Diana Gamage

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම්

අජිත් පැරකුම්

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් තුන්දෙනාම එක වගේ. මේ තුන් දෙනාම විදේශ රටක පුරවැසිභාවය ගත්තාට පස්සෙ අහිමි වුණ ලාංකීය පුරවැසිභාවය නැවත ලබා නොගත් නිසා ප්‍රශ්නවලට මුහුණ දුන් අය. මෙවැනි තවත් අය ලංකාවේ ඇති.

යම් කිසි කෙනෙකු ස්වකැමැත්තෙන් විදේශ රටක පුරවැසිභාවය ලබාගත්තාම ලංකාවේ පුරවැසි පනතේ 20(5) වගන්තිය අනුව මෙරට පුරවැසිභාවය ඉබේම අහිමි වෙනවා. නැවත ද්විත්ව පුරවැසිභාවයට අයදුම් කරලා නියමිත ගාස්තු ගෙවා එය ලබාගත යුතුයි. ඒත්, විදේශ පුරවැසිභාවය ලබාගත් රට එම ලාංකිකයා එරට පුරවැසිභාවය ලබාගත් බව මෙරටට නිල වශයෙන් දැනුම් දෙන ක්‍රමවේදයක් නොමැති නිසා ලංකාවට එය දැනගන්නට හැකියාවක් නැහැ.

ඒ නිසා බොහෝ අය ලංකාවේ පාස්පෝට් එක, හැඳුනුම්පත ආදිය පෙර පරිදිම භාවිතා කරමින් ලාංකික පුරවැසියන් ලෙස කටයුතු කරනවා. මෙවැනි අය වගකීම් සහිත පුරවැසියන් නෙමෙයි.

ඇමරිකානු පුරවැසියකු වී සිටි ගෝඨාභය රාජපක්ෂ අයියාගේ ලොකුකම නිසා ලංකාවේ පුරවැසිකම නොගත් බව පෙනෙන කෙනෙක්. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට ගිය වෙලාවේ ඔහුට අධිකරණයෙන් සහන ලැබුණා. ඒත්, ඔහු ලංකාවේ පුරවැසිකම ලබාගත් බවට සාක්කි නැහැ.

කුමාර් ගුනරත්නම් ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම ලබාගත්තේ නොයෙල් මුදලිගේ යන නමින්. ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට ආපු නොයෙල් මුදලිගේ ආපහු ගිහින් නැහැ. ඔහුට ආගමන හා විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබෙනවා. පසුව කුමාර් ගුනරත්නම් යනුවෙන් ලංකාවේ සිටි පුද්ගලයා නැවත ලංකාවේ පුරවැසිභාවය ලබාගත් බව වාර්තා වුණා. ලංකාවේ පුරවැසිභාවය අහිමි වූ කෙනෙකුට පුරවැසි පනතේ 8 වගන්තිය අනුව ඇමතිවරයාගේ ප්‍රකාශයක් මත පුරවැසිභාවය නැවත ලබාගත හැකියි. ගුනරත්නම් යම්කිසි වංගුවක් ගසා එය ලබාගෙන තිබෙන බව පෙනෙනවා. ඒ නීතිමය ගැටලුවත් සම්පූර්ණයෙන් විසඳුණු එකක් නෙමෙයි. අමතක කර දැමූ එකක්. ඔහුටත් ලංකාව සහනයක් දීලා තියෙනවා. මේ ගැන විශේෂයෙන් සඳහන් කරන්නේ අනෙක් අයට හොරුන් යයි කියන මේ ඊනියා සුද්දවන්තයන් පුරවැසිභාවයටත් වංචා කර ඇති බව පෙන්වා දීමටයි.

ඩයනා ගමගේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයත් සංකීර්ණයි. ඇය ලාංකීය පුරවැසිකම ලබාගෙන නැති නම් දැන් ඉතින් කළ යුතු වන්නේ කුමක්ද? ඇය ලංකාවට පැමිණ මෙහි රැඳී සිටි බ්‍රිතාන්‍ය පුරවැසියකු නම්, දැන් කළ යුතුව තිබෙන්නේ ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ආපසු බ්‍රිතාන්‍යයට යැවීමයි. එවැනි බරපතල උල්ලංඝනයන් සිදු කළ අයට ලංකාව වීසා හෝ නිකුත් කළ යුතු නැහැ.

ගෝඨාභය රාජපක්ෂ හෝ කුමාර් ගුනරත්නම් සම්බන්ධයෙන් ලංකාව එහෙම කළේ නැහැ. ඩයනාට එහෙම කරමුද? කෙසේ වෙතත්, පුරවැසිභාවය සම්බන්ධයෙන් වංචනික ලෙස කටයුතු කළ මෙවැනි පුද්ගලයන් කිසි සේත්ම විශ්වාස නොකළ යුතු අය බවයි මගේ නම් අදහස. ඒ අයමත් ඒ බව නැවත ඔප්පු කර තිබෙනවා.

විදේශිකයකු විසින් ලංකාවේ දේශපාලන පක්ෂයකුත් ලියාපදිංචි කරලා. අපේ ජාතික පෙරමුණ නම් එම පක්ෂය පසුව සමගි ජන බලවේගය ලෙස යළි නම් කරනවා. ඩයනාත් ඇගේ සැමියාත් අපේ ජාතික පෙරමුණේ තනතුරුවලින් ඉල්ලා අස් වූ බව කියනවා. දේශපාලන පක්ෂ කියන්නෙ ලංකාවේ ද්විතීය වෙළඳපොළේ අලෙවි වන සමාගම් වැනි ජාතියක්. ඩයනා කළ ‘පරිත්‍යාගය’ වෙනුවෙන් ඇයට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් ලැබෙනවා.

වර්තමාන විපක්ෂ නායකවරයා නියෝජනය කරන්නෙ ඒ පක්ෂය. ඩයනා පාර්ලිමේන්තු ආවෙත් ඒ පක්ෂෙ ජාතික ලැයිස්තුවෙන්. මේ පක්ෂයේ නීතිමය තත්වය කවුරු හෝ අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්නට ඉඩ තියෙනවා. ඒක විසඳන්නට කාලයක් යයි.