Anura and Ranil

රනිල්ගේ පාරෙ අනුරට යන්න පුළුවන්ද?

අජිත් පැරකුම් ජයසිංහ

අනුර හදන්නෙ රනිල් හදල දීපු රාමුව ඇතුළෙම යන්නට බවයි පෙනෙන්නෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන තමන් කලින් කියපු කාරණා අමතක කරලා ඒ ගිවිසුම අනුව කටයුතු කරන්නට බවයි පෙනෙන්නෙ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ වගේ අය එක්ක එහෙම කරන්නට පුළුවන් කියා ඔවුන් හිතන බවක් පෙනෙනවා.

වුණාට ඒ මූලෝපාය හැදුවෙ රනිල්ගේ නායකත්වයෙන් යුත් ධනේශ්වර ලිබරල් ආණ්ඩුවකට. අනුරගේ නායකත්වයෙන් යුත් සමාජවාදී මධ්‍යම පන්තික ආණ්ඩුවකට ඒක ගැලපෙන්නෙ නැහැ. උදාහරණයක් විදියට, රනිල්ගේ මූලෝපාය ඇතුළෙ තියෙන්නෙ සමාජයට මුදල් ගලා යාම. අනුර කරන්නෙ අරපිරිමැස්ම. ඒකෙන් ආර්ථික වර්ධනය අඩාල වෙනවා. වේගවත් ආර්ථික වර්ධනයක් ඉලක්ක කරමින් හදපු වැඩපිළිවෙලක් සෙමින් වර්ධනය වන ආර්ථිකයකට දරාගන්නට බැහැ.

දූෂණය නැති කළ පමණින් සමාජවාදීන්ට ධනවාදය සාර්ථක කරන්නට පුළුවන් යයි සිතීමම මුළාවක්. ලංකාවේ සිස්ටම් එක හැදිලා තියෙන්නෙ චීනයේ හෝ වියට්නාමයේ වගේ නෙමෙයි. දූෂණය මේකෙ ප්‍රධාන අංගයක්. ඒක සංස්කෘතික වෙලා තියෙන්නෙ. උදාහරණයක් විදියට රාජ්‍ය සේවයේ ඉහළ මට්ටමේ අය අවුරුදු පහකට පාරක් තීරු බදු රහිත කාර් පර්මිට් එක විකුණගන්නවා. දේශපාලකයන්ගෙ කාර් පර්මිට් ගැන කතා කළාට ජාජබට මේක ගැන කට අරින්නවත් බැහැ. දොස්තරලගෙ කාර් පර්මිට් එක නැති කළොත් උන් හපා කනවා. ඒ වගේම තමයි දොස්තරලාට එන යන වෙලාව සටහන් කරන්න කියන්න කට අරින්නවත් බැහැ. ඔය කියන පොහොර සහනාධාරයමත් දූෂණයක්. අස්වැසුම, උපාධිධාරීන්ට රජයේ රස්සා ආදී සියල්ල දූෂණ. දූෂණය කරන්නයි, දූෂණය නැති කරන්නයි දෙකක් බැහැ. දූෂණය කියන්නෙ ලංකාවෙ ධනේශ්වර ක්‍රමයේ උත්ප්‍රේරකය. ඒක යම් දුරකට පාලනය කිරීම විතරයි කරන්නට පුළුවන්. එතකොට දූෂණය නැති කිරීම ආගම කරගත් අයගෙ ආණ්ඩුවක් යටතෙ දූෂණය පවත්වාගෙන යන එක කොච්චර විහිළුවක් වෙනවද කියන එක බොහොම කෙටි කාලයකින් පෙනෙනවා.

ඊළඟ කාරණය, රනිල්ගේ ආර්ථික මූලෝපාය ඇතුළෙ පෞද්ගලිකකරණය, විදේශ ආයෝජන, ජාත්‍යන්තර සම්බන්ධකම්, කලාපීය සම්බන්ධතා වගේම දූෂණය ලෙස හඳුන්වන කාරණා ආදී ඔහු වැනි දක්ෂ ධනේශ්වර නායකයකුට පමණක් පාලනය කළ හැකි සාධක ගොඩක් තියෙනවා. ඒක අනුර වැනි සමාජවාදී නායකයෙකුට හිතන්නටවත් බැහැ.

