AT Ariyarathna

දෙල්ගහයටගෙදර විප්ලවය කුමක්ද?

දර්ශන කාහිංගල

ලංකාවේ දැවැන්තම එන්ජීඕව හැටියට හඳුනා ගන්නේ සර්වෝදය. සර්වෝදය නිර්මාතෘ ඒ.ටී.ආරියරත්තගේ අවසන් කටයුතු අද හවස රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරෙනවා.

NGO (Non-Governmental Organizations) හඳුන්වන්න සිංහලෙන් බොහෝ විට යොදන්නේ වැරදි වචනයක්. ‘රාජ්‍ය විරෝධී’, ‘රාජ්‍යයෙන් පිටත’ වගේ අදහසක් දෙන ‘රාජ්‍ය නොවන සංවිධාන’ කියන වචනය වෙනුවට ‘ආණ්ඩුවේ නොවන ආයතන’ කියන වචනය වඩාත් සුදුසු වෙිවි.

ඇත්තම කතාව මේ NGO කියලා කියන්නේ රාජ්‍යයේ ම දිගුවක්.

අපබ්‍රංසය මම මෙහෙම පැහැදිලි කරන්න ට්‍රයි කරන්නම්.

‘ලිබරල් රාජ්‍යය’ කියන්නේ දිගින් දිගටම සංවර්ධනය වෙමින් පවතින්නක්. රාජ්‍යය කියන්නේම අපේ පංචේන්ද්‍රියන්ට අල්ල ගන්න බැරි බල ව්‍යුහයක්.හරියට ‘දෙවියන් වහන්සේ’ / ‘කර්මය’/ ‘විඥානය’ වගේ කියල හිතමු. ඒකෙ බලය ප්‍රැක්ටිස් කරන්න අපි පිහිටුව ගන්න ආයතනය තමයි ආණ්ඩුව. ආණ්ඩුවට ඇතුළත් වෙන ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය, විදේශ සේවය, රාජ්‍ය පරිපාලනය වගේ ආයතන දුවන්නේ ඒවාට පත් වෙන මිනිස්සු මගින්. ඒ මිනිස්සුන්ට අනික් මිනිස්සුන්ට වඩා විශේෂ බලයක් ලැබෙනවා. ඒත් ඒ බලය තනිකර එක කට්ටියකට අයිති එකක් නෙවෙයි. ඒවා අත්තනෝමතිකව, අනිසි විදියට පාවිච්චි වීමෙන් විශේෂයෙන්ම වෙළඳපොළ අවුල් වෙන්නත්, බිඳ වැටෙන්නත් පුළුවන්. එහෙම වුනොත් ඒ මුළු සමාජයම බිඳවැටෙනවා.

මේක වළක්වන්න, පාලනය කරන්න විවිධ උපක්‍රම යොදා ගන්නවා. ඉන් ප්‍රධාන එකක් තමයි මේ කියන ආණ්ඩුවේ නොවන ආයතන හෙවත් NGO.

හැම සමාජයකම වගේ මොකක් හෝ හේතුවක් නිසා අනිත් අයගේ උදව් අවශ්‍ය කරන දුර්වල නැත්නම් පීඩාවට, කොන් කිරීමට ලක් වූ කට්ටිය ඉන්නවා; විශේෂයෙන්ම වෙළඳපොළට සාමාන්‍ය විදිහට ගොඩ වෙන්න, පවතින්න බැරි නැත්නම් අමාරු අය. ඔවුන්ට සහන සැලසීම ආණ්ඩුවක් හරහා කරන්න ගියොත්, වෙළඳපොළත්, පුද්ගලික පුද්ගලයාත්, මුළු සමාජයමත් අවුල් වෙන්න හෝ බිඳ වැටෙන්න ඉඩ තියෙනවා. කේන්සියානු අත්දැකීම් යටතේ අපි මෙහෙම නරක ප්‍රතිඵලත් අත්විඳලා තියෙනවා. මේ නිසා ලිබරල්වාදය, ආණ්ඩුවට පිටතින් ඒ වැඩේට වෙනම ම ආයතන ව්‍යුහයක් යෝජනා කරනවා.ඒ තමයි NGO.

ඒ කියන්නේ NGO කියලා කියන්නේ රාජ්‍යයේ ම දිගුවක් මිස ඒකට පිටතින් කෝ ඒකට විරුද්ධ දෙයක් නෙවෙයි.

