Moplah Muslims

මායාදුන්නේට පෘතුගීසීන් සමග සටන් කිරීමට උදව් කළ කේරළයේ මොප්ලා මුස්ලිම්වරු

පී.කේ. බාලචන්ද්‍රන් විසිනි (පරිවර්තනය Creative Content Consultants)

16 වන ශතවර්ෂයේදී, ශ්‍රී ලංකාවේ සීතාවක රජු වූ මායාදුන්නේට (1521-1581) පෘතුගීසීන් සමග සටන් කිරීමට කැලිකට් සැමෝරින්ගේ නාවික හමුදාව උපකාර කරන ලදී. මෙම බළකායෙන් බහුතරය සමන්විත වූයේ සහ නායකත්වය දෙන ලද්දේ මොප්ලා නම් කේරළ මුස්ලිම් ප්‍රජාවකිනි.

කැලිකට්හි සැමෝරින්වරුන්ටද පෘතුගීසීන් විසින් වධ හිංසා කරන ලද අතර, ඔවුන් 1498 දී එහි ගොඩ බැසීමෙන් පසු, ප්‍රාදේශීය පාලකයාගේ බලය අඩු කිරීමට මෙන්ම, මෝප්ලා ව්‍යාපාරවලට බලපෑම් කිරීමට ද පටන් ගත්හ. මොප්ලා යනු දේශීය හා ජාත්‍යන්තර වෙළඳාමේ යෙදී සිටින ප්‍රමුඛ පෙළේ වෙළඳ ප්‍රජාවකි. ඔවුන් ද නාවිකයින් වූ බැවින්, සැමෝරින්වරුන්ගේ නාවික හමුදාව ලෙස ද මොප්ලා මුස්ලිම්වරු ක්‍රියා කළහ.

1505 දී ශ්‍රී ලංකාවට ගොඩබසින පෘතුගීසීන්, කොළඹ බලකොටුවක් ඉදිකර, 1518 වන විට බටහිර වෙරළබඩ ප්‍රදේශයේ බලය හොබවමින් සිටියහ. ඔවුන් ස්ථාවර මිලකට රාජකීය ගබඩාවලින් කුරුඳු මිලදී ගැනීමේ ඒකාධිකාරයක් එවකට කෝට්ටේ පාලකයා වූ හයවන විජයබාහුගෙන් (1513-1521) ඉල්ලා සිටියහ. රජු සහ පෘතුගීසීන් අතර සන්නද්ධ ගැටුම් ඇති වූ අතර එහිදී හයවනවිජයබාහු නිරන්තරයෙන් පරාජයට පත් විය.  අසමාන වෙළඳ ගිවිසුමක් පිළිගැනීමට ඔහුට බල කෙරුනි.

16th century political map of Sri Lanka
16th century political map of Sri Lanka

කේරළයේ මෝප්ලා මුස්ලිම්වරු කෝට්ටේ ද වැදගත් වෙළෙඳ ප්‍රජාවක් වූහ. කුරුඳු වෙළඳාමේ ඒකාධිකාරය සඳහා පෘතුගීසීන්ගේ ඉල්ලීම කෝට්ටේ මෝප්ලාගේ ව්‍යාපාරයට හානියක් විය. මෝප්ලාවරු කෝට්ටේ රජුට හිතවත් අය වූහ. පෘතුගීසීන්ගේ ආක්‍රමණශීලී හැසිරීම්වලට සිංහල වෙළෙන්දන්ගේ ද විරෝධය එල්ල විය. 1521 දී හයවන විජයබාහු රජුගේ අභාවයෙන් පසු කෝට්ටේ රාජධානිය තුනකට කැඩී ගියේ රජුගේ පුතුන් තිදෙනාට කොටසක් බැගින් හිමිකර දෙමිනි. මායාදුන්නේ සීතාවක පාලකයා විය. හත්වන බුවනෙකබාහු කෝට්ටේ පාලකයා වූ අතර රාජසිංහ රයිගම් රාජධානියේ රජු විය.

