Gladys Jayawardane

ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වූ නිසා ජවිපෙ විසින් ඝාතනය කළ ඖෂධ සංස්ථාවේ සභාපතිනිය ග්ලැඩිස් ජයවර්ධන

ග්ලැඩිස් ජයවර්ධන කියන්නෙ ශ්‍රී ලාංකික වෛද්‍ය ආචාර්යවරියක්. ලංකාවෙ වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරිනියක වන ඇය පරපෝෂිත විද්‍යාව සම්බන්ධයෙන් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් කෙනෙක්.

ඇය විවාහ වී සිටියේ එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ සොහොයුරකු වූ වෛද්‍ය රෝලන්ඩ් ජයවර්ධන සමගයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) අධ්‍යක්ෂ ධූරයට පත් වුණ පළමු කාන්තාව බවට ඇය 1980 පත්වුණා. 1988 සිට ඇය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනියයි. කලින් ආනයනය කළ නිෂ්පාදනයක් වන දැන් අප ‘ජීවනී’ යයි හඳුන්වන ඖෂධය දේශීයව නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ ඇගේ පාලන කාලයේදීයි.

1989 සැප්තැම්බර් 12දා ඇයව ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඝාතනය කරනවා. ආසන්න හේතුව වන්නේ ඉන්දියාවෙන් ඖෂධ ආනයනයයි. ඒ වන විට ජවිපෙ විසින් ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය පළ කරමින් ඉන්දියන් භාණ්ඩ වර්ජනයක් දියත් කරලායි තිබුණේ.

මේ ඝාතනය සිදු කළ ආකාරය පිළිබඳ කොමඩෝර් අජිත් බෝයගොඩ විසින් කියන ලදුව සුනිලා ගලප්පත්ති විසින් ලියන ලද A Long Watch නම් පොතේ විස්තර සඳහන් වෙනවා. ඒ වන විට කොළඹ වරායේ ජවිපෙ ඉතා ප්‍රබලයි. වරාය සේවකයන් වර්ජනය කරලායි තිබුණෙ. ඒ අතරෙ තමයි රාජ්‍ය ඖෂධ සංස්ථාව ඉන්දියාවෙන් ආනයනය කළ ඖෂධ තොගයක් කොළඹ වරායට ළඟාවෙන්නෙ. රෝහල්වල ඖෂධ හිඟයක් ඇති වීම වළක්වන්නට මේ ඖෂධ තොගය රෝහල්වලට බෙදාහරින්නට වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනට අවශ්‍ය වෙනවා.

මේ කාර්යය පවරන්නේ නාවික හමුදාවටයි. එය ඉටු කරන්නේ අජිත් බෝයගොඩගේ ප්‍රධානත්වයෙන්. වැඩ කිරීමට කැමති, එහෙත් ජවිපෙට බය වරාය සේවකයන් සමග තමන් ඩීල් එකක් ගැසූ බව අජිත් බෝයගොඩ ලියනවා. ඔහු සේවකයන්ට කියනවා නාවික හමුදාව විසින් තුවක්කු බලයෙන් බලහත්කාරයෙන් වැඩගන්නා විදියට කටයුතු කරන්නට. ඒ විදියට ඖෂධ තොගය වරායෙන් ගබඩා වෙත රැගෙන යනවා.

එදාම ජවිපෙ ඇය කොම්පඤ්ඤවීදියේදී ඝාතනය කරනවා. ඇය අවසන් රාජකාරිය ලෙස කරන්නේ මෙහෙයුම සම්බන්ධයෙන් ස්තුති කර අජිත් බෝයගොඩට ලිපියක් ලිවීම විය හැකියි. ඒ ලිපිය බෝයගොඩට ලැබෙන්නේ ඇගේ මරණයෙන් දිනකට පසුවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් වාර්ෂිකව පරපෝෂිත විද්‍යාව පිළිබඳ රන් පදක්කමක් ඇගේ නමින් පිරිනමනවා.