රථ ගාය හා මාලිමා බෙහෙත්
අජිත් පැරකුම් ජයසිංහ
මාලිමාවට මා කැමති එක් හේතුවක් තමයි රථගාය හොඳ කිරීමට ඔවුන් තුළ ඇති නැඹුරුව. හැබැයි, ඔවුන් මේක කරන්නෙ අර සමන්ත විද්‍යාරත්න ගමේ මිනිසුන්ට මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාද කිව්වට පස්සෙ උන් ‘හෙණ ගහන්න ඕනැ’ කිව්ව වගේ ගංකබර මානසිකත්වයකින්.
ඒකෙ වරදකුත් නැහැ. මොකද, ඔය වාහන පෙරේතයන් ඉන්නෙත් ඒ වගේම ගංකබර මානසිකත්වයක. ඔය ජනාධිපති ලේකම් කාර්යාලයට රිංගගත්ත යූඇන්පීකාරයන් සමහරුන්ට ඇත්තෙන්ම තිබුණෙ හත් අවුරුද්දකින් නොකා හාමත් වුණා වගේ මළ පෙරේතකමක්. උන් වාහන එළෝගෙන එළෝගෙන ගියා. එකා දෙක තුන ගත්ත බවත් ඇත්ත. කරපු මළදානෙකුත් නැහැ. රනිල් වික්‍රමසිංහගේ පරාජයට වගකිව යුතු ප්‍රධාන පිරිසක් තමයි ඔවුන්.
ඒ වුණාට උන් ඔය වාහන භාර දුන්නනෙ වහාම. ඇයි ඒවා මග දාලා ගිහින් වගේ බොරු නිර්මාණය කරන්නෙ? දැන් මාලිමාව ආණ්ඩුවක්නෙ. වාහන සම්බන්ධයෙන් යම් නීති විරෝධී ක්‍රියාවක් වෙලා තියෙනවා නම් දූෂණ මර්දන පනත හා වෙනත් නීති භාවිතා කරලා නීතිමය වශයෙන් කටයුතු කරන්නට පුළුවන්නෙ.
පසුගිය කාලයේ රජය වාහන ආනයනය නැවැත්තුවට රජය තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර නිකුත් කරන එක නැවැත්තුවෙ නැහැ. දැන් රජයේ නිලධාරීන් දත මැදගෙන ඉන්නෙ එකතු කරගත් බලපත්‍ර විකුණන්න. සමහරුන් ගාව බලපත්‍ර දෙක තුන තියෙනවා.
ඉස්සර මේ බලපත්‍ර දුන්නෙ වාහනය වෙන කෙනෙකුට පවරන්නට බැරි විදියට. මතක තියාගන්න, මේ නීතිය වෙනස් කරන්නට නීති සම්පාදනය කළේ පරිපාලන නිලධාරීන්. උන් දේශපාලකයන්ට වඩා දූෂිතයි. දැන් ඔය දූෂිතයන්ව පරසක්වළ ගහන්නට හයියෙන් කතා කරන ඇතැම් හිටපු නිලධාරීන් ඔය වාහන බලපත්‍ර විකුණාගත්ත විතරක් නෙමෙයි, අන්තිමට පාවිච්චි කරපු රජයේ වාහනය මහජන මුදලින් රෙපෙයාර් අරව මේවත් ඔක්කොම කරගෙන ගෙදර ගෙන ගියපු නීතියේ සිදුරුවලින් රිංගපු දූෂිතයො. රට බංකොලොත් වුණේ උන්ගෙ කෙරුවාව නිසා.
පීපී කරන දොස්තරලා වැනි අය හැර පළමු තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍රය ලැබෙන රජයේ අලුත් නිලධාරීන් බොහෝ දෙනෙකුට මේ බලපත්‍රයෙන් වාහන ආනයනය කරගන්නට මුදල් නැහැ. ඒ නිසා ඔවුන් කරන්නෙ ඒක වාහන සේල්කරුවෙකුට විකුණලා පොඩි කාර් එකක් අරගන්න එක. සමහරු ඒකෙන් ගානක් පොතෙත් දාගන්නවා.
මා මාලිමාවට කැමති එක හේතුවක් මේ ගැටලුව විසඳන්නට පැහැදිලි යෝජනාවක් ඔවුන් ඉදිරිපත් කර තිබෙන එකයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා නිලධාරීන්ට පොදු වාහන සංචිතයක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පවා සඳහන් වෙනවා.
ලංකාවේ සංස්කෘතික ප්‍රශ්නයක් වන රථ ගාය හොඳ කිරීමට කටයුතු කරන ගමන් බොරු බයිලා නවත්වා පොදු ප්‍රවාහනය ගැනත් රජයේ අවධානය යොමු වෙනවා නම් හොඳයි.
සතියේ වැඩ කරන දිනවලදී ලක්ෂ 15ක් පමණ ජනයා දිනපතා කොළඹට ඇදී එන බව සැලකෙනවා. මේ අනුව වැඩ කරන දිනයක දිවා කාලයේදී කොළඹ නගරය තුළ ජනගහණය ලක්ෂ 20 ඉක්මවනවා. (2012 ජන සංගණනය)
කොළඹ නගරයට පිවිසෙන ස්ථාන තුනකින් දිනකට වාහන ලක්ෂ තුනක් පමණ නගරයට ඇතුළු වෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ දත්ත මගින් අනුමාන කරනවා. මේ නගරය තුළ ධාවනය වන වාහනවලට අමතරවයි.
පෞද්ගලික වාහන ලක්ෂ තුනකින් පමණ කොළඹට එන මගීන් සංඛ්‍යාව ලක්ෂ හයක් පමණ වෙනවා. එහෙත්, බස්රථ 27,000කට වැඩි සංඛ්‍යාවකින් මගීන් මිලියනයකට වඩා කොළඹට එනවා. දුම්රියෙන් ගමන් කරන පිරිස 165,000කට වැඩි යයි අනුමාන කර තිබෙනවා.
කොළඹට දිනපතා උදෑසන ඇදී එන ජන ගඟ දවල් 1.30 සිට කොළඹින් පිටට ගලා යාම ආරම්භ වෙනවා. මේ තදබදයන් අතරතුර වාහන ධාවනයේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 10ක් පමණ වන නිසා මිනිස් පැය නාස්තිය මෙන් ම, අති විශාල ඉන්ධන නාස්තියක් ද සිදු වෙනවා. මහමග රස්තියාදුව අධික වෙහෙසකර කාර්යයක්. එය ශ්‍රම ඵලදායිතාවටත්, පොදුවේ ජනජීවිතයටත් දැවැන්ත බලපෑමක් කරනවා. මාර්ග තදබදය නිසා දිනකට රු. බිලියනයකට වඩා ආර්ථිකයට අහිමි වන බව දළ වශයෙන් ගණනය කර තිබෙනවා.
මේ අතර, මේ වන විට පෞද්ගලික බස් ධාවනයට විශාල වශයෙන් පාතාලය සම්බන්ධ වී තිබෙනවා. නීති විරෝධී ක්‍රියාවලින් උපයන කළු සල්ලි සුදු කරන ප්‍රධාන මාර්ගයක් බවට බස් ජාවාරම පත්කරගෙන තිබෙනවා. ඔවුන්ගේ මැර බලයට බස් ප්‍රවාහනය සම්බන්ධ නිලධාරීන් පමණක් නොව පොලිසිය පවා යටයි. මේ පෞද්ගලික බස් හිමිකරුවන් හා සේවකයන් බස් මගීන්ට සලකන්නේ සතුන්ට අන්දමටයි.