කොළඹ සහ මීගමුව වරායන් අයත් වූයේ කෝට්ටේ බුවනෙකබාහු රජුටය. ඔහුට නිරතුරුව පෘතුගීසීන් සමග සටන් කිරීමට සිදු විය. කෝට්ටේ මෝප්ලා වෙළෙන්දෝ හත්වන බුවනෙකබාහු විසින් පෘතුගීසීන්ට කුරුඳු වෙළඳාම පිළිබඳ ලබාදුන් ඒකාධිකාරය ඉවත් කිරීමට බල කළහ. පෘතුගීසීන් ලංකා කුරුඳු යුරෝපයේ සහ බටහිර ආසියාවේ 300% ලාභයකට අලෙවි කරන බව මොප්ලාවරු රජුට පැවසූහ. කෙසේ වෙතත්, දුර්වල බුවනෙකබාහු තීරණයක් ගැනීමට බිය විය. නැගෙනහිර ආසියාව සමඟ වෙළඳාම සඳහා බහාර් 40 (I Bahar = 226.8 kg) කුරුඳු තබා ගැනීමට ඉඩ දෙන ලෙස 1522 දී ඔහු පෘතුගීසීන්ගෙන් ඉල්ලා සිටියේය. පෘතුගීසීන් ඔවුන්ගේ ඒකාධිකාරය දියාරු කිරීම එකහෙළා ප්‍රතික්ෂේප කළහ. බුවනෙකබාහු පෘතුගීසීන්ට දුර්වල තත්ත්වයේ කුරුඳු ලබා දීමෙන් හා බෙදා හැරීම ප්‍රමාද කිරීමෙන් පළිගත්තේය. අගතියට පත් මෝප්ලා වෙළෙන්දෝ බටහිර ආසියාවට කුරුඳු ජාවාරම් කිරීමට පටන් ගත්හ. ඔවුහු කැලිකට්හි සැමෝරින්ගෙන් මොප්ලාවරු හමුදා උපකාර පැතූහ. 1525 දී, අද්මිරාල් අලි හසන් යටතේ නාවික හමුදාවක් යැවූ සැමෝරින්වරු කොළඹදී පෘතුගීසි නැව්වලට පහර දුන්හ. එහෙත්, ගෝවේ සිට පෘතුගීසි හමුදාවන් පැමිණීමට බියෙන් බුවනෙකබාහු මෝප්ලාවරුන්ට එරෙහිව අලි හසන්ගේ මෝප්ලා බලඇණියට පහර දුන්නේය. මෙය මෝප්ලාවරුන් කම්පනයට පත් කළේය. එපමණක් නොව, පෘතුගීසීන් සමඟ සබඳතාවලට වඩා මොප්ලාවරුන් සමඟ සුහද සබඳතා පැවැත්වූ දේශීය සිංහල වෙළෙන්දෝ ද කළකිරුණහ.

මොප්ලාවරුන් සීතාවක වෙත පලා ගිය අතර, එහි පාලකයා වූ මායාදුන්නේ විසින් ඔවුන් සුහදව පිළිගන්න් ලදී. පෘතුගීසීන් කෝට්ටෙන් පලවා හැරීමට කැලිකට් සැමෝරින්ගේ පිහිට පැතීමට මායුදුන්නේට මහජන සහයෝගය ලැබිණි. සැමෝරින්ගේ නාවික හමුදාව පැමිණි විට, මායාදුන්නේ තමා “චක්රවර්ති” නොහොත් අධිරාජයා ලෙස ප්‍රකාශයට පත් කළේය. මෙයින් කලබලයට පත් බුවනෙකබාහු පෘතුගීසි උදව් පැතීය. පෘතුගීසීන් 1528 දී හමුදා නැව් 10 ක් යැවූ අතර බියපත් මායාදුන්නේ කෝට්ටේ සමග සම්මුතියකට පැමිණියේය. ඒ සමගම පෘතුගීසි හමුදා කෝට්ටේ අත්හැර ගියේ.

