Amuka Dumuka

මං ඔයාට කියන්නම් රට බංකොලොත් වෙච්ච හැටි

අජිත් පැරකුම් ජයසිංහ

1. කාලයක් තිස්සෙම ලංකාව කළේ රජයේ අයවැය පියවගන්න දේශීය හා විදේශීය ණය ගන්න එක. එහෙම ණය ගොඩගැහුණා.
2. ආනයන කරගන්නට අපනයන ආදායම මදි වෙනකොට ඒක තුලනය කරගන්නත් විදේශ ණය ඉවහල් වුණා.
3. මෙහෙම ගත්ත විදේශ ණය පාවිච්චි කරලා ඩොලර් එක පෙග් කළා. ඒ කියන්නෙ ඩොලරයේ වටිනාකම රු. 200 සීමාවේ කෘත්‍රිමව තියා ගත්තා. ඒ කියන්නෙ දැන් කරන එකේ අනෙක් පැත්ත කළා. ඒ කියන්නෙ වෙළඳපොළෙන් ඩොලර් මිලදී ගන්නවා වෙනුවට වෙළඳපොළට ඩොලර් දැම්මා.
4. විදේශීය ණයවල පොළිය හා වාරික විශාල වෙලා අවුරුද්දකට ඩොලර් බිලියන පහක විතර මට්ටමට ආවා. ඒක ඒ තරම්ම ලොකු එකක් නෙමෙයි.
5. මේ අතරෙ විදේශ ණයවලින් ආරම්භ කරපු බොහෝ ව්‍යාපෘති ඒ වියදමට සරිලන ආදායමක් ජනනය කරන්නට අසමත් වුණා.
6. මේ අතරෙ කොවිඩ්-19 අධි වසංගතය ආවා. මුළු රටම රට වහන්න කිය කියා එක හඬින් ඉල්ලුවා. මේකෙන් ආර්ථිකය නැවත ගොඩගත නොහැකි මට්ටමට බිඳ වැටෙන නිසාත්, මේක ලෝකෙ පළමු අධිවසංගතය නොවන නිසාත් රට වහන්න එපා කියපු අපට හැමෝම හිනා වුණා.
7. ඩොලර් හිග වෙනකොට පොහොර සහනාධාරය වගේ බරෙන් රජය නිදහස් වෙන්න ගෙනාපු කොම්පෝස්ට් වැඩේ ජාතිකවාදී මෝඩයන් පිරිසක් රටම කාබනික කරන වැඩක් බවට පත් කරලා ආහාර නිෂ්පාදනයටත් කෙළියා.
8. ආර්ථික අර්බුදය උග්‍ර වෙනකොට බලලෝභී දේශපාලන පක්ෂ මහජන අසහනය මත ආයෝජනය කරලා දැවැන්ත රාජ්‍ය විරෝධී කඩාකප්පල්කාරීත්වයක් නිර්මාණය කළා.
9. ලංකාවේ රාජ්‍යය තුළ සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයට විරුද්ධ සකලවිධ බලවේග මේ වෙලාව පාවිච්චි කරලා එක් සේසත් වෙලා දැවැන්ත සාමූහික ප්‍රහාරයක් එල්ල කළා.
10. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට ජනතාව රජයට උපකාර කළ යුතු වෙලාවක සමස්ත සමාජයම කඩාකප්පල්කාරීත්වයට වැඩි වැඩියෙන් යොමු කරන බලවේග තවත් බලවත් වුණා.

ඔන්න ඕකයි වුණේ. ඒක ඇතුළෙ මුළු ලංකාවම මේ තත්වයට වගකිව යුතුයි. නායකයන් වැඩිපුර වගකිව යුතුයි. හැබැයි, ඒ නායකයන් පත් කරගත්තෙ, ඡන්ද පෙන්නලා උන් ලවා තමන්ට ඕනැ වැඩ කරවා ගත්තෙ, පොඩ්ඩ එහා මෙහා වෙනකොට ගෙදර යැව්වෙ, කොවිඩි වෙලාවෙ ආණ්ඩුව රට වහන්නෙ නැතිනම් අපි වහනවා කියලා තර්ජන කරපු ඔය ඊනියා ජනතාවම තමයි.

වැඩිපුර වගකීම ගත යුතු අය වැඩිපුර ගන්නට ඕනැ. ඒ අය අතර ආණ්ඩු විතරක් නෙමෙයි, ජවිපෙ, රජයේ වෘත්තීය සමිති, අන්තරේ වගේ අයත් ඉන්නවා.

ප.ලි.: එතකොට දූෂණය බලපෑවෙ නැද්ද? බලපෑවා. මුළු රටම දූෂිතයි. ප්‍රමාණයෙන් ගත්තාම වැඩියෙන්ම දූෂිත රාජ්‍ය අංශය. ලොකුම දූෂණ කරන්නෙ දේශපාලකයන් හා ඉහළ රාජ්‍ය නිලධාරීන්. සාමාන්‍ය ජනතාව දක්වාම මුළු රටම දූෂිතයි. රටම හොරු. හොරකම ආර්ථිකයේ ප්‍රධාන කොටසක්. ඒ නිසා ඒක ඊයෙ, අද වගේම හෙටත් පවතිනවා. අඩු කරගන්නට පුළුවන්.