ආණ්ඩුවක් විසින් බලය අනිසි ලෙස අයුතු ලෙස පාවිච්චි කරනකොට, ඒකට ප්‍රතිරෝධය දක්වන්නත් ජනතාවට NGO අවශ්‍ය වෙනවා. මේ නිසාත් සංවිධානාත්මක පුරවැසියෙකුට අත්‍යවශ්‍ය මෙවලමක් NGO.

ලංකාවේ සමාජය තවමත් පුරවැසි සමාජයක් විදියට සංවර්ධිතව ගොඩනැගිලා නෑ. ඒ සංවර්ධනය අත්පත් කර ගැනීම පැත්තෙන් NGOවලින් වැඩක් වෙලා තියෙනව ද ?

ලංකාවේ සර්වෝදය ගොඩනැගෙන්නේ ඉන්දියාවේ සර්වෝදය ව්‍යාපාරය ආභාෂයෙන්. ඉන්දියානු සර්වෝදය ව්‍යාපාරය ගොඩනැගෙන්නේ ගාන්ධියානු ආභාෂයෙන්. මහත්මා ගාන්ධිගේ ප්‍රධානම අනුප්‍රාප්තිකයා හැටියට සැලකෙන විනෝබා භාවේ එහි මූලිකයා වුණා. ඔවුන්ගේ ප්‍රධානතම ව්‍යාපෘතිය වුණේ භූදාන් ව්‍යාපාරයයි.දැවැන්ත ඉඩම් හිමි සමින්දාර්වරුන්ගෙන් දිළිඳු ගොවීන්ට ඉඩම් පරිත්‍යාග කරන ලෙස එමගින් ඉල්ලා සිටියා.

‘මානව අවකාශ’ කණ්ඩායම සංවිධානය කරපු වෙනත් දේශනයකදී සුනිල් විජේසිරිවර්ධන ඉදිරිපත් කරපු විවේචනයක් මේ මොහොතට වැදගත් වේවි. .

“….ගැටුම ස්වභාවිකයි; භේද/ප්‍රචණ්ඩත්වය අපි හදාගත්ත ඒවා. ඒවා අපිට වෙනස් කරගන්න අවස්ථාවන් තියෙනව. ජොහාන් ගල්තුන් ගැටුම විස්තර කළේ ත්‍රිකෝණයකින්. ත්‍රිකෝණයකට දාපු ගමන්ම එකිනෙක කරුණු අතර අන්තර් සම්බන්ධයක් පෙන්නුම් කරන්න ගන්නවා. මුල් ත්‍රිකෝණය ඇසුරෙන් දෙවන ත්‍රිකෝණයකුත් ගොඩනැගෙනවා.එළියට පේන කතෘකයෙක් ගල්තුන් එතනදී චර්යාව කියලා නම් කරනවා. සමාජමය, ආර්ථිකමය, දේශපාලනමය ව්‍යුහයන් ඇතුළත් වූ ව්‍යුහාත්මක මානය මෙතැන ඉතාම ගැඹුරුම මානය වෙනවා. මනුෂ්‍යයා නිර්මාණය කරගත් භේද ගොඩනැගෙන්නේ මෙතන. සංස්කෘතික මානය මට අනූව අංග හතක් ඇතුළත්. සන්නිවේදනයට පාවිච්චි කරන සංඥා පද්ධතිය ඇතුළත් භාෂාව එකක්. විශ්වාස පද්ධතිය,සෞන්දර්ය පරිකල්පනය, අපේ චර්යාවන් වගේ තවත් අංග ඇතුලත්.

මේ මාන දෙක හරිම අන්‍යොන්‍යයි. නිදසුනක් හැටියට කුලභේදය ගත්තොත් ඒක භාෂාව ඇතුලෙන් යළි කියවෙනවා; මතුවෙනවා;පවතිනවා. හොඳ ආණ්ඩුවක් ගෙනල්ලා පනතකින් කුල භේදය තහනම් කළා කියලා ඒක නැති වෙන්නේ නෑ.හේතුව ඒක තියෙන්නේ අභ්‍යන්තරයේ;එළියේ නෙවෙයි. කතෘකයා වෙනස් කරන්න නම් පාදම වෙනස් කරන්න ඕන.

ශාන්තිවාදියෙක් හැටියට හඳුන්වන ගාන්ධි පවා කියනවා ‘ගැටුම වෙස් වලාගත් ආශිර්වාදයක්’ කියල. හින්දු දහම තුළ එන කුලභේදය වෙනස් විදියකට කියවා ගැනීම තුළින් නැති කළ හැකි යයි ඔහු විශ්වාස කළා. කුල භේදය ඇතුලත් සංස්කෘතිකමානය තනිව ගැනීමයි ඔහු මෙතන කරන වරද. ඔහු කුලභේදය අනුමත කළා නෙමෙයි.

