Jagath Manuwarna

ජගත් මනුවර්ණ කරනකොට හරි දෙයක් වන හොරකම

අජිත් පැරකුම් ජයසිංහ

ජගත් මනුවර්ණ සල්ලිකාරයෙකුට ගේමක් ගසා ඇත. ඒ කොඩි ගහ යට නම් ටෙලි නාට්‍යය නිෂ්පාදනය කර අයිටීඑන් හරහා අලෙවි කිරීමෙනි. සල්ලිකාරයාට පිරමිඩ් ජාවාරම් සමග සම්බන්ධකම් ද ඇත.

ලංකාවේ කලාව යනු කොහොමත් කළු සල්ලි සුදු කරන තවත් එක් අසපුවකි. ඒ නිසා මෙය අමුතු තත්වයක් නොවේ. ජගත් මනුවර්ණ මේ සල්ලිකාරයා අන්දා ඇත්තේ ද ඔහුට ගැලපෙන කතාවකිනි. එහි ඉන්නේ කුලියට මිනී මරන, මංකොල්ල කන, එඩිතර, හිත හොඳ, හැබැයි ගේම නම් ගේම ජාතියේ හෙණ වීරයන් සෙට්ටෙකකි. එය මනුවර්ණලා නියෝජනය කරන රැඩිකල් තරුණ පරපුර පාතාල ලෝකය වෙත ආකර්ශනය කරන මානසික මෙහෙයුමක් ලෙස ද සැලකිය හැකිය. එහෙත්, කපටි සූත්තරකාර රැකේ පුඩිකල්ලා ඕවාට අහු වන්නේ නැත. උන් මේවා ප්‍රවර්ධනය කර ගාන කපාගන්නා කලාව පැත්තට යොමු වෙනු ඇත. මේ ටෙලි නාට්ටි බැලූ ගම්බද හා වතුවල මෝඩ කොල්ලන් ආයුෂ අඩු කර ගනු ඇත.

මේ කතාව අස්සට භික්ෂූන් ගැන ඒකාකෘතික අදහස් සහිත සිංහල බෞද්ධ විරෝධී කොටස් එකතු කිරීම පසුපස ඇත්තේ වෙනත් මුදල් මූලාශ්‍රයක් බව පෙනේ. මේවායේ කතා නිර්මාණය වන්නේ ඒ අන්දමින් මුදල් මූලාශ්‍ර මතය. දිල්හානි අශෝකමාලා විට කන්නේ කවුරු හරි බුලත් වෙළෙන්දෙකුගේ සල්ලි නිසා වුණත් පුදුම විය යුතු නැත. ලංකාවේ ජනප්‍රිය කලාව එවැනි සිල්ලර වෙළඳාමකි.

කළු සල්ලි සුදු කිරීමේ බිස්නස් එකෙහි මහ ලොකු වරදක් අප දකින්නේ නැත. ඔය අසපු පන්සල් මෙන්ම දේශපාලන පක්ෂ ද මහා පරිමාණෙන් එය කරති. එහෙත්, දැන් මනුවර්ණට එරෙහිව වංචා චෝදනාවක් එල්ල වී තිබේ. තමන් දේශපාලන බලවතකු වූ පළියට තමන්ගේ බිස්නස් එකට මුදල් ආයෝජනය කළ පුද්ගලයන්ට වංචා කිරීම සාධාරණ නැත. මනුවර්ණගේ කොඩි ගහ යට ටෙලි නාට්‍යයෙන් ප්‍රවර්ධනය කළ අදහස අනුව නම්, මෙවැනි ද්‍රෝහිකම් මැරුං කන්නට වෙන වැඩය. එහෙත්, යථාර්ථය ටෙලි නාට්‍යවලට වඩා වෙනස්ය. මනුවර්ණ දැන් දේශපාලන බලවතෙකි.

ජගත් මනුවර්ණ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද කරන්නේ කල දුටු කල වල ඉස ගැනීමයි. ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ලොව වටා ඇවිදිමින් අරමුදල් රැස් කරන ජවිපෙ මැයි රැලි වෙනුවෙන් ද ටිකට් අච්චු ගසා සල්ලි එකතු කළහ. වෙනත් පක්ෂ රැස්වීම්වලට එක්ක යන මිනිසුන්ට කන්න, බොන්න මෙන්ම මත්වන්නට ද පහසුකම් සපයන මුත්, ජවිපෙ වතුර බෝතලයක්වත් දෙන්නේ නැත.

ජවිපෙ ඊනියා පාරිශුද්ධකම ගැන බොරුවලට රැවටෙන ජනතාව නොමිලේ සහභාගීත්වය සැපයුවාට අනෙක් පක්ෂවලට එසේ කරන්නේ නැත. මැයි රැලියට බස් දහයක් ගෙන යන්නට වෙන පක්ෂවල අයට රුපියල් ලක්ෂ දහයක්වත් වැය වේ. ඒවා සොයන්නට උන් සොරකම් කළ යුතුය.

මනුවර්ණලා කළු සල්ලි සුදු කරන එක ගැන අපේ විරුද්ධත්වයක් නැත. කළු සල්ලිවලට ගේම් ගැසීම නම් ඔහු කොඩි ගහ යටින් ප්‍රවර්ධනය කරන ඊනියා සාරධර්මවලට පවා පටහැණිය.

ඔහුගේ පක්ෂය වන ජවිපෙ 2021දී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ගෙන ආ හෙළි නොකළ වත්කම් ආයෝජන සඳහා යෙදවීමේ මුදල් පනතට එරෙහිව අධිකරණයට ගියේය. නීති විරෝධීව උපයන ලද මෙම මුදල් සම්බන්ධයෙන් වරදකරුවන්ට දඬුවම් කළ යුතුය යන්න ජවිපෙ ස්ථාවරයයි.

බැසිල් කරනකොට වැරදිය. මනුවර්ණ කරනකොට හරිය.