StAR

ලෝක බැංකුව හා එක්සත් ජාතීන් වසර 15කදී ආපසු ලබාගත් සොරකම් කළ දේපළ ලංකාවේ එක් මසක ආනයන වියදමට වඩා අඩුයි

ලෝක බැංකුව සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) අතර හවුල්කාරිත්වයක් වන සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන (StAR) මුලපිරීම වසර 15 කට වැඩි කාලයක් මුළුල්ලේ ඩොලර් බිලියන 1.9කි. වැඩිම මුදල පිලිපීනයෙනි.
මේ සමස්ත මුදල ශ්‍රී ලංකාවේ සමස්ත මාසික ආනයන වියදමට ආසන්න මුදලක් පමණි.

වසර 15ක් තිස්සේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙතරම් මුදලක් වැය කළාද යන්න අප නොදන්නා අතර, එය මෙම ආපසු අය කරගත් මුදලට වඩා වැඩි විය හැකිය.

සොරාගත් ධනය ආපසු ලබාගැනීම අත්‍යවශ්‍යය. ඒ සඳහා මේ වන විටත් ශ්‍රී ලංකා රජය විසින් පනත් කෙටුම්පතක් සම්පාදනය කරමින් තිබේ. එය අප්‍රේල් මාසයේදී පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසා තිබේ.
සොරකම් කළ ධනය ආපසු ලබාගැනීමේ ජාත්‍යන්තර ක්‍රියාවලිය කෙතරම් දුෂ්කර එකක්ද යන්න පසුගිය අවුරුදු 15ක ඉතිහාසය විසින් ඔප්පු කර පෙන්වා තිබේ.

දේශීයව පවා සොරකම් කළ දේපළ ආපසු ලබාගැනීම පහසු නැත. යුක්තිය මෙහෙයුම අතර මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයා ගත් ධනය රාජසන්තක කිරීමට ගොස් පොලිසියට හා රජයට මූලික අයිතිවාසිකම් නඩු ද පැවරී තිබේ. දෙහිවල පැත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ යයි කියූ අනවසර ඉදිකිරීමක් කඩා ඉවත් කරද්දී එහි අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වූයේ සමාජයේ සම්භාවනීය පුරවැසියෝය. ඉන්පසු, දේපළ රාජසන්තක කිරීම් නතර වී ඇති බවක් පෙනේ.

සොරකම් කළ දේපළ ආපසු රැගෙන විත්, එයින් රට හදනවා යයි කියන අය එක්කෝ ලෝකය ගැන නොදන්නා බොළඳයෝය. නැතිනම්, ඔබ රවටන කපටින්ය. නැතිනම් මේ දෙකේ සංකලනයකි.

සොරකම් කළ ධනය ආපසු ලබාගත යුතුය. එහෙත්, ධනය සොරකම් කිරීම නැවැත්වීම ඊට වඩා වැදගත්ය. ඒ සඳහා නීති සම්පාදනය කළ යුතුය.