ගාන්ධි ඝාතනයෙන් පස්සේ ගාන්ධියානු ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන භූදාන් ඇතුළු ඉන්දියානු සර්වෝදය ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් කරන්නේ මහා ඉඩම් හිමියන්ගේ කාරුණික හදවතට ආයාචනා කිරීමයි. ඒක නරක වැඩක් නොවුනත්, ඉඩම් අහිමි ගොවි ප්‍රශ්නය, කුලභේදය වගේ ගැඹුරු ව්‍යුහාත්මක පදනම් එක්ක තියෙන අනිවාර්ය ගැඹුරු අන්තර් සම්බන්ධය ඔවුන්ට මගහැරෙනවා. භූදාන් හරහා යම් ඉඩම් ප්‍රමාණයක් නොලැබෙනවා නෙවෙයි. ඒත් නීතිමය ප්‍රශ්න වගේ තවත් ප්‍රශ්න ගණනාවක් නිසා දුප්පත් ගොවියන්ට ඇත්තටම ලැබිලා තිබුණේ ඉඩම් වලින් 20%ක් විතර වගේ. එනිසා මේක අසාර්ථක වෙලා, 60 ගණන් වෙද්දී ඉන්දියානු සර්වෝදය අභාවයට පත් වෙනවා.

ලංකාවේ ගැටුම එනකොට ලංකාවේ සර්වෝදය වැඩ කෙරුවෙත් ශාන්තිවාදී ස්ථාවරයක. ගල්තුන්ට අනූව ‘මෘදු ජාතිකවාදීන්’ (Soft Nationalists) හැටියට.

ලංකාවේ සාම ව්‍යාපාරයේ ප්‍රවණතා දෙකක්. අයිතීන් කණ්ඩායම් හැටියට මම හඳුන්වන කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය යොමු වෙලා තිබුණේ දෙමළ ජනතාවට සාධාරණ විසඳුමක් ලබාදීම පැත්තෙන්.ඒත් අනිත් පැත්තේ හිටපු ජාතිකවාදීන්ට මේ තත්වය ඒත්තු ගැන්වීමට ඔවුන් අසමත් වුණා. අනික් ප්‍රවණතාවය ආගමික කණ්ඩායම. සර්වෝදය හිටියෙත් එතන.ඔවුන් කිසිම විටෙක ව්‍යුහාත්මක පදනමට ආමන්ත්‍රණය කළේ නෑ. තමන් හොඳ වැඩක් කරනවා කියන එක විතරයි පදනම වුණේ. මේ නිසා ඔවුන් ජාතිකවාදීන් එක්ක වුණත් එකතුයි. මේ අනුව සාම ව්‍යාපාරය දෙකඩ වෙච්ච එකක් “

මේ අනුව සුනිල් විජේසිරිවර්ධන පෙන්නල දෙනවා ඉන්දියාවේ සර්වෝදය වගේම ලංකාවේ සර්වෝදයත් පුද්ගලයා සහ සමාජය වෙනස් කිරීමට අසමත් වන බව.

‘දෙල්ගහ යට ගෙදර විප්ලවය’ පොත කියන විදියට ඉන්දියවේ දී විනෝබේ භාවේ ආරියරත්නට යෝජනා කරනවා බෞද්ධ මූලික වැඩපිලිවෙලක්. එයා දොස් කියනවා “ධම්මපදය නිතරම අතේ තියෙන්න ඕන” කියලා. ආරියරත්න කියන්නේ “කටපාඩමින් වුණත් කියතෑකි” කියලා. භූදාන් ව්‍යාපාරයේ ලංකාවේදී ක්‍රියාවට නගන්නැයි විනෝබාභාවේ කරපු ඉල්ලීම නම්, ආරියරත්න විසින් ප්‍රතික්ෂේප කරන්නේ, තම අරමුණ ඉඩම් දීම නොව මිනිසුන් හැදීම බව කියමින්. ඒත් විනෝබා ජන සහභාගිත්වය ලබාගත් විදියත්, පරිත්‍යාගය සඳහා පොළඹවා ගත් විදියත් ඔහු ‘සියුම් ලෙස අධ්‍යයනය කළ බව’ මේ පොත කියනවා.

