව කියනවානම් ඒ සියල්ල ලබාගෙන කියලා අපි තාවකාලිකව හිතමු එහෙම අනුමැතියක් තියෙනවා කියලා. නමුත් එයින් වෙනත් ගැටලුවක් පැන නගිනවා. මොකක්ද එසේ නම් මේ ව්‍යාපෘතිය නිසා දූෂණයක් වෙලා තිබෙනවා. එක්කෝ පරිසර අධිකාරිය විසින් දේශපාලකයින් විසින් හෝ කොන්ත්‍රාත් කරුවා විසින් හෝ සියලු දෙනා අතින් මේ මුදල් ගසා කෑමක් සිදුවෙලා තිබෙනවා කියලා අපිට සැකයක් තිබෙනවා. ඒ නිසා මේ ගැන විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *