smart agriculture

හාල් සීයට පිටරටින් එන එක නවත්වා කරන දේශීය ගොවිතැන

මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුය යන්න පැරණි කුලවාදී කතාවකි. එයින් අදහස් කරන්නේ වෙනත් කුලවල අය රජකමට නුසුදුසු බවයි. කෙසේ වෙතත්, මෙම කතාව වර්තමානයේදී භාවිතා කරන්නේ ග්‍රාමීය දිළින්දන් ගොවීන් ලෙස මෝඩයාට අන්දා, සිංහල බෞද්ධ ගොවිගම පිරිමි බහුතර බලයෙන් පාලනය දිනාගැනීමටයි.

ඒ වෙනුවෙන් යැපුම් ගොවිතැන නඩත්තු කරනු ලැබේ. යැපුම් ගොවීන් රැකගන්නා මුවාවෙන් ඉඩම් වෙළඳපොළ නිදහස් වීමට ඉඩ නොදී රජය අත රැකගනු ලැබේ. වී ගොවිතැන මුල් කරගත් ඊනියා කෘෂිකර්මාන්තයේ නාමයෙන් රාජ්‍ය ආයතන, නිලධාරීන් හා දේශපාලකයන් සමුදායක් නඩත්තු කරනු ලැබේ. ඒ ආයතන පද්ධතියෙන් කෘෂිකර්මාන්තයට තිබෙන සේවය අවමය.

මේ අතර, දේශගුණික විපර්යාසවලට සංවේදී කාර්යක්ෂම සුහුරු කෘෂිකර්මාන්තයක් අවශ්‍ය යුගයක, ලංකාවේ මිනිස්සු තවමත් සූදු කෙළින්නා සේ විවිධ බෝග වගා කරති. ලාභ මෙන්ම පාඩු ද ලබති.

දේශීය ගොවියා ආරක්ෂා කරගත යුතු යයි කියමින් නිදහස් වෙළඳපොළට ඉඩ නොදී පාරිභෝගිකයා මත අධික බරක් පටවයි. මේ අතර දේශීය යයි කියන ගොවිතැන සිදුවන්නේ මෙසේය: පොහොර පිටරටින්ය. බීජ පිටරටින්ය.ප කෘෂි රසායන පිටරටින්ය. යන්ත්‍ර සූත්‍ර පිටරටින්ය. ඒවාට ගහන ඉන්ධන පිටරටින්ය. වාරිමාර්ග හදන සිමෙන්ති හා යකඩ පිටරටින්ය. වතුර පොම්ප කරන විදුලිය හදන ඉන්ධන පිටරටින්ය. ගොවියා අමුඩ ගහනවා නම් ඒකත් පිටරටින්ය. මී උණ හැදුනාම දෙන බෙහෙතුත් පිටරටින්ය.

බලාගෙන ගියාම පූර්ණ වශයෙන් දේශීය යයි කිව හැක්කේ පිටසක්වළින් එන හිරු එළිය පමණි.

ඒ මදිවාට ගොවීන් යයි කියන ග්‍රාමීය දිළින්දන්ට පොහොරත් මහජන මුදලින් දී, අස්වැන්නත් මහජන මුදලින් මිලදී ගත යුතුය. කොහොම කළත් දිළිඳුකම දිගටම පවත්වාගෙන යන නිසා අස්වැසුමත් දිය යුතුය.

මේ අතර දේශීය වෙළඳපොළේ හාල් කිලෝවක් රු. 250ක් පමණ වෙද්දී රුපියල් සීයට ආනයනය කළ හැකි බව දැන් ආණ්ඩුවම කියයි.

මේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුය. අමුඩයේ පටන් සියල්ල රැකගනිමින් කළ හැකි පරිවර්තන නැත. ඕනෑම පරිවර්තනයක සැරව ගෙඩියකට කටුවක් අනින්නා වැනි වේදනාවක් ඇත. ඒක කරන්නට බැරුව තියෙන මූලික ප්‍රශ්නය දේශපාලනයට දැක්මක් නැතිකමය. දැන් ඉන්න එවුන් නම් ලෝකයට පමණක් නොව ලංකාවට ද පුංචි වැඩිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *