cricket map

ශ්‍රී ලංකා ක්‍රිකට් හා සමාජවාදය

– අජිත් පැරකුම් ජයසිංහ

මේ පසුගිය දශකයේ ලංකා‍වේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් 42 බිහි වූ භූගෝලීය පදනම දැක්වෙන සිතියම. මේ සිතියම එක්ක ලංකාවේ ක්‍රිකට්වල ජාතික ස්වභාවය කුමක්ද කියා ප්‍රශ්න කළාම ජවිපෙ සාමාජිකයන් ඒක තේරුම් නොගෙන සුපුරුදු අන්දමින් නාකියා වැනි වචන කියමින් බැන වදිනවා. ෂම්මි ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආරක්ෂා කරන්නට ඔවුන්ට තිබෙන උවමනාව කුමක්ද යන්න මට තේරෙන්නෙ නැහැ. දැඩි අර්ජුන රණතුංග විරෝධයකින් කටයුතු කරන ඔවුන් එක්තරා කාලයක එක සන්ධානයකින් ඡන්ද ඉල්ලපු අය. ජවිපෙ ඡන්දවලින් 2015දී අර්ජුන කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බවටත් පත් වුණා. නලින්ද ජයතිස්ස විසි වුණා.

මේ සිතියමේ තියෙන අසාධාරණය මේකයි. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි වීමේ විභවය තවමත් තියෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ, තිඹිරිගස්යාය හා මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත්, මහනුවර නගරයේ හා ගාලු නගරයේත් පමණයි. ගම්පහ කොළඹට ආසන්න නිසා ගම්පහ ක්‍රීඩකයන් කොළඹට එනවා. කලුතර දිස්ත්‍රික්කයේ පානදුර තත්වයත් එයයි. කලුතර දිස්ත්‍රික්කයේ දකුණුදිග ප්‍රදේශවලින්වත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් බිහිවන්නේ නැහැ. හේතුව මොකක්ද?

හේතුව තමයි ටර්ෆ් හෙවත් තණතිලි සහිත ක්‍රීඩාංගන නැතිකම. මා දන්නා තරමින් එවැනි ක්‍රීඩාංගන තිබෙන්නේ කොළඹ නගරය, මොරටුව, මහනුවර, ගාල්ල වැනි ස්ථාන කීපයක පමණයි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනවල හැර මේ ප්‍රදේශවලින් බැහැර ටර්ෆ් විකට්ටුවක් ඇත්තේ එංගලන්තයේ සුනාමි ආධාර යටතේ ඉදි කරන ලද මග්ගොන සරේ ක්‍රීඩාංගනය වැනි ස්ථාන එකක දෙකක පමණයි. ඒවායේ අධික කුලී නිසා සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩකයන්ට, පාසල්වලට එහෙම ඒවා ලබාගැනීමේ හැකියාවක් නැති තරම්. ටර්ෆ් විකට් නැතුව කොහෙද වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් බිහිවෙන්නෙ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොතරම් සල්ලි හම්බ කළත්, ටර්ෆ් හදනවාද? ඒ වෙනුවට ඉඳහිට මැටිං මාකට් එක ප්‍රවර්ධනය කිරීම තමයි කරන්නෙ. පසුගිය අවුරුදු පනහ තුළ ලංකාවේ කලින් තිබුණු ටර්ෆ් විකට් පවා විනාශ වී තිබෙනවා. ඉතින් කොහොමද ගමට ක්‍රිකට් යන්නෙ?

හැබැයි, පාසල් ක්‍රිකට් සම්මේලනය කියන පාසල් ගුරුවරුන්ගේ හීනමාන සංගමය නොමිලේම පාවිච්චි කරමින් ක්‍රිකට් වෙළඳපොළ ප්‍රවර්ධනය කරගැනීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. මේ වෙනකොට 13න් පහළ සිට 19න් පහළ දක්වා ඩිවිෂන් වන් කියන ඇත්තටම ක්‍රිකට් ගැසීමේ යම් තේරුමක් ඇති පාසල්වලලට අමතරව එයට උත්සාහ කළ හැකි ඩිවිෂන් ටූ පාසල්වලටත් බැහැරින් ඩිවිෂන් ත්‍රී එක කොටස් දෙකකට කඩා පාසල් ක්‍රිකට් සම්මේලනය කිසිම තේරුමක් නැති ක්‍රීඩාවක් වෙනුවෙන් පාසල්, සිසුන් හා මව්පියන් නොමග යවනවා. හද්දා පිටිසර මැටිං එකක් එළාගත හැකි පිච් එකක් සහිත පිට්ටනියක්වත් නැති වැසිබර ප්‍රදේශවල දරුවනුත් ක්‍රිකට් ගහනවා යයි හිතාගෙන ඉන්නවා.

