No ETCA JVP

ජවිපෙට බැරි ඇයි?

අජිත් පැරකුම් ජයසිංහ

සමහර බොළඳ මාලිමාවුන් හිතන විදියෙ කිසිම ඊර්ෂ්‍යාවක් මට ජවිපෙ එක්ක නැහැ. මොකද මං ප්‍රාදේශීය සභාවකටවත් ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවක් නැහැ. දේශපාලකයන්ට පන්දම් අල්ලලා මෙතෙක් කිසිදු ලාභ ප්‍රයෝජනයක් අරගෙනත් නැහැ. ඉදිරියෙදි ගන්නට බලාපොරොත්තුවකුත් නැහැ.

මං කියන දේ සරලයි. ජවිපෙට මේක කරන්න බැහැ. උන් නැවත මේ රට බංකොලොත් කරනවා. ඒක ඉතාම සරලව පැහැදිලි කරන්නට පුළුවන් කාරණයක්.

ණය ප්‍රතිව්‍යූහගත කළාට පස්සෙ අවුරුද්දකට ඩොලර් බිලියන හතරක, පහක විදේශ ණය ගෙවන්නට වෙනවා. පෞද්ගලිකකරණය නොකර, නීති වෙනස් කරලා ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කරගන්නෙ නැතුව මොන යකාටවත් ඔය දේ කරන්න බැහැ. පෞද්ගලිකකරණයට විරුද්ධ, කම්කරු නීති සංශෝධනවලට විරුද්ධ ජවිපෙට කිසි සේත්ම බැහැ.

ඒ වගේම, නැවත ලෝක වෙළඳපොළේ මිලට අඩුවෙන් තෙල්, ගෑස් හා ඉන්ධනවලින් නිපදවන විදුලිය දෙන්නට බැහැ. දැන් විදුලි මිල අඩු කරන්නය කිව්වට උන් කියන විදියට විදුලි බිල අඩු කළොත් මේ අවුරුද්දෙ ඉදිරියෙදි එන නියඟයෙදි විදුලිය දෙන්නටවත් බැහැ.

බදු අඩු කරලා ලක්ෂ 14ක් වෙන මේ රාජ්‍ය සේවයට පඩි ගෙවන්නට රජයට බැහැ. ඔය නොගෙවූ බදු, සොරකම් කළ දේපළ ආපසු අය කරගන්නකල් රජය දුවන්න බැහැ.

දේශීය ආර්ථිකයන් හදන කතා තේරුමක් නැති සුරංගනා කතා. ඒවා රජයට කරන්නට බැහැ. රජයට පුළුවන් ඒ සඳහා යටිතලය හදන එක විතරයි. රජයේ රස්සා දෙන එක අත්‍යවශ්‍ය ප්‍රමාණයට සීමා කළාම මිනිසුන් පෞද්ගලික අංශයට යොමු වෙයි. ක්ෂුද්‍ර ව්‍යවසායන්ගේ ඉඳලා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් දක්වා දේශීය ව්‍යවසායකයන් තමයි ආර්ථිකය ගොඩනගන්නෙ. ඔවුන් තමයි රැකියා උත්පාදනය කරන්නෙ. ඍජු විදේශ ආයෝජන ඔස්සේ ලංකාවේ සිදුවන ව්‍යවසාය මෙතනදිත් ඉතාම වැදගත්.

ඕනැ නම් බොරු කියලා බලය අරගෙන දැන් රනිල් කරන දේම ජනතාව මර්දනය කරලා කරන්න පුළුවන්. ඇත්ත කියලා විරෝධය යටපත් කරන එකට වඩා බොරුවලින් රවටපු මිනිසුන්ගේ අපේක්ෂා භංගත්වය මර්දනය කරන එක අමාරුයි. ගෝඨාභයට වුණේ ඒක. බොරු කියලා බලය අරගන්න කිසි කෙනෙකුට මාස හයක්වත් රට ගෙනියන්න බැහැ. එක තෙල් පෝලිමෙන් කතාව ඉවරයි.

මේ යන පාලනය අඩුපාඩු මගහරවා ගනිමින් තව අවුරුදු පහක් ගියොත්, ඔය එක ජාතියෙ ෆැන්ටසිවල ඉන්න අයට තමන් දන්න හොඳ හොඳ විදි අත්හදා බලන්නට පුළුවන් පදනමක් හැදෙයි. එතකල් සරලයි. රනිල්ගේ නායකත්වයෙන් වර්තමාන ආණ්ඩුව වැනි පාලනයක් මිස වෙන කිසි දෙයක් ප්‍රායෝගික නැහැ. රනිල් හොඳ නැහැ. හැබැයි, මේ වෙලාවෙ වෙන විකල්පයක් නැහැ.

ඒකෙදි පොහොට්ටුවත් වැදගත්.

ඕනැ නම්, ජවිපෙට හෝ සජිත්ට රට භාර දීලා බලන්න. මේ පෝස්ට් එක ස්ක්‍රීන් ෂොට් ගහලා තියාගන්න. තව එක පාරක් ලංකාව බංකොලොත් වුණොත්, ඊළඟ පාලනයට ප්‍රජාතන්ත්‍රවාදය අදාළම නැති වෙයි.

ජවිපෙට කොච්චර රැල්ලක් තිබුණත්, මං කිසි සේත්ම ඒ රැල්ලට ගොඩවෙන්නෙ නැත්තෙ ඒ නිසායි.