Nirmal Ranjith Dewasiri

සිංහල බෞද්ධයන්ට LTTE එක අරින සුපිරි ඇරිල්ල

– අජිත් පැරකුම් ජයසිංහ

සිංහල බෞද්ධයන් යනු මේ වන විට නායකත්වයක් නොමැතිව කිසියම් අන්දමකින් අතරමං වී සිටින පිරිසකි. එසේ වීමට එක හේතුවක් වන්නේ ඇමරිකාවේ අනුග්‍රහයෙන් බලයට ගෙන එන ලද රාජපක්ෂ පවුලේ ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ විසින් මහින්ද චින්තනයටත්, රාජපක්ෂ පවුලටත් කරන ලද මැදිහත් වීමයි. රට බංකොලොත් වීම කරා ඔවුන්ගේ දේශපාලනය යොමු කරගන්නට ඇමරිකාව එම ව්‍යාපෘතිය හරහා සමත් විය.

ඒ සමගම මහින්ද රාජපක්ෂගේ සිංහල බෞද්ධ නායකත්වය තියුණු අභියෝගයකට ලක් විය. නාමල් රාජපක්ෂගේ අනාගතය අඳුරු විය. සිංහල බෞද්ධයා නායකත්වයක් නොමැතිව අන්දුන් කුන්දුන් විය. ඔවුන්ට සපයාගත හැකිව තිබුණු විකල්පය රනිල්ය. එහෙත්, රනිල් දිරවා ගැනීමට තරම් සිංහලයාගේ බුද්ධි ජීර්ණ පද්ධතිය මෝරා නැත.

කෙසේ වෙතත්, සිංහල බෞද්ධයාගේ අනාගතය ඇත්තේ මහින්ද රාජපක්ෂගේ නායකත්වය වෙනුවට නවීන නායකත්වයක් පිළිගැනීමට ඔවුන් සූදානම් ද යන පදනම මතයි. එවැනි නායකත්වයන් දැනටමත් නිර්මාණය වෙමින් තිබේ. නම් වශයෙන්ම කියන්නේ නම්, ශෙහාන් සේමසිංහ, කංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැනි දේශපාලක තාත්තලාගේ පුතුන් පරපුරක් නිර්මාණය වෙමින් තිබේ. නාමල් රාජපක්ෂ මේ පරිණාමයෙන් මගහැරී ඇත. චම්පික රණවක මගහැරී පමණක් නොව, මංමුලා වී ද ඇත. විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි අය තවමත් එල්ලෙන්නට පිදුරු ගහක් සොයති.

මෙම අවධිය වනාහි සිංහල බෞද්ධයාට අතිශය දුෂ්කර සමයකි. රාජපක්ෂවරුන්ගෙන් ගැඹුරින් සලකුණු වූ සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි-දූෂිත-පසුගාමී ආධිපත්‍යය තවදුරටත් රැකගැනීම අතිශය දුෂ්කරය. සිංහල බෞද්ධ නායකත්වය අනිවාර්යයෙන්ම නවීන විය යුතුය. නවීන තරුණ නායකයන් බිහිකරගත යුතුය. ඒ සඳහා මෙම සංක්‍රාන්ති සමය භාවිතා කළ යුතුය.

සිංහල බෞද්ධයන්ට සිදු වූ මෙම අලකලංචියම 2009දී ඊලාම් දෙමළ ජනයාට ද සිදු විය. දෙමළ ඊලාම්වාදී නායකත්වය යුදමය වශයෙන් පරාජය කිරීමට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් සිංහල බෞද්ධයෝ සමත් වූහ. එහෙත්, යුද පරාජය ස්ථාවර කරන්නට අවශ්‍ය සාමය ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට රාජපක්ෂවාදී නායකත්වය අසමත් විය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයකින් දෙමළ අයිතිවාසිකම් තහවුරු කිරීමට අසමත් වූවා සේම රාජ්‍ය මූලික ආර්ථිකය ද අසාර්ථක විය.

එහෙත්, මේ වන විට දෙමළ ඊලාම්වාදීන් අලුත් වටයකින් ප්‍රති සංවිධානය වී තිබේ. කොටි සංවිධානයේ ශිෂ්‍ය අංශය හරහා පාර්ලිමේන්තුවට පැමිණි සෙල්වරාසා ගජේන්ද්‍රන් සිංහල ප්‍රදේශ හරහා තිලීපන්ගේ පිළිම අරගෙන පෙළපාලි යයි. කුමාර් පොන්නම්බලම්ගේ මුණුබුරා දැන් සිටින්නේ එල්ටීටීඊ ග්‍රහණයේය. ඔවුන්ගේ අභියෝගය විසින් සුමන්තිරන් දක්වාම දෙමළ දේශපාලකයන් පාලනය කර ඇත. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැරූ ප්‍රයත්නයට දෙමළ ජාතික සන්ධානය සහයෝගය නොදීම තේරුම් ගත යුත්තේ එතැනිනි. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා කඩාකප්පල් වීම දෙමළ ඊලාම්වාදයේ ජයග්‍රහණයකි.