ලංකාවට සාපේක්ෂව ඉන්දියාවේ පුරවැසි සමාජය පළල් සහ ශක්තිමත් බව මගේ නිරීක්ෂණයයි. ඒත් දියුණු ධනේශ්වර කලාපයට සාපේක්ෂව ඒකත් ඉතාම දිළිඳු තත්වයක්. ඒ වැඩේට NGO දායකත්වය අදාල කරල බැලුවාම ආයෙමත් ලංකාව තියෙන්නේ සෑහෙන්න පස්සෙන්.

ඒකට හේතුව දෘෂ්ටිවාදීමය සීමා කියල ම මට හිතෙන්නේ නෑ. කොහොමටත් ලංකාවේ දී දෘෂ්ටිවාදය ඉන්දියාවේ තරම්වත් සීරියස් නෑ කියලත් මට හිතෙනවා.

සර්වෝදය ඇතුළේ වුණත් පවුල් සහ දේපළ සම්බන්ධතා ගත්තාම පෙනී යන්නේ අඩුම වශයෙන් ඔය ප්‍රකාශිත යම් දෘෂ්ටිවාදයක්වත් නොවෙයි. ඒක අනිත් NGO වලටත් බොහෝ දුරට පොදු කරුණක්. සමූපකාර ව්‍යාපෘති ඇතුළු අනෙක් හැම ආයතනයකටම මේක අදාලයි. ආණ්ඩුමය ආයතන ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.

ඒ අනුව ලංකාවේදී ආණ්ඩුවටත් වඩා NGO අසාර්ථකයි.

කොහෙද එතකොට තමන්ට ජීවිතයක් දිනා ගැනීම සඳහා සංවිධානය වෙන්නේ? එහෙම තැන් නැතුව තනි පුද්ගලයෙක් හැටියට ගොඩනැගෙන්නේ කොහොමද ?

අලුත් ප්‍රති ත්‍රස්ත පනතටත් විරුද්ධ උනත්, ඒක ගේනවට මම ආසයි කියලා වතාවක් මම කිව්වා. දැන් තියෙන ත්‍රස්ත පනත සුළුතර පීඩිත ජාතීන් විතරක් ඉලක්ක කරගත්තක්. ඒ වෙනුවට මේ ප්‍රතිත්‍රස්ත මගින් වින්දිතයා වීමේ අවස්ථාව කාටත් බෙදා දෙනවා. එවැනි පනතකට පක්ෂපාතීත්වය දැක්වීම හෝ ඒ ඉදිරියේ නිෂ්ක්‍රීයව සිටීම තවදුරටත් තමන්ට කරන්න පුළුවන්ද කියන එක ගැන හැම කෙනෙකුටම වගේ උත්තර දෙන්න සිද්ද වෙනවා.ඒක සිවිල් සමාජයක වර්ධනයට හොඳ අවස්ථාවක්

ඒත් සාමාන්‍යයෙන් මෙහෙම වෙලාවක වෙන්නේ මොකක්ද? මේවා සම්බන්ධයෙන් හයියක් තියෙන එක්තරා ප්‍රභූ පිරිසක්, අධිකරණයට වනවා; වෙනත් බලගතු ජාත්‍යන්තර කණ්ඩායම්වල උදව් ගන්නවා; ඒ පනත් කෙටුම්පත පරාජය කරනවා. වැඩේ නරක නෑ. හැබැයි සමාජයක් ගොඩනැගෙන්නෙත් නෑ.

අද ‘රාජ්‍ය නොවන සංවිධාන’ පොරකගේ අවසන් කටයුතු, රාජ්‍ය ගෞරව සහිතව සිදුවෙද්දී, තීන්දු ගන්න,තමන්ගේ ඉරණම තමන්ගේ අතට ගන්න හයිය තියෙන පොරවල් බවට අපි කවුරුත් පත් වෙන්නේ කොහොමද කියන අභියෝගාත්මක ප්‍රශ්නයත් කතාබහට ගමු.

එහෙම ශක්තිමත් පුද්ගලයෙක් නැතුව සමාජයක්වත්, සමාජයක් නැතුව රාජ්‍යයක්වත් ගොඩනැගෙන්නේවත්, පවතින්නේවත් නැති බව අමතක නොකරමු.

(ආරියරත්න ගේ ලිපිය කියවන විනෝබා භාවේ පින්තූරය ⁣’දෙල්ගහ යට ගෙදර විප්ලවය’ පොතෙන් )