සමස්ත මහා වැඩවර්ජන ගල උඩ සටනකට එළඹෙමු!
අජිත් පැරකුම් ජයසිංහ
ලංකාවේ රාජ්‍ය සේවා වෘත්තීය සමිති යනු අමු මාෆියාවකි. ඒවායේ නායකයන් පාතාල අපරාධකරුවන් වැනි පිරිසකි. පාතාල අපරාධකරුවන්ට අන් කිසිවක් වැදගත් නැත. වැදගත් වන්නේ තමන්ගේ අපරාධ කාටලයේ ලාභයයි. ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ හැඟීම් ද එහිදී වැදගත් නැත. ඔවුන් තීරණ ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව නොවේ.
වෘත්තීය සමිති නායකයන් ද එවැනිය. ඔවුන් තීරණ ගන්නේ සීමිත කල්ලියක ද්වේෂය, පටු අවශ්‍යතා, පැවැත්ම හා දේශපාලනික ලාභ වෙනුවෙනි. සමිති සාමාජිකත්වයේ කැමැත්ත, අකැමැත්ත පවා ඔවුන්ට වැදගත් නැත. පාතාල අපරාධකරුවන්ට මෙන්ම ඔවුන්ට ද ජනතාව හෝ සමාජය හෝ යනු කෝලැටරල් ඩැමේජස් හෙවත් තෙවන පාර්ශ්වයකට සිදු වන හානි පමණි.
මෙම තත්වය අලුතෙන් නිර්මාණය වූවක් නොවේ. කලක් තිස්සේ පැවති තත්වයක් උච්චස්ථානයට පත් වීමකි. දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් අතර දූෂණය හා මහජන මුදලින් වරප්‍රසාද භුක්ති විඳීම වෙනුවෙන් පැවති තරගකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස දේශපාලකයන් නිලධාරීන් සුරතල් කළ අතර, නිලධාරීහු දේශපාලකයන්ට ඔවුන්ගේ අයථා කටයුතු කරගෙන යාමට උපකාර කළහ.
දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන්ටත්, ජනතාවටත් පෙන්වූයේ තමන්ට ඕනෑ ආකාරයට දොර දන් දිය හැකි දන්සැලක් වැනි ආර්ථිකයක් ඇති බවකි. දේශපාලකයන්ට කඩේ යන හිතවතුන්ට හා උපාධි වැනි සුදුසුකම් මත කේවෙල් කරන පුද්ගලයන්ට රස්සා දෙන තිප්පොලක් බවට රාජ්‍ය අංශය පත්කරන ලදි. අවසානයේදී දේශපාලකයන්ට පොඩි උදව්වක් කළ, මෙලෝ වැඩක් නැති, යහපත් ආකල්ප නැති, මරණයෙන් පසු පවා වැටුප් හා විශ්‍රාම වැටුප් ගන්නා රාජ්‍ය සේවකයන්ගෙන් රජයේ සේවය පිරී ඉතිරී ගිය අතර දැන් ඔවුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 14ක් වේ. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඇත්තේ ඉතා පහළ අඩියකය.
රාජ්‍ය නිලධාරීන් හා ජනතාව අතර රාජ්‍ය ආදායම් හා වියදම් පිළිබඳ අවබෝධයක් නැතිකමට දිගු ඉතිහාසයක් ඇත. ඔවුන් රජයට ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ රජය සුරංගනාවියක ලෙස සිතාය. පඩි වැඩි කරන්නට බදු වැඩි කළ යුතු නම් ආණ්ඩුවක් මොකටදැයි අසන ජවිපෙ නායකයකු වන නාමල් කරුණාරත්න වැනි අය මෙවැනි ජනතාවයි.
ආර්ථිකයේ සැබෑ තත්වය හොඳින් දන්නා මුදල් ඇමතිවරුන් පවා කාලයක් තිස්සේ ජනතාවට ඇත්ත වසන් කළ අතර අවසානයේදී රට බංකොලොත් වන තරමේ ආර්ථික අර්බුදයකට රට ලක් විය.