අනෙක් පැත්තෙන්, මේ වන විට ක්‍රිස්තියානි ආගමික නායකත්වය ද එල්ටීටීඊ බලපෑමට දැඩි ලෙස ගොදුරු වී හමාරය. එක පැත්තකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය ද, අනෙක් පැත්තෙන් පාස්කු ප්‍රහාරයේ වගකීම මුස්ලිම් අන්තවාදීන්ගෙන් ගලවා සිංහල බෞද්ධයන් පිට පැටවීමේ කුමන්ත්‍රණය ද ක්‍රිස්තියානි ආගමික නායකත්වය කොටි ග්‍රහණය වෙත තල්ලු කිරීමට ඉවහල් විය.Awukana with robe

එසේම, මේ වන විට විශේෂයෙන්ම වෘත්තීය සමිති දේශපාලනය, වාමාංශික අන්තවාදී බලවේග හා ඊනියා රැඩිකල් කලාව තුළ දෙමළ ඩයස්පෝරා සල්ලිවලින් පාලනය වන විශාල බලපෑමක් තිබේ. අරගලයට එහි අති විශාල බලපෑමක් තිබිණි.

ඇමරිකා එක්සත් ජනපදයේ විදේශ සේවාව හරහා මතු වූ විකෘති බලවේගයක් වන ජුලී චං මැතිනියගේ තුන් අවුරුදු රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය ද දෙමළ ඊලාම්වාදී දේශපාලනයට වාසිදායකය.

මෙම බලවේග හා එම බලවේගවලට දැනුවත්ව හා නොදැනුවත්ව කඩේ යන ඊනියා රැඩිකලුන්, ඔවුන්ගේ කොඩි ගහ යට වැනි කලා නිර්මාණ ආදිය හරහා මේ වන විට රාජ්‍ය මාධ්‍ය දක්වාම සිය බලපෑම ව්‍යාප්ත කර හමාරය.

සෑම ආගමකම ආර්ථික පාර්ශ්වයක් තිබේ. පූජකයන්ගේ නඩත්තුව සඳහා වඩා ප්‍රයෝජනවත් වන්නේ අන්ධ, මුග්ධ භක්තිකයන් මිස සබුද්ධික, විචාරශීලීන් නොවේ.

ඕනෑම ආගමක මෙවැනි මුග්ධකම් සිදු වේ. ඒවා පාලනය කරන්නට නම්, ආගමික සංස්ථාවන් ආර්ථික වශයෙන් විධිමත් විය යුතුය.

මේ මොහොතේ ලංකාවේ සිදුවන්නේ මුග්ධ, අන්ධ භක්තික බෞද්ධයන් හැකි තරම් ඇන්දවීමයි. ඒ වෙනුවෙන් සේරිවාණිජ පරපුරේ දේශපාලන මහණුන් හා ඊනියා විචිත්‍ර ධර්ම කථිකයන්ගේ සිට ෆේස්බුක් කවියන් දක්වා බලවේග භාවිතා කරනු ලැබේ.

මෙහි ඊළඟ අදියර වන්නේ අසීරුවෙන් කළමනාකරණය කරගෙන යන ලංකාවේ ආර්ථිකය නැවත කඩා බිඳ දමා ලංකාව ලෙබනනයක්, වෙනිසියුලාවක්, සිම්බාබ්වේයක් බවට පත් කිරීමයි. එවැනි පසුබිමක ඊලමක් බිහි කරගැනීමේ ජනමත විචාරණයක් තල්ලු කරගැනීම දුෂ්කර නැත.

මේ යුගය යනු ඔබ කරන්නේ කුමක්ද යන්න ඔබට තේරුම් ගැනීම අතිශය අමාරු වකවානුවක් බව පමණක් කියමි.

සිංහල බෞද්ධ ආධිපත්‍යයේ සීමා ලංකාවේ ඉදිරි ගමනට බාධාකාරී වූ බව ඇත්තකි. එහෙත්, එයට විසඳුම ඊලාම්වාදය නොවේ. එසේම, සිංහල බෞද්ධ ප්‍රජාව සංස්කෘතික වශයෙන් විනාශ කිරීම ප්‍රගතිශීලී ක්‍රියාවක් නොවේ.

නිර්මාල් දේවසිරි සැබැවින්ම නියෝජනය කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීම අතිශය දේශපාලනිකය.

A post supporting insulting Buddhism.