Selvaraja Gajendran

තිලීපන් සැමරීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව, දෙමළ ජාතිවාදය හා ආරක්ෂාව

යාපනයේ වැසියකු වූ, හිටපු කොටි නායක තිලීපන් අනුස්මරණය සඳහා යාපනය මන්ත්‍රී කජේන්ද්‍රන් ත්‍රිකුණාමලයේ සිංහල ජාතිවාදීන් ජීවත් වන ප්‍රදේශයක පැවැත්වූ සංදර්ශනය සම්බන්ධයෙන් සිංහල ප්‍රතිචාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 54වන සැසි වාරය පැවැත්වෙන අවස්ථාවේ දෙමළ දේශපාලන අරමුණු ප්‍රවර්ධනය කර ගැනීමේදී දෙමළ ජාතිවාදයට අතිශය වාසිදායකය.

අනුස්මරණ අයිතිය හා තහනම් ත්‍රස්ත සංවිධාන සම්බන්ධයෙන් එය අදාළ වන ආකාරය සම්බන්ධයෙන් ගැටලුවක් තිබේ. කෙසේ වෙතත්, පහර දීම් හා පහර දීම් හමුවේ පොලිස් නිෂ්ක්‍රීයත්වය වීඩියෝගත වීම හා ජාත්‍යන්තරව ප්‍රචාරය වීම දෙමළ ජාතිවාදී දේශපාලනයට අතිශය වාසිදායකය.

ඉදිරි කාලයේදී එවැනි අනුස්මරණයන් කොළඹ ඇතුළු දකුණේ ප්‍රදේශවල පවත්වන්නට දෙමළ ජාතිවාදීන් උත්සාහ කරනු ඇත. විශේෂයෙන්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව පැවැත්වෙන වකවානුවලදී එවැනි ක්‍රියාමාර්ග දැකිය හැකි වනු ඇත.

දෙමළ ජාතිවාදී දේශපාලකයන් තම බෙදුම්වාදී උපායමාර්ග වෙනුවෙන් මෙවැනි ක්‍රියා සිදුකිරීම උපායමාර්ගික වශයෙන් සාර්ථකය. පහසුවෙන් කුපිත වන සිංහල ජාතිවාදීහු ඒවායේ පහසු ගොදුරු බවට පත්වෙති. එමගින් ඔවුන්ගේ සිංහල මූලික කොළඹ කේන්ද්‍රීය ආණ්ඩුවට ඇතිවන්නේ ද අවාසියකි. එහෙත්, සිංහල ජාතිවාදී බලවේගවලට එය රට තුළ දේශපාලනිකව වාසිදායකය.

මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි සිංහල ජාතිවාදීන්, ආණ්ඩුව හා පොලිසිය තීරණය කළ යුතුය.

වඩා වැදගත් වන්නේ කුපිත කිරීම් කල් තබා වළක්වා ගැනීමයි. ඒ නිසා අනුස්මරණ අයිතිය භුක්ති විඳින ආකාරය සම්බන්ධයෙන් ඔත්තු සේවා අධික්ෂණයක් තිබිය යුතුය.

කුපිත කිරීම මෙන්ම කුපිත වීම ද අයිතිවාසිකම් නොවේ.