ලංකාවේ මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් ලෝකයට ඉතා වැදගත් පණිවුඩයක් දෙන්නට තිබුණා. ඒක අපට අහිමි වුණා. මේ දුන්න පණිවුඩය ඉන්දියාවටත් නිශේධනීය විදියට බලපාන්නට පුළුවන්. ඒකත් ලංකාව ලබාගන්නට අපේක්ෂා කරන ආර්ථික වර්ධනයට බලපෑ හැකියි.

මේ වෙලාව අනුර ජනප්‍රියත්වයේ මුදුනේ ඉන්න වෙලාව. ඒක පාවිච්චි කරලා ජාජබ කරන්නට හදන්නෙ තමන් වටා එකතු වෙලා ඉන්න ඇරියස්කාර, බල පෙරේතයන් ටික සභාවලට පත්කරගන්න එක. ඒ ගමන්ම පහුගිය ආණ්ඩුවේ හිටපු, දුෂ්කර අවස්ථාවෙ උර දීලා වැඩ කරපු දක්ෂ, තරුණ ඇමතිවරුන් ටික පාර්ලිමේන්තුවෙන් පන්නන එක. ඔවුන්ගෙ මුළු අවධානය යොමු වෙලා තියෙන්නෙ පාර්ලිමේන්තුවට, පළාත් සභාවලට, පළාත් පාලන ආයතනවලට පත්වෙන එකට. මජර විදියට ඕවා අල්ලාගත්තට වැඩක් නැහැ කියන එක පොහොට්ටුවෙන්වත් ඉගෙනගෙන නැහැ. ඔය මැතිවරණ ටික ඉවර වෙනකොට ආර්ථිකය හිරවෙලා ඉවරයි. ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයට කරන්න ගිහින් කෙළවාගන්න තමයි වෙන්නෙ. ඒවා කළමනාකරණය කරන්නට පුළුවන් ඉතින් රනිල්ටම විතරයි. වෙන කවුරුවත් කරල පෙන්නලා නැහැ.

ජනප්‍රියත්වය තියෙන වෙලාවෙ කරන්න තියෙන්නෙ ජනතාවට අරපිරිමැස්ම පුරුදු කරන එක. ධනේශ්වර සංවර්ධන සංකල්පය වෙනුවට සරලකම, බුද්ධිමත් පාරිභෝජනය, පරිසරය, බුදුදහම වැනි කාරණා එක්ක සම්බන්ධ අලුත් සංවර්ධන සංකල්පයක් හඳුන්වා දෙන එක.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය නැවත සාකච්ඡා කරන එක අනිවාර්යයි. ඒක කරන්න ආයෙම මුල සිට පටන් ගන්න වෙනවා. ඒකත් ප්‍රශ්නයක්. කොහොම වුණත්, ඔය වැඩසටහන එක්ක අනුර වගේ කෙනෙකුට කිසි සේත්ම යන්න බැහැ. අනිවාර්යයෙන්ම නැවත බංකොලොත් වෙනවා. රනිල් මූලෝපාය කියන්නෙ අනුරට අටවපු උගුලක්.

දැන් ඉතින් ආපහු හැරෙන්න බැහැ. එක දෙයක් කරන්න පුළුවන්. මෙච්චර කල් කියපු බොරු ඔක්කොම නිවැරදි කරමින් සමාජය එක්ක හරවත් සංවාදයක් ඇති කරගන්නට උත්සාහ කරන්න පුළුවන්. ඒකත් ලේසි නැහැ.

තමන්ට ප්‍රතිපත්තියක් තෝරාගන්නවා නම් අපට උදව් කරන්න පුළුවන්. රනිල්ගෙ වැඩසටහන අනුර කරන්න යන එක තමයි කරන්නට යන ලොකුම මෝඩකම.

අනුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් රනිල්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකර, මුල පටන්ම තමන්ගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන්නට ඕනැ. මොනව කළත් වැඩක් නම් නැහැ පුතා. මේ වෙලාවෙ සමාජවාදයට කරන්න පුළුවන් මෙලෝ බෝලයක් නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *