සජිත්ගේ අනාගත ආන්ඩුව, AI සහ GFN
ශිරාල් ලක්තිලක
අනාගත පාලකයන් පිලිබඳ මාගේ සිතුවිලි-3
සජිත් දිනපතා සිදුකරන කතා තුලින් ඉදිරිපත් කරනු ලබන විවිධ ප්‍රතිපත්තිමය සංචිතයක් මා විසින් ගොඩනඟමින් සිටී. එවැනි විවිධාකාරවු විසඳුම් මා විසින් Chat GPT මෟදුකාංගය හරහා ඒ තුල තැන්පත් කරමින් සිටී. කෟතිම බුද්ධිය හරහා මම උත්සාහ දරන්නේ සජිත්ගේ අනාගත ආන්ඩුව කුමන ආකාරයක ප්‍රතිපත්තිමය පාලනයක් රට තුල ගෙන යනු ඇතිද යන ප්‍රශ්නය පිලිබඳව සාකච්ඡාවකට අවතීර්න වීමටය.
දැනට වසර 2 තුල සජිත් විසින් ඉදිරිපත් කරන ලද විවිද ඝනයේ විසඳුම්ද, සජබයේ ආර්ථික ඔස්තාර්ලා තිදෙනා ඉදිරිපත් කල blue print නමැති ආර්ථික වැඩපිලිවලද, IMF වාර්ථාද, ධනවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, මානුෂික ධනවාදය ඇතුලු දක්ෂිනාංශික මැද තීරුවට (center right) අයත් සංකල්පද කෟතිම බුද්ධිය තුලට මේ වනවිට කවා තිබේ.
මා හට දැන් වැටහෙන්නේ මා විසින් සජිත්ගේ පාලනය පිලිබඳව අසනු ලබන ප්‍රශ්න වලට (prompts) වලට AI ද මඤ්ඤං වී ඇති බවකි. AI කියන්නේ සජිත්ගේ අනාගත පාලනය එකිනෙකට ප්‍රතිවිරුද්දවු ප්‍රතිපත්ති ගොන්නකින් සමන්විත වන බවය. එසේම එසේ දක්වන එක් ප්‍රතිපත්තියක් අනෙකට පරස්පර වන බවය.
මම අවසානයට ඇසු ප්‍රශ්නය වුයේ සජිත් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති හේතුවෙන් සජිත් ගේ අනාගත රාජ්‍ය පාලනය තුලින් දල මුල්‍ය අවශ්‍යතාවය [Gross Financial need(GFN)]දල ජාතික නිශ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස කොපමන අගයක් ගනු ඇතිද යන්නයි.
රටක දල මුල්‍ය අවශ්‍යතාවය මඟින් හඟවන්නේ එම රටේ ආර්ථිකයේ තිරසර භාවයයි. රටේ ප්‍රාථමික ගිනුමද අයවැය හිඟයද නියාමනය කල යුත්තේ මෙම දර්ශකය මත පිහිටමිනි.
AI කියන්නේ දල ප්‍රක්ෂේපනයකට අනුව එම ප්‍රතිපත්ති සැබවින්ම ක්‍රියාත්මක කලහොත් එම අගය පුර්ව බංකොලොත් අවධි වලදී විවිධ ආන්ඩු විසින් දියත් කල අදුරදර්ශී රාජ්‍ය වැඩපිලිවලෙහිම දිගුවක් වනු ඇති බවත් එහි ප්‍රතිපලයක් ලෙස රටේ දැනට පවතින ඉහල GFN අගයෙහි කිසිදු වෙනසක් ඇති නොවනු ඇති බවයි.
සජිත් පුන පුනා කියන්නේ තමන් බලයට පත්වීමෙන් පසුව IMF සමග නැවත සාකච්ඡා කොට ඔවුන් සමග නව ගිවිසුමකට එලඹෙන බවයි. සැබවින්ම සජිත් කියන්නේ ඉටු නොවන ජනකාන්තවාදී කතාවකි.
IMF ගිවිසුම හොඳින් අධ්‍යනය කරන්නෙකුට වැටහෙන්නේ එසේ සාකච්ඡා කොට වෙනස් කරන්නට තරම්වු කරුනක් ගිවිසුම තුල නොමැති බවයි.
සැබවින්ම ගත් කල රනිල් ජනාධපතිවරයාගේ ආර්ථික කලමනාකරනය IMF රාමුවට අයත් වුවද එම වැඩපිලිවල IMF නිර්දේශිත වැඩපිලිවලක් නොවේ.
IMF එක කියන්නේ නය තිරසරභාවය පවත්වා ගැනීම සඳහා GFN අගය හැකි තාක් දුරට අඩු කරගන්නා ලෙසටය. එසේම 2028 පමන විට නැවත නය වාරික ගෙවීම ඇරඹෙන නිසා (එය ද.දේ.නි. 4% පමන වුවහොත්) ලංකාවේ GFN අගය ද.දේ.නි. 11% ක පමන මට්ටමක පවත්වා ගැනීම හිතකර වන බවය.
වෙනත් වචන වලින් IMF කියන්නේ රටේ පාලකයන් විසින් රටේ ආර්ථිකය යතාර්ථවාදීව සංකෝචනය කර ගන්නා ලෙසටය.
එසේ නොවුවහොත් රට නැවතත් බංකොලොත්වීම වලක්වා ගත නොහැකි වන බවය.
එවැනි සංකෝචනයක් කෙතරම් යථාර්තවාදී වන්නේ වුවද එය ඉතා වේදනාකාරී අත්දැකීමක් වනු නියතය.
එම වේදනාවේ කොටසක් දැනටමත් රනිල් ජනාධිපති හරහා අත්විඳිමින් සිටින අතර ඉදිරියේදීද රට ගොඩගන්නට සැබෑ අවශ්‍යතාවයක් තිබේ නම් අපට එයද අත්විඳිය යුතුව තිබෙන්නේය. මෙය මඟ හැර යා නොහැකි සත්‍යකි.
රනිල් වැල්පාලමක රූපකයක් ගැන කීවේද අනුර විසින් එම වැල්පාලම පිලිබඳ රූපකය පිලිගෙන කතා කරන ලද්දේද අප මුහුන දෙමින් සිටින කටුක දේශපාලන යථාර්තය නැවත නැවතත් සිහිගන්වන්නට යයි මට සිතේ.
නමුත් සජිත්ට නම් මේ කටුක යතාර්ථය පිලිබඳව වගක් හෝ නැති බව ඔහු විසින් දිගින් දිගටම සිදු කෙරෙන ප්‍රකාෂ මඟින් පෙන්නුම් කරමින් සිටී.
මෙම සතියේදී සෞඛ්‍ය කේෂේත්‍රයේ වෟත්තිය සමිති නියෝජිතයන් හමුවී සජිත් කියා තිබුනේ තමන්ගේ පාලනයක් යටතේ රටේ ආර්ථිකය සංකෝචනය කරන්නට අදහස් නොකරන බවත් ඒ වෙනුවට එය සංවර්ධනය කරන්නට බලාපොරොත්තු වන බවය.
එය අදසක් ලෙස ආකර්ෂනීය වුවද යතාර්ථයට නම් සමීප වන්නේ නැත.
නමුත් සජිත් කතා ආර්ථිකය සංවර්ධනයේ අගමුල අපට සොයාගත හැක්කේ ඔහුගේ ඉදිරිපත් කරන්නාවු විවිධාකාරවු සුභසාධනවාදී යෝජනා තුලින්මය. වරෙක සජිත් පවසන්නේ 40 ලක්ෂයක් වු දරුවන්ට දිවා ආහාරය ලබා දීම අනිවාර්ය කරන බවය. 50 දහසක්වු රැකියා විරහිත උපාධිදාරීන්ට රැකියා දෙන බවය. වෛද්‍ය වරුන් හමුවු විට ඔවුන්ගේ බදු මුදල් කපා හරින බවය. උතුරු නැගෙනහිර සෑම දිස්ත්‍රික්කයකටම ජනාධිපති කාර්‍ය සාධක බලකා පිහිටුවමින් ඒ පලාත් වල ජනතාව සංවර්ධනය කරන බවය. ( ඒ අතරේම උතුරට 13 දෙන බවටද සපථ කරති)
ඒ හැරෙන්නට ආර්ථිකයට අදාලව සජිත් කියන්නේ තමන් පියා මෙන් ගමට කර්මාන්ත ගෙන යන බවය.
නමුත් ගමට ගෙන යන කර්මාන්තයේ ස්වරුපය හෝ ඒ සඳහා වන දේශීය හෝ ගෝලීය වෙලඳපල සපයා ගන්නේ කෙසේදැයි කියන්නේ නැත. එසේම පියාගේ ඇඟලුම් වැඩපිලිවල දියත් කොට වසර 30 කට පසුව දේශීය හා විදේශිය වෙලඳපල වෙනස්වී ඇති අයුරු පිලිබඳව යමක් කියන්නේ නැත.
