Ranil with Youth

පක්ෂ දේශපාලනය බැහැර කරන රනිල්ගේ මූලෝපාය

දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට මිස පක්ෂයට අවශ්‍ය ලෙස රටේ ආර්ථිකය සකස් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ පැවති නීතීඥ හමුවකදී පසුගියදා ප්‍රකාශ කළේය. එය රනිල් වික්‍රමසිංහගේ දේශපාලන දිශානතිය ප්‍රකාශ කරන වැදගත් ප්‍රකාශයකි.

ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත නමින් නව නීතියක් මෙම මැයි මාසයේදී ගෙන එන බව ද ජනාධිපතිවරයා අනුරාධපුරයේදී සඳහන් කළේය. එසේම ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවිමේ කාලය 2042 දක්වා දීර්ඝ කර ගැනීමටත්, එම ණයවලින් කොටසක් ඉවත් කර ගැනීමටත් සාකච්ඡා කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට නම් අපනයන ආර්ථිකයක් කඩිනමින් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

අපගේ නිරීක්ෂණය අනුව, ලංකාවේ මේ වන විට ඇත්තේ විධිමත් දේශපාලන පක්ෂ දෙකක් පමණි. ඒවා නම්, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ප්‍රතිපත්තිමය වශයෙන් මෙම පක්ෂ දෙකම ජාතිකවාදී හා රාජ්‍ය මූලික ආර්ථිකය ප්‍රවර්ධනය කරන පක්ෂ දෙකකි. ඒ හැර වෙනසක් ඇත්තේ ජවිපෙ මාක්ස්වාදී සංස්කෘතියක් ප්‍රවර්ධනය කරන අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂ පවුල්වාදී, ජාතිකවාදී පක්ෂයක් වීමයි.

මෙම පක්ෂ දෙකටම අවශ්‍ය වන්නේ පක්ෂවල බලය තහවුරු කරගැනීම හා පක්ෂවල දෘෂ්ටිවාදී හා මූලෝපායික අවශ්‍යතාවන් අනුව රටේ ආර්ථිකය හා දේශපාලනය හැඩගැස්වීමයි. රනිල් වික්‍රමසිංහ කතා කරන්නේ එයට එරෙහිවයි.

රනිල් වික්‍රමසිංහ මේ වන විට බොහෝ දුරට එක්සත් ජාතික පක්ෂය බැහැර කර තිබේ. ඔහු උත්සාහ කරමින් සිටින්නේ පක්ෂ ඉක්මවා ගිය දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහායි.

ලංකාවේ ආර්ථිකය හා දේශපාලන ක්‍රමය තිරසර කරගැනීම සඳහා ඉදිරි අවුරුදු පහක කාලයක් සඳහා හෝ එවැනි පාලනයක් අවශ්‍යය.