ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා සහ ජූඩිෂියල් කැනිබාලිසම්
අජිත් පැරකුම් ජයසිංහ
“ජූඩිෂියල් කැනිබාලිස්ම්” යන යෙදුම විධිමත් ලෙස ස්ථාපිත නීතිමය යෙදුමකට වඩා රූපකාර්ථ සහිත ප්‍රකාශනයකි. එහි පවතින්නේ අධිකරණයට හෝ අධිකරණ පද්ධතියට අදාළ “අධිකරණ” යන වචනය සහ “තමන්ගේම වර්ගයා ආහාරයට ගැනීම” යන අරුත දෙන වචනවල සංකලනයකි.
මෙය ‘අධිකරණමය මිනීකෑම’ ලෙස පරිවර්තනය කළ හැකිය. එමගින් අධිකරණය තුළ ස්වයං-විනාශකාරී හැසිරීමක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරයි. එහි අර්ථය වන්නේ උසාවි විසින් තමන්ගේම පූර්වාදර්ශයන් සහ ස්ථාපිත නීතිමය මූලධර්ම වලපල්ලට යවන බවයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙම යෙදුම භාවිතා කළේ කාන්තා අයිතීන් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතීත තීන්දු හා නීතිමය මූලධර්ම නොසලකා හැරීම සම්බන්ධයෙන් විය හැකිය.
පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති වික්‍රමසිංහ මෙසේ පැවසීය: “ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතා පනත් කෙටුම්පතේ සඳහන් කර ඇති වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොසලකා හැර තිබේ. කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් දස දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් ලබා දුන් තීන්දුවක් ඇතුළුව සියලුම තීන්දු අහෝසි කර ඇත. එය අධිකරණමය ස්යෙවයං විනාශයක යෙදී ඇත. අගවිනිසුරුවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ සිදු කළ සංශෝධනයක් ද අධිකරණයද නොසලකා හැර ඇත.” යැයි ජනාධිපතිවරයා පැවසූ බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කළේය.
ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතා පනත් කෙටුම්පතෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සියලුම පුද්ගලයින්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවය නොසලකා සමාන අවස්ථා නීතිගත කිරීමයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සලකා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ද එම තේරීම් කාරක සභාවේ බහුතර සාමාජිකත්වයට පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රිනී සංසදයේ මන්ත්‍රීවරියන් පත් කිරීමට ද ජනාධිපතිවරයා යෝජනා කළේය.
ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් සමලිංගික විවාහ සඳහා අවසර දිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළ අතර, එය ව්‍යවස්ථානුකූලව හා සංස්කෘතික වශයෙන් නුසුදුසු බව අධිකරණයයේ මතය විය. සමලිංගික විවාහ සහ විවිධ සමාජභාවී අනන්‍යතා පිළිගැනීම සඳහා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතර ඡන්දයක් අවශ්‍ය වන අතර ජනමත විචාරණයක් මගින් ද සම්මත කළ යුතු බව අධිකරණය ප්‍රකාශ කළේය.
සෙසු විනිසුරුවරුන් දෙදෙනාගේ සහාය ඇතිව සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන මෙසේ ලිවීය: “මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වූ විට, ඕනෑම උනන්දුවක් දක්වන පාර්ශ්වයකට සමලිංගික විවාහ සඳහා නීත්‍යානුකූල තත්ත්වය ඉල්ලා සිටිය හැකි බව පැහැදිලිය. මෙය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්වත් සලස්වා නැති දෙයක්. අපේ සංස්කෘතිය විසින් මෙය අපේක්‍ෂා කරන්නේ නැත.”
මේ අනුව, ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී හා පුරුෂ හැර වෙනත් සමාජභාවී අනන්‍යතාවක් පිළිගන්නේ නැත.
ශ්‍රී ලංකාව තුළ සමලිංගිකත්වය සාපරාධී නොවන තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පවා සැලකිය යුතු සංස්කෘතික හා සදාචාරාත්මක ඇඟවුම් මෙම තීන්දුව මගින් අවධාරණය කර තිබේ.
පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම්කරුවන් තර්ක කළේ සමලිංගික විවාහවලට ඉඩ දීම විවිධ ප්‍රජාවන්ගේ සංස්කෘතික සංවේදීතාවන්ට හානියක් වන බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව විසින් මෙම ප්‍රශ්න කිරීම් පිළිගෙන ඇති අතර, රටේ ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාවය සහ LGBTQ+ අයිතිවාසිකම් පිළිබඳ අනාගතය පිළිබඳ ධ්‍රැවීකරණය වූ විවාදයකට තුඩු දී ඇත.