කෙසේ වෙතත්, පාසල් ක්‍රිකට් හරහා දැවැන්ත ක්‍රිකට් වෙළඳපොළක් නිර්මාණය කරගෙන තිබෙනවා. තමන්ගේ දරුවන්ගේ මෙන්ම තමන්ගේ ද ආසාවන් වෙනුවෙන් මව්පියන් ඉතා අසීරුවෙන් ක්‍රිකට් උපකරණ, ක්‍රීඩාංගන, කෝච්ලා, අම්පයර්ලා, ස්කෝරර්ලා වෙනුවෙන් දරාගත නොහැකි තරම් වියදම් දරනවා. ක්‍රිකට් ගහන දරුවකු වෙනුවෙන් මව්පියන් අවම වශයෙන් එක ක්‍රිකට් සීසන් එකක් වෙනුවෙන් රු. 100,000ක්වත් වැය කළ යුතුයි. පාසල් ඒ වෙනුවෙන් රු. මිලියන ගණනින් වැය කරනවා. එක මැච් එකක් වෙනුවෙන් පාසල් වැය කරන මුදල පාසල්වල මාසික විදුලි බිලටත් වඩා වැඩියි සමහර විට. මේ වෙනකොට පාසල්වලට විදුලි බිල ගෙවාගන්නට බැරුව කෙඳිරි ගෑවත්, ක්‍රිකට් බිල් ගෙවන්නට බැරි බව කවුරුවත් කියන්නෙ නැහැ නේද? එක මැච් එකක් ගහන්නට අවම වශයෙන් බෝල දෙකක් වැය වෙනවා. අඩුම මිල ක්‍රිකට් බෝලයකුත් රු. 1,500ක් පමණ වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ක්‍රිකට් නොමිලේ ප්‍රවර්ධනය කරගෙන තිබෙන්නේ පාසල් ක්‍රිකට් සම්මේලනය හරහායි. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රවර්ධනය කරන්නෙ ජෝසප් ස්ටාලින්ගේ හා මහින්ද ජයසිංහගේ ගුරුවරුන් සිටින පාසල් ක්‍රිකට් සම්මේලනයයි. මේ නිලධාරීන් බොහෝ දෙනෙකු අම්පයර්ලා ලෙස නිවාඩු දමා වැඩ කර සුළු ගතමනාවක් සොයාගන්නා අහිංසකයන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ඔවුන් වෙනුවෙන් ගුබ්බෑයම් කාමරයක් ලබාදී තිබෙනවා. ඉහළ නිලධාරීන්ට විදේශ චාරිකා වැනි කටු කෑලි ටිකක් විසි කරනවා. ඉඳහිට පාසල්වලට බෝල දෙකයි බැට්ටෙකයි වගේ සැනසිලි තෑග්ගක් දෙනවා. මේ ගුරුවරුන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පියන්ලාටත් සර්, මැඩම් කියමින් පාසල් ක්‍රිකට් ගහනවා. අහිංසක සිසුන් හා මව්පියන් නොමග යවනවා.

මේ සිතියම යට විශාල ක්‍රිකට් උපකරණ වෙළඳපොළක් තිබෙනවා. මේ ක්‍රිකට් උපකරණවල මිල ඉතා ඉහළයි. පාවිච්චි කරන්නට පුළුවන් ඉතා කෙටි කාලයයි. සියල්ලම ආනයනිකයි. ගම් මට්ටමේ ටර්ෆ් විකට් නැති වුණාට මේ උපකරණ විකුණන කඩ නම් තියෙනවා. තැරැව්කාරයන් ඉන්නවා.

මේ සිතියමෙන් අප කියවාගත යුතුව තිබෙන්නේ මේ කාරණයයි. ක්‍රිකට් කියන්නෙ දැවැන්ත විෂමතාවක් ස්ථාපිත වී තිබෙන ව්‍යූහයක්. යම් පරිපාලන ප්‍රතිසංස්කරණයකින් මේ අසාධාරණය අවම කරන්නට පුළුවන්. ඒත්, දුරු කරන්නට බැහැ. සැබෑ ක්‍රිකට් ධනවතුන්ගේ ක්‍රීඩාවක්. ඒ වෙනුවෙන් මහජන මුදල් වැය කිරීමේ කිසිම තේරුමක් නැහැ. විශේෂයෙන්ම පාසල්වල පොදු සම්පත් ඒ වෙනුවෙන් වැය නොකළ යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යූහගත කර පාසල් ක්‍රිකට් ද සමග ඔවුන්ට භාර දිය යුතුයි. දැනට පවතින පාසල් ක්‍රිකට් සම්මේලනය ද ප්‍රතිව්‍යූහගත කළ යුතුයි. පාසල් ක්‍රිකට් ද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයටම භාර දිය යුතුයි.

දුප්පතුන්ට තියෙන්නේ සැහැල්ලු පන්දු ක්‍රිකට්. ඒකත් ක්‍රීඩාවක් විදියට ඇති වැඩක් නැහැ. ක්‍රීඩාශීලීත්වයෙන් ඉහළ වොලිබෝල්, ෆුට්බෝල්, කබඩි, බාස්කට් බෝල්, බැඩ්මින්ටන් පමණක් නොවෙයි, ධනවතුන්ගේ යයි කියන ටෙනිස් ක්‍රීඩාව පවා ක්‍රිකට්වලට වඩා පහසුවෙන් ප්‍රවර්ධනය කළ හැකියි.

ක්‍රීඩාවේත් සමාජවාදයක් තියෙනවා. සමාජවාදය කියන්නෙ ජීවන විලාසයක්. මෝඩකම අයිතිවාසිකමක් නොවේ.