නැවතත් 1533 දී පෘතුගීසීන් විසින් කෝට්ටේ VII බුවනෙකබාහු සමග සංශෝධිත වෙළඳ ගිවිසුමක් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමත් සමඟ නැවතත් ගැටලු ඇති විය. ඔවුන්ට අවශ්‍ය වූයේ රජු විසින් ඔවුන්ට ලබා දුන් දුර්වල තත්ත්වයේ කුරුඳු සියල්ලම ඔවුන්ගේ ව්‍යාපාරික ප්‍රතිවාදීන් වන මෝප්ලාගේ අතට නොපැමිණීම සඳහා පුළුස්සා දැමීමටය. කුරුඳු සඳහා අඩු මිලකට එකඟ වන ලෙස ද ඔවුහු රජුගෙන් ඉල්ලා සිටියහ. දුර්වල රජු එකඟ විය. මෝප්ලා වෙළෙන්දෝ එයින් කුපිත වී පෘතුගීසීන්ට පහර දෙන ලෙස සීතාවක මායාදුන්නේ වෙත ආයාචනා කළහ.

පෘතුගීසීන්ට එරෙහිව බලයක් ගෙන ඒම සඳහා ඔවුන් කැලිකට්හි සැමෝරින් සමඟ ගිවිසුමක් ද ඇති කර ගත්හ. 1536 දී සැමොරින් ආදම් අලි ඊබ්‍රාහිම් යටතේ සෙබළුන් 4000 ක හමුදාවක් එවන ලදී. බුවනෙකබාහු පෘතුගීසි සහාය පැතීය. ඇඩ්ම් මාර්ටින් ඇෆොන්සෝ ද සූසා යටතේ 1537 දී කොචින් සිට යාත්‍රා එකොළහක් පැමිණියහ. මෙය සිදු වන විට මායාදුන්නේ බුවනෙකබාහු සමඟ සමාදාන වී සිටියේය. කෝට්ටේ පාලකයා පෘතුගීසීන් ආපසු හරවා යැවීය. නමුත් ඔහුගේ කැමැත්ත මත පෘතුගීසි ආඥාපති මාර්ටින් ඇෆොන්සෝ ද සූසා මෝප්ලා බලඇණිය ලුහුබැඳ ගොස් කර්නාටක වෙරළ තීරයේ මංගලෝර්හිදී ඔවුන්ව පරාජය කළේය.

මායාදුන්නේ සහ VII බුවනෙකබාහු අතර සාම ගිවිසුම තාවකාලික විය. පෘතුගීසීන් සමඟ බුවනෙකබාහුගේ වෙළඳ ගනුදෙනුව නොකැමැත්තක් දැක්වූ මායාදුන්නේ සටනට කැමති විය. ඔහු නැවතත් කැලිකට්හි සැමෝරින්ගෙන් හමුදා ආධාර ඉල්ලා සිටි අතර, මොප්ලා ජෙනරාල්වරුන් වන කුංජලී මරක්කාර්, පයිච්චි මරක්කාර් සහ අලි ඊබ්‍රාහිම්ගේ ඒකාබද්ධ අණ යටතේ නැව් 50කින් මිනිසුන් 8000ක් එවන ලදී. අතීතයේ මෙන්ම බුවනෙකබාහු පෘතුගීසි සහාය පැතීය. ද සූසා යටතේ නැව් 25 කින් පෘතුගීසීන් 650 ක් නැවත ශ්‍රී ලංකාව බලා පිටත් විය. අතරමගදී පෘතුගීසීන් මෝප්ලා බලඇණියට හසු වී 1538 පෙබරවාරි 25 වැනි දින දරුණු පරාජයක් අත්කර ගත්හ. නමුත් කොළඹට පැමිණි පසු පෘතුගීසීන්ට පෙනී ගියේ බුවනෙකබාහු සහ මායාදුන්නේ යළිත් සම්බන්ධ වී ඇති බවයි.