ආර්ථික අර්බුදයෙන් පසු ජනාධිපතිවරයා ඇතුළු බොහෝ ඇමතිවරුන් ආර්ථිකයේ තත්වය ඇති තරම් ජනතාවට පැහැදිලි කළහ. පසුගිය අප්‍රේල් සිට සියලු රජයේ සේවකයන්ට රු. 10,000ක දීමනාවක් ලබා දෙන ලදි. එසේ කරන්නේ වතුකම්කරු දෛනික වැටුප රු. 1,700 කරන්නට බැරි යයි හාම්පුතුන් උසාවි යන පසුබිමකය.
වෘත්තීය සමිති අලුත් වර්ජන රැල්ල ආරම්භ කරන්නේ මෙම පසුබිම තුළය. වෛද්‍යවරුන්, පරිපාලන නිලධාරීන් වැනි සුළු පිරිසක් සිටින, තත්වයෙන් හා වගකීමෙන් ඉහළ රාජ්‍ය නිලධාරීන්ට දෙන යම් වරප්‍රසාද සැමට ලබා දිය යුතු යයි කරන තර්කය බොළඳ එකකි. එහෙම සියලු රැකියාවලට සම තැන දෙන්නට නම් ජනාධිපති සහෝදරයා තඹුත්තේගම පැලක සිට රාජ්‍ය පාලනය කරන සමාජවාදී විප්ලවයක් කළ යුතුය. දැන් එහෙම එකක් නැත.
වෘත්තීය සමිති රැසක් අද වන විට වර්ජන හකුළාගෙන ඇත. මහ ගහෙන්ම ගේම ඉල්ලූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සේවය අත්හැර ගියා සේ සලකන බව රජය නිවේදනය කර තිබේ. දුම්රිය ස්ථානාධිපතිවරුන් යයි කියන පිරිස අතරින් වැඩි දෙනෙකු කරන්නේ අර පරණ යකඩ මැෂිමකින් ටිකට්වල මොකක්ද එබීමක් සිදු කර සල්ලි ගැන පොත්වල ලිවීමයි. සුපර් මාකට්වල කැෂියර් ගැහැණු ළමයින් ඊට වඩා කුසලතා අවශ්‍ය රැකියාවක් කරන අය වෙති. එහෙත් ඔවුන්ට බලය නැත. යටත් විජිත කාලේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ටිකට් දෙන්නට හැදූ ගුල ඇතුළේ තාම සිටින මේ යල් පැන ගිය රස්සාකාරයෝ වෘත්තීය සමිති හා යල් පැන ගිය නීති නිසා බලවත්ය.
සටන ඇත්තේ රජයේ සේවකයන් හා ආණ්ඩුව අතර නොවේ. සටන ඇත්තේ වෘත්තීය සමිති මාෆියාව සහ ලංකාවේ සමාජ ක්‍රමය අතරයි. මෙය ගල උඩ සටනකි. එල්ටීටීඊය සමග කළ අවසන් සටන වැනි එකකි. මෙය සමස්ත මහා වැඩ වර්ජනයක් දක්වා යා යුතුය. අතරමග හැරෙනවා නම්, වෘත්තීය සමිති පරාජිතය. එක්කෝ වෘත්තීය සමිති හා ඒවා ෆෝම් කළ ජවිපෙ ජය ගෙන සමාජවාදී ක්‍රමයක් ඔස්සේ මොකක් හෝ ක්‍රමයකින් මේ වෘත්තීය සමිති මාෆියාව සතුටු කළ යුතුය. නැතිනම්, මෙය මෙතනින් අවසන් කළ යුතුය. ඡන්ද ආදිය ගැන නොසිතා ආණ්ඩුව නොබියව ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුය. නැතිනම්, කිසිවකුට ආණ්ඩු කරන්නට හෝ ලාංකීය සමාජ ක්‍රමය පවත්වාගෙන යන්නට බැරිය.