Ajith Parakum

2024 මගේ දේශපාලනය

අජිත් පැරකුම් ජයසිංහ

අමාරු කාලෙ අපි රනිල්ට සපෝට් කළා. දැන් සිස්ටම් එක නැවත දුවනවා. මින් ඉදිරියට සපෝට් එක සිස්ටම් එකට විතරයි. නායකයෙකු විදියට රනිල්ට විතරක් රැස්පට්. රනිල් නියම නායකයකු බව ඔප්පු කළා. ඔහු තව වාරයකට සුදුස්සෙක්.

සිස්ටම් එක නැවත හැඩගැසිලා තියෙනවා. ඒ කියන්නෙ, ආදායම්, වියදම් දෙක තුලනය කරගෙන, පුළුවන් වුණොත් ණයකුත් අරගෙන, සංචාරකයන්ගෙන්, විදේශ ශ්‍රමිකයන්ගෙන් සල්ලි ටිකක් ගෙන්නගෙන මේ විදියට පරිස්සමින් දුවන්න පුළුවන්. වැඩිය ලොකු සෙල්ලං දාන්න බැහැ. සරලවම කිව්වොත්, මහ ලොකු නිෂ්පාදන ආර්ථිකයක් ලංකාවෙ හදන්න බැහැ.

ලංකාවට තිරසරව පැවතිය හැකි ක්‍රමයක් තියෙනවා. ඒක ඔය කියන සමාජවාදී ෆැන්ටසි නෙමෙයි. ඒ වගේම නව ලිබරල්වාදයත් නෙමෙයි. ලංකාවෙ මූලික ලක්ෂණ ටිකක් තියෙනවා. ඒවා ඉක්මනින් වෙනස් කරන්න බැහැ.

  1. ලංකාවෙ විශාල රජයක් තියෙනවා. ඒක පුංචි කරන එක ලේසි නැහැ. ඒ නිසා ඒක නඩත්තු කරන්න ඕනැ. ඒකට වැඩ කරන ජනතාවගෙන් බදු සූරාකන්න ඕනැ.
  2. ලංකාවෙ දේශපාලක පැළැන්තිය හා රාජ්‍ය නිලධාරීන්ගෙ පරමාදර්ශය මහජන මුදලින් අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් සැපට කන එක. ලංකාවෙ මහලොකු සකසුරුවම්, කාර්යක්ෂම රාජ්‍ය අංශයක් කවදාවත් ඇතිවෙන්නෙ නැහැ. දූෂණයෙ යම් පාලනයක් විතරයි ඇතිකරගන්න පුළුවන්.
  3. ලංකාවෙ ඉතා මිල අධික ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. ඒක පවත්වාගෙන යන්නම මැතිවරණ දෙපාර්තමේන්තුවේ සිට ස්වාධීන කොමිෂන් සභා දක්වාත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය සභාව දක්වාත් විශාල මහජන මුදල් නාස්තියක් අනිවාර්යයෙන්ම කරන්නට වෙනවා.
  4. ලංකාවෙ මහ ලොකු ආර්ථික සංවර්ධනයක් කරන්න බැහැ. කොහොම හරි මිට ගහගෙන යන එක තමයි හැමදාම කරන්න පුළුවන්. ඉන්දියාව දියුණු වෙනකොට ඒකෙ සයිඩ් එකෙන් එල්ලිලා යන එක තමයි අපට කරන්න පුළුවන්. තරග කරන්න යන එක කිසිම තේරුමක් නැහැ.
  5. රට ගොඩදාන්නය කියල අපරිමිත දුක් විඳින්න සූදානම් ජනතාවක් අපට නැහැ. එහෙම වෙන්න ඕනැත් නැහැ. එහෙම වෙලා වැඩකුත් නැහැ.

ඒ නිසා ආපහු ජනවාර්ගික යුද්ධ, පාස්කු ප්‍රහාර, ඊනියා අරගල වගේ මහා පරිමාණ කසිලි දාගන්නෙ නැතුව මේ විදියට ෂේප් එකේ යන එක තමයි කරන්න ඕනැ. මොන මගුල කළත්, අපට කලාපීය බලවතෙකුවත් වෙන්න බැහැ. ඕනැත් නැහැ. සතුටෙන් ඉන්න මිනිසුන් ඉන්න දූපතක් වුණාම ඇති.

ඒකට ඉතින් ඔය දැන් බරපතල අසහනයකින් පෙළෙන පිරිසටත් සතුටු වෙන්න පුළුවන් තත්වයක් ඇතිවෙන්න ඕනැ. මේ වෙලාවෙ නම් ඔය මාලිමාව වටේ එකතු වෙන අසහනකාරයන් පිරිසට සතුටු වෙන්නට පුළුවන් තත්වයක් ඡන්දෙට කලින් නිර්මාණය කර දෙන්න ඕනැ. ඡන්දෙන් ඔවුන්ට බලයක් ලැබෙන්නත් ඕනැ. පාලන බලය ලැබුණොත් නම් සොරි ඩොට් කොම් තමයි. එතකොට අර උතුරෙ බයිසිකල් එල්ටීටී බළල් පක්ෂෙ සහ ශානක්‍යන්, සුමන්තිරන්, දකුණෙ ධම්මික පෙරේරා, දිලිත් ජයවීර වගේ දැඩි උන්නතිකාමයෙන් හා සමාජ වෛරයෙන් මුසපත් වෙලා ඉන්න අසහනකාරයන් ටිකට මොනා හරි ‘බල’ සම්පන්න අරිෂ්ඨයක් බොන්න දෙන්න ඕනැ. හැබැයි ඔය ජනක රත්නායක වගේ අසහනකාරයන් ටිකක් ඉන්නවා, උන්ට නම් හුජ්ජ පනින්න ටොක්ක ගානෙ අනින්න ඕනැ.

මේ අවස්ථාවෙදි එක්සත් ජාතික පක්ෂය ෆීනික්ස් පක්ෂියා වගේ නැගිටලාය කියලා හීනයක් දකින බව පෙනෙන්නට තියෙනවා. මැතිවරණයක් පැවැත්වෙන තෙක් ඒ සිහිනය දකින්නට පුළුවන් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

අපට තේරෙන විදියට නම් එජාප කියන්නෙ රනිල්ගේ නායකත්වයෙන් බිහි වන සන්ධානයක නාමික පක්ෂයක් විතරයි. එජාප ගැන ලොකුවට නොසිතා, මේ වෙලාවේ ජාතික අවශ්‍යතාව ගැන හිතලා පුළුල් සන්ධානයක් හදාගත්තොත් රටට හොඳක් වෙයි.

රනිල් ජනාධිපතිවරණෙකට ආවොත්, රනිල්ට විතරක් ස්වේච්ඡාවෙන් සපෝට් එකක් දෙනවා. එහෙම නැතිනම් සිස්ටම් එක මේ විදියට පවත්වගෙන යන බව සිතිය හැකි වෙන කෙනෙකුට සපෝට් කරනවා. ආයෙ නම් අම්මෝ, 2022වල්, අරගල, විප්ලව නම් එපා. චිත්‍රපටිවලට, කතන්දරවලට, කොළඹ කවවල හවස රැස්වීම්වලට, බොනකොට බයිට්වලට විතරයි හොඳේ!