ආසු ගැන සිතුවිලි
අජිත් පැරකුම් ජයසිංහ
ආසු චිත්‍රපටය අපූරු නිර්මාණයක්. එය මුල හරියේදී චිත්‍ර වගේ රූප රාමු සංරචනය කරන්නට ආසා අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයකැයි හිතෙන තරමට. ඒ හැම රූප රාමුවක්ම වගේ හරිම සමමිතිකයි; පිළිවෙලයි.
කතාවෙ පාත්‍ර වර්ගයාගේ ජීවිතය ගත්තත්, තරමක් අභව්‍ය යයි සිතෙන තරමට ඉතාම පිළිවෙලයි. සුඛෝපභෝගීයි. සල්ලි ගැන වොරි වෙන්න දෙයක් නැහැ. චිත්‍ර ඇඳ ඇඳ, මියුසික් ගහ ගහ කූල් එකේ ගත කරන්නට පුළුවන් වාසනාවන්ත ජීවිත.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන කාන්තාව පරිසමාප්ත රූපශ්‍රීයකින් යුක්ත කාන්තා රත්නයක්. කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම ඇගේ රූපය කැමරාවෙන් ගෙන තිර බන්දේසිය මත තබා අධ්‍යක්ෂවරයා ස්ත්‍රී රූප ලෝලී ප්‍රේක්ෂකයාගේ දර්ශන කාම සේවනයට ඉදිරිපත් කරනවා. ඇගේ සිරුර අපේ මන බඳිනවා.
ඇගේ සැමියා වියපත්, සොකඩ, හඩු මිනිසෙකු ලෙස ඉදිරිපත් කිරීමත් සමග ඇගේ සුන්දරත්වය තවත් කැපී පෙනෙනවා. ඒ අතර ඇගේ කුස තුළ අලුත් ජීවිතයක් දලු ලනවා.
එතැනදී තමයි කතාවේ ගැටුම ඇරඹෙන්නේ. දරු ගැබ දරන අතරම ඇය පිළිකා රෝගියකු බව හඳුනාගන්නවා. එය විශේෂයෙන්ම සැමියා මග බලා සිටි පුතකුගේ උපතක්.
ඇය පිළිකාවෙන් බේරීම සඳහා විකිරණ ප්‍රතිකාර ගත යුතුයි. එය දරුවාට බලපානවා. දැන් ඇය කළ යුත්තේ කුමක්ද?
දරුවා වෙනුවෙන් ඇය කරන පරිත්‍යාගය සස ජාතකයේ කතාව හා ඒ හා සම්බන්ධ චිත්‍ර සමග මනාව සුසංයෝග කරමින් මවකගේ අපරිමිත පරිත්‍යාගය පිළිබඳ ගැඹුරු ජීවන විග්‍රහයක් වෙත සිනමාකරුවා අපේ අවධානය යොමු කරනවා.
ආසු චිත්‍රපටයේ ගැඹුර තීව්‍ර කරන්නේ චිත්‍රපටයේ මුල් අර්ධයේ අතිශය සියුම් ලෙස වර්ණනා කරනු ලබන නෙළුම් නම් කාන්තාවගේ රූප ශෝභාව පිළිකාව විසින් භක්ෂණය කරන ආකාරය ද ඒ තරම් ම සවිස්තරව සිනමාත්මකව ඉදිරිපත් කිරීමත් සමගයි. ඒ ඔස්සේ සිනමාකරුවා ජීවිතය පිළිබඳ බෞද්ධ දර්ශනය වෙත ප්‍රේක්ෂක මනස යොමු කරනවා.
චිත්‍රපටයේ මුල් අඩ තුළ අප දුටු සමමිතිකත්වයෙන්, ආලෝකයෙන්, වර්ණයෙන්, ශබ්දයෙන් පිරිපුන්ව කාන්තා රූප ශෝභාවෙන් හැඩ වී තිබුණු රූප රාමු ඉන් පසු පිළිකා රෝගය නිසා ක්ෂය වී යන නෙළුම්ගේ රූපයෙන් හැඩි වෙනවා.
ආසු චිත්‍රපටයේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ එහි පිරිමි චරිත තුනම (නෙළුම්ගේ සැමියා, පියා සහ වෛද්‍යවරයා) දුර්වල රඟපෑම් යයි සිතෙන තරම් නිෂ්ක්‍රීය චරිත ලෙස ඉදිරිපත් කරමින් නෙළුම්ගේ සුන්දරත්වය හා සක්‍රියබව සමග පරස්පර වන සේ දැක්වීමයි.
ආසු චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව වන හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ දියණිය වූ ඉන්දිරා ජයසූරිය පිළිබඳ කතාව මේ සමග තිබෙන සබැඳියේ තිබෙනවා. ඇත්ත බොහෝ විට නිර්මාණයට වඩා ගැඹුරුයි.
කියවන්න: ඉන්දිරා ජයසූරිය; මාතෘත්වය හා ජීවිතය අතර සංවේදී තෝරාගැනීමක කතාව