cyril gamini

පාස්කු ප්‍රහාරයේ දේශපාලනය අද කොතැනද?

අජිත් පැරකුම් ජයසිංහ

අනුර සිංහල බෞද්ධ ගොවිගම. මේ රටේ ඡන්ද දායකයන්ගෙන් අති බහුතරය එහෙම අය. පාස්කු ප්‍රහාරය එල්ල කළේ ආගමික අන්තවාදීන් පිරිසක්. ඒ වගේ කුරිරු ප්‍රහාරයක් එල්ල කරන්නට තරම් හේතුවක් ලංකාවේ මුස්ලිමුන්ට තිබුණෙ නැහැ. ඒක තනිකර ආන්තික ත්‍රස්තවාදයක්.

ඒක ගැන ලැබුණු තොරතුරු පාලකයන් හා ආරක්ෂක අංශ එතරම් සීරියස් අරගෙන නැහැ. ඔය දැන් කයිවාරු ගහන වැඩිදෙනෙකු ඔය වගේ කුරිරු ප්‍රහාරයක් අනුමාන කළේ නැහැ. අඩු තරමෙ ඥානසාර හිමිවත් එහෙම අනුමාන කළේ නැහැ. අකාර්යක්ෂමතාව වෙනම දෙයක්. හැබැයි, සිරිසේනගේ සිට නිලන්ත ජයවර්ධන දක්වා මහමොළකරුවන් නෙමෙයි. රාජපක්ෂලා ඒ කාලෙ බලයෙ හිටියෙවත් නැහැ.

දැන් සිදු වෙන්නෙ වෙන ගේමක්. දැන් පාස්කු ප්‍රහාරයෙන් දේශපාලනය කරන අය ඒ සම්බන්ධයෙන් ත්‍රස්තවාදීන්ට එරෙහිව පවරා තිබෙන නඩු ගැන අවධානයක් නැහැ. ඒකෙම කොටසක් වන මාවනැල්ල බුදු පිළිම කැඩීමට සම්බන්ධ වැරදිකරුවන් අත්හිටවූ සිරදඬුවම් ලබලා නිදහස්ව ගියා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය පොලීසියට වසන් කළ බවට චෝදනා කරමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වූ මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන අයගේ පියා වන ප්‍රකට කුළුබඩු ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා තිබෙනවා. වසර තුනක් අත්අඩංගුවේ තබාගැනීමෙන් පසු සෞඛ්‍ය හේතු මත 2022 මැයි 25දි කොළඹ මහාධිකරණය විසින් ඇප ලබා දුන්නා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සියල්ල දන්නා බව පෙන්වන සිරිල් ගාමිණී පියනම ඊයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවේ පට්ට පල් බොරුවක්.

ජවිපෙ හමු වීමෙන් පසුව, ඒ ගැන කතා කරමින්, එම පියනම පැවසුවේ ඊබ්‍රාහිම් වැරදි කර ඇත්නම් විමර්ශනය කර දඬුවම් කරන ලෙසයි. එවැන්නක් සිදු වී නැති බව ඔහු පැවසුවා.

මේවා ඉතා පැහැදිලිව මහජනයා කුපිත කිරීමේ අරමුණින් නොමග යවන ප්‍රකාශ.

පාස්කු ප්‍රහාරය පසුපස දැන් තියෙන්නෙ වෙන දේශපාලන ගේමක්. ඒක ඇත්තටම එල්ල කරපු බවට, ඒකට සම්බන්ධ වුණ බවට, අරමුදල් සම්පාදනය කරපු බවට චෝදනා ලද පිරිස් නිදහස් කරන්නට දැන් වින්දිතයන් නියෝජනය කරනවාය කියන පිරිස් අධිකරණයට අනියමින් බලපෑම් කරන මට්ටමට පවා ගිහින්. ලෝගු ඇඳගෙන උසාවිවල පිරිලා පෙන්නන්නෙ සාධාරණ විභාගවලට බලපෑම් කරන්න. තව ගොඩක් දේ තිරය පසුපස සිදු වෙනවා.

හැබැයි, මේකට සිංහල බෞද්ධ ගොවිගම නායකයකු පටලවා එල්ලා මරන එක තමයි දැන් සිදුවෙන දේශපාලනයේ මූලික අරමුණ. ඇයි ඒ?

මේ රටේ ජනගහන බහුතරය සිංහල බෞද්ධ ගොවිගම. හොඳ හෝ නරක හෝ වේවා, ලංකාව මේ විදියට හැදුවෙ මේ ප්‍රජාවගේ රාජ්‍ය ආධිපත්‍යය විසින්. ඒකට තරගකාරී වන අනන්‍යතා දේශපාලන කණ්ඩායම්වලට ඒ බලයට අභියෝග කිරීමේ හැකියාවක් නැහැ. ඒකට මූලික හේතුව තමයි, ඒකාබද්ධ වෙන්නට තියෙන පදනම වෛරය හා ඉරිසියාව පමණක් වීම. බලමුළු ගන්වලා කඩාකප්පල්කාරීත්වයට යොමු කරන්නට පුළුවන්. හැබැයි, කිසිදු සාධනීය වෙනසක් කරන්නට බැහැ. ඒක තමයි, 2022 ඊනියා අරගලය විසින් ඔප්පු කරලා පෙන්නුවේ. අරගලයෙන් පසුව පවා ඒ බලවේගයට එක පදනමකින් එකතු වෙන්නට බැහැ. කිසිදු සාධනීය විකල්ප යෝජනාවකුත් නැහැ.

මේ දේශපාලනය අප තේරුම් ගත යුතුයි. අලුතෙන්ම මේ හිඟන තුවාලෙ සැරව ගඳ ආඝ්‍රාණය කරලා ආකර්ශනය වූ පිරිස තමයි ජවිපෙ. ඔවුන් හැම දේම කරන්නෙ ගෝඨාභය අනුකරණය කරමින් බව පෙනෙනවා. ගෝඨාභයට වූ දේ ඔවුන්ට නොවෙන්නට හේතු මොනවාද කියන එක හෝ ඔවුන් ගැඹුරින් සිතිය යුතුයි.