LGBTIQ+ යනු කුමක්ද?
ස්ත්‍රී සමලිංගික – වෙනත් කාන්තාවන්ට ආකර්ෂණය වන කාන්තාවන් විස්තර කිරීමට භාවිතා කරන යෙදුමකි
පිරිමි සමලිංගික – වෙනත් පිරිමින් වෙත ආකර්ෂණය වන පිරිමින් හැඳින්වීමට භාවිතා කරන යෙදුමකි
ද්විලිංගික – පිරිමි සහ ගැහැණු යන දෙඅංශම වෙත ආකර්ෂණය වන පුද්ගලයින් විස්තර කිරීමට භාවිතා කරන යෙදුමකි.
සංක්‍රාන්ති ලිංගිකයන් – උපතේදී පවරන ලද ලිංගිකත්වයට නොගැලපෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් විස්තර කිරීමට භාවිතා කරන යෙදුමකි.
අන්තර් ලිංගික – පිරිමි හෝ ගැහැණු යන කාණ්ඩවලට මනාව නොගැලපෙන ලිංගික ලක්ෂණ සහිතව උපත ලබන පුද්ගලයින් හැඳින්වීමට භාවිතා කරන යෙදුමකි.
ක්වියර් – විෂමලිංගික හෝ cisgender හෙවත් ලිංගිකභාවයක් දැක්විය නොහැකි ඕනෑම අයෙකු විස්තර කිරීමට භාවිතා කළ හැකි පොදු පදයකි.
“+” ධන ලකුණෙන් අදහස් කරන්නේ කුමක්ද?
LGBTIQ+ යන කෙටි යෙදුමේ “+” ලකුණ විසින් නියෝජනය කරන්නේ ඊට පෙර අකුරුවලින් දැක්වෙන කිසිදු වර්ගයකට හරියටම නොගැලපෙන පුද්ගලයන්ය.
දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති ඉවත් කිරීම
මීට පෙර, සමලිංගිකත්වය අපරාධ වරදක් බවට පත්කිරීමට හේතු වන දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පාර්ලිමේන්තුවට ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් එම යෝජනාව ව්‍යවස්ථා විරෝධී නොවන බව අග්‍රවිනිශ්චයකාර ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් කතානායකවරයාට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ “ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනි කායික සංසර්ගය” අපරාධයක් ලෙස සලකන අතර වසර දහයක් දක්වා සිරදඬුවමක් නියම කළ හැකිය. මෙම නීතිය වර්ෂ 1883 තරම් ඈතට විහිදේ. එමගින් සමලිංගික සංසර්ගය අපරාධයක් බවට පත් කළ හැකිය. එය පුද්ගලයන්ගේ ලිංගික නැඹුරුවට එරෙහි නීතියක් ලෙස සැලකේ.
රජය විසින් මෙම නීතිය සංශෝධනය කිරීම සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට් මගින් පළකර තිබේ. එම සංශෝධනය ගෙන ඒමට මුල් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකි. ඒ අනුව, සංශෝධනය සිදුවන්නේ පහත දැක්වෙන පරිදිය.
365 වගන්තියෙහි සඳහන් වන පරිදි ‘ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව ඕනෑම පිරිමියෙකු, ස්ත්‍රියක හෝ සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය.’
නව සංශෝධනය මගින් මෙම වගන්තියේ ‘පිරිමියෙකු, ස්ත්‍රියක’ යන කොටස් ඉවත් කර තිබේ. ඒ අනුව, එම වගන්තිය වෙනස් වන්නේ ‘ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය’ යනුවෙනි.
යෝජිත සංශෝධනය අනුව 365 අ වගන්තිය ඉවත් කරනු ලැබේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 අ වගන්ති යටතේ අස්වාභාවික සංසර්ගය යන පදනමින් සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික සහ ලිංගිකත්වය ප්‍රශ්න කරන ප්‍රජාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි විය.
2024 වසර වෙනුවෙන් අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කාන්තාවන් සවිබල ගැන්වීම යටතේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අයවැයකරණය හඳුන්වා දීමට හා ඒ හා සම්බන්ධ නීති සම්පාදනය කිරීමට යෝජනා කළේය. කාන්තාවන් සවිබලගැන්වීම සඳහා වන නීති හඳුන්වා දීමට ද කටයුතු කරන බව ඔහු පැවසීය.