කෙසේ වෙතත්, 1540 දී සහෝදරයන් නැවතත් එකිනෙකා සමඟ සටන් කළහ. මායාදුන්නේ ‘චක්‍රවර්ති’ යන නම ද පටබැඳගෙන කෝට්ටේ රාජධානිය අල්ලාගැනීමට මාන බලන බව බුවනෙකබාහුට වැටහිණි. නැවතත්, මායාදුන්නේ සැමොරින්ගේ උපකාරය පැතූ අතර බුවනෙකබාහු පෘතුගීසි උපකාර පැතීය. ඇඩ්ම් මිගෙල් ෆෙරෙයිරාගේ නායකත්වයෙන් යුත් පෘතුගීසි නැව් කණ්ඩායමක් මීගමුවට පැමිණ එහි නැංගුරම් ලා තිබූ කැලිකට් නාවික හමුදාවේ නැව් විනාශ කළහ. ෆෙරෙයිරාගේ බලඇණිය කොළඹට පැමිණ එහි තිබූ සියලුම කැලිකට් නැව් ද ගිනිබත් කළේය.

මායාදුන්නේගේ රැකවරණය යටතේ සිටි මරක්කාරි නාවික හමුදාපතිවරුන් භාරදෙන ලෙස ෆෙරෙයිරා මායාදුන්නේගෙන් ඉල්ලා සිටියේය. ඔවුන්ට රැකවරණය ලබාදී ඇති බැවින් ඔවුන්ව භාරදීම සදාචාරාත්මක නොවන බව මායාදුන්නේ පැවසීය. ඔවුන්ට පාවා දීම වෙනුවට හොඳ වන්දියක් ලබා දෙන බවට ඔහු පොරොන්දු විය. එහෙත් ෆෙරෙයිරා තරයේ කියා සිටියේ මරක්කාරයන් පණ පිටින් හෝ මළසිරුරු ලෙස හෝ ඔහුට අවශ්‍ය බවයි. විකල්පයක් නොමැති මායාදුන්නේ පයිච්චි මරක්කාර් ඇතුළු නාවික අණදෙන නිලධාරින්ගේ හිස ගසා දමා එම හිස් ෆෙරෙයිරා වෙත යැවීය.

මායාදුන්නේ සහ සියලුම ශ්‍රී ලංකා රජවරුන් සමඟ සැමොරින්ගේ සන්ධානය මෙයින් අවසන් විය. සැමොරින් සහ මොප්ලා ශ්‍රී ලංකාවේ කිසිදු පාලකයෙකුට කිසිදු හමුදා ආධාරයක් ලබා නොදෙන බවට දිවුරුම් දුන්හ.

කෝට්ටේ පෘතුගීසීන්ගේ බලය වැඩි විය. කතෝලික ආගමට හැරුණු හත්වන බුවනෙකබාහුගේ මුණුපුරා වන ධර්මපාලගේ සමයේ පෘතුගීසි බලය උච්ච විය. ඒ සමගම, මායාදුන්නේට දැඩි අනාරක්ෂිත බවක් දැනුණි. ඔහු පෘතුගීසි රජුගේ යටත් පාලකයකු වීමට එකඟ විය. කෙසේ වෙතත්, ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රාජසිංහ, පෘතුගීසීන් සමඟ දිගටම සටන් කළද, අසාර්ථක විය. නාවික බලය නොතිබීම, ඉන්දියාවෙන් මිනිස් බලය ගෙන්වා ගැනීමට නොහැකි වීම, ගිනි අවි හිඟකම නිසා ශ්‍රී ලංකා හමුදාව පෘතුගීසීන්ට සම වූයේ නැත.

https://www.thecitizen.in/world/keralas-mopiah-muslims-helped-sri-lankans-fight-the-portuguese-966379