Galagodaaththe Gnanasara Thero

ඥානසාර හිමි සිරගත කළ 291 (අ) වගන්තිය ගැන සිවිල් සමාජයේ අදහස කුමක්ද?

අජිත් පැරකුම් ජයසිංහ

ඥානසාර හිමි සිරගත කරනු ලැබුවේ දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ යයි බීබීසී ඇතුළු ජනමාධ්‍ය වාර්තා කර තිබේ. එහෙත්, ඔහු වරදකරු වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේය. එය ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 295 වගන්තියට සමාන වේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය: ආගමික හැඟීම්වලට හානි කිරීම සඳහා හිතාමතාම චේතනාවෙන් වචන ප්රකාශ කිරීම.

ඕනෑම පුද්ගලයෙකුගේ ආගමික හැඟීම්වලට හානි කිරීමේ චේතනාවෙන් හිතාමතා යම් වචනයක් ප්රකාශ කිරීම හෝ එම පුද්ගලයාට ඇසෙන පරිදි ශබ්දයක් නිකුත් කිරීම හෝ එම පුද්ගලයා ඉදිරියෙහි කිසියම් අභිනය කිරීමක් හෝ එම පුද්ගලයාට පෙනෙන පරිදි කිසියම් වස්තුවක් තැබීම, වසරක් දක්වා දීර්ඝ කළ හැකි කාල සීමාවක් සඳහා සිරගත කිරීම හෝ දඩයක් හෝ දෙකම සමඟ දඬුවම් කළ යුතුය. (මූලාශ්‍රයට සබැඳිය 1 කමෙන්ටුවේ)

ඥානසාර හිමිගේ පාර්ශ්වය ඔහු විසින් කරන ලද ඉස්ලාම් විරෝධී වෛරී ප්‍රකාශය සම්බන්ධයෙන් තර්ක කරන්නේ ඔහු එය සිදු කළේ 2016 වසර වන විට පැවති තත්වය අනුව බවයි.

2019 වසරේදී පාස්කු ප්‍රහාරය සිදු වූ අතර, එයට සම්බන්ධ යයි කියන කිසිවෙකු නොදන්නා මහමොළකරුවකු ගැන තිබෙන උනන්දුව එම ප්‍රහාරයට සම්බන්ධ යයි නඩු පවරා තිබෙන පුද්ගලයන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් තිබෙන බවක් නොපෙනේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 267 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අතරින් 24දෙනෙකුට චෝදනා යටතේ 23,270ක් යටතේ අධි චෝදනා ගොනු කර තිබේ. එතරම් චෝදනා ප්‍රමාණයක් ගොනු කිරීමම ප්‍රශ්නකාරීය. මේවා ගිනස් වාර්තා තබන්නට නම් හොඳය.

සුද්දෝධනගේ කොල්ලා යයි පවසමින් බුද්ධ චරිතයට අපහාස කළේ යයි නතාෂා එදිරිසූරියට ද 291 (අ) වගන්තිය යටතේ නඩු පැවරිය හැකිව තිබුණු මුත්, නඩු පවරනු ලැබුවේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේය.

ලංකාවේ නඩු පැවරීම සිදුකරන ආකාරය හා රජයේ නීති උපදේශක වන නීතිපතිගේ භූමිකාව ප්‍රශ්නකාරීය.

එසේම, ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් සමාජ කතිකාව ද, ඒ සම්බන්ධ සිවිල් සමාජ භූමිකාව ද ප්‍රශ්නකාරීය.

සිංහල, බෞද්ධ බහුතර ප්‍රජාවේ නායකයන් විසින් වෙනත් ආගම්වලට එරෙහිව කරනු ලබන ප්‍රකාශ හා සිංහල, බෞද්ධයන්ට එරෙහිව කරනු ලබන ප්‍රකාශ සමාන අන්දමින් සැලකීම අවශ්‍ය නැති බවට තර්කයක් මතු කිරීම සාධාරණය. මෙම සංවාදය හා සම්බන්ධ වැදගත් කාරණා ඥානසාර හිමිට එරෙහිව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි විසින් ලබාදෙන ලද තීන්දුවෙහි ද, නතාෂා එදිරිසූරියට ඇප ලබාදීම සම්බන්ධයෙන් එම විනිසුරුම විසින් ලබාදෙන ලද තීන්දුවෙහි ද තිබේ.

අධිකරණය මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු පවරනු ලබන ආකාරය අනුවය. ලංකාවේ අභිචෝදකවරයා වන නීතිපතිවරයාගේ ස්වාධීනත්වය ප්‍රශ්නකාරීය.

කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරය වැනි දරුණු ත්‍රස්තවාදී ක්‍රියාවකට අවුරුදු පහකට පසුවත් කිසිවෙකු දඬුවම් ලබා නොමැති බව ද, ඥානසාර හිමි සිරගත කිරීම අනුමත කරන අතරතුර සලකා බැලිය යුතුය.

එසේම, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතට, මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනතට, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට සමාන පදනමින් විරුද්ධ වන ලංකාවේ සිවිල් සමාජය දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය ගැන දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්නද දැනගැනීම අවශ්‍යය.