50%ට වැඩි හෝ 10%ට අඩු කතාවේ තේරුම

අජිත් පැරකුම් ජයසිංහ

තමන්ට ලැබෙන ඡන්ද එක්කෝ 10% අඩු හෝ 50%ට වැඩි බවට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කරනු ලබන ප්‍රකාශය යථාර්ථවාදී එකකි. එය අනෙක් පැත්තෙන් මහජනයාගෙන් කරනු ලබන ඉල්ලීමකි. හේතුව මෙයයි.

ජවිපෙ හෙවත් ජාතික ජන බලවේගයට එක්කෝ සම්පූර්ණ බලයක් අවශ්‍යය. නැතිනම්, රාජ්‍ය බලයට විශාල බලපෑමක් නොකර ස්වාධීනව පැවතිය හැකි බලයක් තිබීම ප්‍රමාණවත්ය.

මෙය අනෙක් පැත්තෙන් ජවිපෙ මහජනයාගෙන් කරනු ලබන ඉල්ලීමකි. එක්කෝ 50%කට වැඩි බලයක් දෙන්න. නැතිනම් මීට වඩා තව දෙතුන් දෙනෙකු පාර්ලිමේන්තුවට යවා ගත්තාම අපට ඇති යන්නයි.

50%කට වැඩි බලයක් ලැබුණොත්, විශේෂයෙන් විධායක ජනාධිපති බලය ලැබුණොත්, ජවිපෙට තමන්ට අනන්‍ය වෙනස්කම්වට මුල පිරිය හැකිය. 50%කට වැඩි බලයක් දුන්නා නම්, ජවිපෙ ප්‍රතිපත්ති අනුව රාජ්‍ය ප්‍රතිපත්ති හා ජන ජීවිතය හැඩගස්වා ගැනීමේ වගකීම ජනතාවට ද පැවරේ.

ඒ අනුව, දැන් කරගෙන යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හා ඒ සමග අනුගත ආර්ථික ප්‍රතිසංස්කරණ අත්හැර දැමීම කළ හැකිය. ගිවිසුම් වෙනස් කිරීම යනු කළ හැකි දෙයක් නොවේ. මන්ද, එය වනාහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම හෝ ණය මුදල පිළිබඳ කාරණයක් නොව රජයේ ආර්ථික කළමනාකරණය පිළිබඳ කාරණයකි. එනම්, රාජ්‍ය ආදායම් හා වියදම් තුලනය කරගැනීම හා ගත් ණය ආපසු ගෙවීම පිළිබඳ කාරණයකි.

එහි වෙනසක් සිදු කළහොත්, අනිවාර්යයෙන්ම ණය ප්‍රතිව්‍යූහගතකරණය අවුල් වී ලංකාව නැවතත් බංකොලොත් තත්වයට පත්වනු ඇත. එවිනට නැවතත්, ආර්ථිකය බිඳවැටෙනු ඇත. එවිට කංකෙඳිරි නොගා ආනයන මෙන්ම අපනයන ද සීමා වූ අසාර්ථක ආර්ථිකයක් සමග ජවිපෙ පාලනය පවත්වාගෙන යාමට හා ඒ සමග මුහුණ දෙන සෙසු අභියෝග හමුවේ ජවිපෙ විසින් කළ යුතුව තිබෙන මර්දනයට හවුල් වීමට අර 50%ට වැඩි පිරිසට වගකීමක් තිබේ. කුමන අලුත් මාර්ගයක් තෝරාගන්නවාද යන්න දැනට සිතා ගත නොහැකි කාරණයකි.

තත්වය එතරම්ම නරක නොවේ නම්, වත්මන් ආණ්ඩුව කරගෙන යන වැඩසටහන එසේම කරගෙන යන බව වෙන භාෂාවකින් ජවිපෙට කල්තබා කිව හැකිය. එය දැනටමත් විජිත හේරත් ආරම්භ කර තිබේ. එහෙත්, ජවිපෙ වැනි පක්ෂයකට එය එතරම් පහසු නැත. හේතුව, බදු අඩු කර, පඩි වැඩි කර, ණයත් නොගෙන, පෞද්ගලීකරණය කරන්නේත් නැතුව ලංකාවට ණය ආපසු ගෙවාගෙන ඉදිරියට යා නොහැකිය. නොගෙවූ බදුවලින්, සොරකම් කළ දේපළ ආපසු ලබාගැනීමෙන් ආර්ථිකය ගොඩගත හැකි යයි සිතීම මිථ්‍යාවකි. ඒ සඳහා ගත වන කාලය තුළ ආර්ථිකය පවත්වාගෙන යා යුතුය. ජවිපෙ පසුගිය ඉතිහාසයක් මුළුල්ලේ මේ කාරණා සම්බන්ධයෙන් ගැසූ කයිවාරු අත්හැර දමා එක පාරටම රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය ප්‍රතිපත්තියක් ලෙස වැළඳ ගැනීම ඔවුන්ගේ කාඩරය සහ ආධාරකරුවන් කෙසේ භාර ගනීවිද යන්න ප්‍රශ්නයකි.

කුමන තත්වයක් යටතේ වුව, ජවිපෙට බලය පවත්වාගෙන යාමට නම් ජනතාව මර්දනය කිරීම අනිවාර්ය වේ. රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් හිඟකම නිසා ඔවුන්ට එය තවත් දුෂ්කර වනු ඇත. 50%ට වැඩි ජන සහායක් ඔවුන්ට අත්‍යවශ්‍ය එම නිසාය. එය නිකම්ම 50%කට එහා ගිය සාමූහික වගකීමක් ද විය යුතුය.

10%ට අඩු බලයක් ජවිපෙට ලැබුණොත් මීට වඩා ලේසිය. ජවිපෙට ෂුවර් පිරිසක් පාර්ලිමේන්තුවට යවාගත හැකිය. අනෙකුත් සභාවල ද නියෝජනයක් ලබාගත හැකිය. දැනට කරගෙන යන පක්ෂ දේශපාලන බිස්නස් එක තව ටිකක් සරුවට කරගෙන යා හැකිය. ඒ අතර, ඕනැ පුපක් – අපි විරුද්ධයි හෙවත්, සිවිල් නිදහස සීමා වන ඕනෑම නීතියකට අප විරුද්ධයි කියන මූලධාර්මික ස්ථාවරය රැක ගනිමින් කාගේත් සුන්දරී හෙවත් කාගේත් හිත දිනාගත් අය බවට පත් වී යෙහෙන් වැජඹිය හැකිය.