මේ ආකාරයට සජිත් ඉදිරිපත් කරනු ලබන තමන්ගේ මානුෂික ධනවාදී වැඩපිලිවල වෙනත් වචනයකින් කියවා ගන්නේ නම් එය හැඳින්විය හැකි වන්නේ අප මෙතෙක් අනුගමනය කරනු ලැබු සුභසාධනය හා පාලිත ආර්ථිකයක් මත ගොඩනඟන රාජ්‍ය පාලනයේම කාබන් කොපියක් වන බවය.
වසර 75 තිස්සේ අප කරන්නට තැතනුවේද මෙයමය.
එවැනි වැඩපිලිවලක් සැබවින්ම අභියෝගාත්මක වන්නේ රටක් වශයෙන් අප නය තිරසරභාවය ඇති කර ගැනීම සඳහා රටේ පාලනයේ GFN අගය පාලනය කිරීමේ අභියෝගයටය.
සජබයේ ආර්ථික ඔස්තාර්ලා ඉදිරිපත් කල blue print එකටද මෙවැනි වැඩපිලිවලක් ඔරොත්තු දෙන්නේද යන්න පිලිබඳව පවතින්නේ සැකයකි. ඒ පිලිබඳව වෙනම කතා කලයුතුව තිබේ.
සජිත්ගේ ආර්ථික දර්ශනය තුල පවතින දුගී භාවය ඉහතින් දැක්වු කරුනු ස්වල්පය තුලින්ම තහවුරු වන්නේය.
එසේම ඒ තුලින් සජිත් පෙන්වන්නේ තම ජනකාන්තවාදී සහ සුබසාධනවාදී ප්‍රතිපත්තිය තුල පෙන්වන ගර්හිත බවයි.
සජිත් සිතන්නේ අහිංසක පුරවැසියන් චූන්වී අනාගත චන්දයෙදී තමන්ට කතිරය ගසනු ඇති බවයි.
යමෙක් නිවසක් සාදන්නට සැලසුම් කරන්නේ නම් එහි පිරිවැය තීන්දු කරන්නේ ගෟහ නිර්මාන ශිල්පියාගේ නිර්මානයට ඉන්ජිනේරු වරුන් ඉදිරිපත් කරන ව්‍යූහයන්ට දරන පිරිවැය මතය. එසේ නොකොට ගොඩනඟන නිවසක් අතරමඟ නවතා දමන්නට හෝ නිවස් හිමියා සදාකාලික බංකොලොත්භාවය පත්වන්නට පවතින ඉඩ කඩ ඉහලය.
ලංකාවේ නිදහසින් පසු ගොඩනැගුනු බහුතරයක්වු පාලනයන් සමාන වන්නේ නිවස් තනන්ට ගොස් බංකොලොත්වු නිවස් හිමියන්ටය. ඒ සඳහා වන ආසන්නතම උදාහරනය සපයන්නේ ගෝටාබය ජනාධිපති වරයා විසිනි. සජිත් තතනන්නේ එයම සිදු කිරීමටය.
වරෙක අපි හඳෙන් හාල් ගෙන ඒමේ පොරොන්දු පාඨයට යටවුයේය. තවත් වරෙක යටවුයේ ඇට රාත්තල් අටක් ලබා දීමේ සටන් පාඨයටය.
බංකොලොත්වු රට අපට සිහි කැඳවිය යුත්තේ මෙම පොරොන්දු දේශපාලනය අවසන් කරන්නටය. සුබ සාධන රාජ්‍යයකට අප කැමතිය. නමුත් සුභසාධන රාජ්‍යයක සීමාව දැන් අප පසු කොට ගොස් තිබේ.
නමුත් සජිත් යත්න දරන්නේ අතහැර දැමිය යුතු අතීතයක් අපට නැවත නැවතත් සිහිපත් කරමින් අපට යෝජනා කරන්නේ ඒ අමිහිරි යතාර්තවාදී නොවන අතීතයට නැවත ඔහු සමග පියමන් කරන්නටය.
සජිත් සොයා යන්නේ රටක් පිලිබඳව නොතකන ස්වාර්ථකාමී බලයකි.
ඒ නිසාම ඔහු නියෝජනය කරන්නේ අතීත පසුගාමී දේශපාලනයකි.
සජබය නව දේශපාලන පක්ෂයක් වුවද ඒ තුල පවතින්නේ රටක් ලෙස අත්හැරිය යුතුව තිබෙන පැරනි දේශපාලන දෟෂ්ඨියකි.
එනයින් ඔවුන් හා මහින්ද රාපක්ෂගේ පොහොට්ටුවාදී දේශපාලනය අතර වෙනසක් පවතින්නේ නැත.
ජනතාව අන්දවා- කෙසේ හෝ බලය ගනිමු !
එය ඔවුන්ගේ තේමා පාඨයයි.