Chamber of Sri Lanka parliament

තවත් මන්ත්‍රීවරු නවයකට පාර්ලිමේන්තුව අහිමි කළ හැකි ද?

රජිත් කීර්ති තෙන්නකෝන්

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පාර්ලිමෙන්තු මන්ත්‍රී නසීර් අහමඩ් ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව දේශපාලන පක්ෂ රැසක කැළඹිල්ලක් මතු කර තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී.ල.නි.ප., ස.ජ.බ., රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂය ඇතුළු කණ්ඩායම් රැසක මන්ත්‍රීවරු පක්ෂ මාරු කර සිටිති. ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර ද, මෙලෙසම අහෝසි විය හැකිය ද? යන්න බොහෝ දෙනා මතු කරන ප්‍රශ්නය කි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු මැතිවරණ පනත ට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉවත් කිරීමට නම් මුලික නිර්ණායක කිහිපයක් තෘප්තිමත් විය යුතුය. පළමුව, අදාළ පක්ෂයේ ව්‍යවස්ථාව මගින් පක්ෂ සාමාජිකයා සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට ශක්තිමත්, නිශ්චිත ප්‍රතිපාදනයක් පැවතිය යුතුය. දෙවැන්න, එම ප්‍රතිපාදනයකට අනුව, විධිමත් විනය ක්‍රියාමර්ග ගැනීමත්, ස්වභාවික යුක්ති නීතියට අනුව (නිදහසට කරුණු දැක්වීම් අවස්ථාව) ඔවුන්ට හිමිවී ඇති ද? යන්නය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සිය පක්ෂ සාමාජිකයින් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය විධිමත් ලෙස ව්‍යවස්ථාවෙන් ලේඛන ගත කර ඇති ප්‍රමුඛ පක්ෂය යි. එ.ජා.ප. ව්‍යවස්ථාව අනුව පක්ෂයට සමාජිකත්වය තහනම් කිරීම ඒක පාර්ශිකව වුව ද කළ හැකිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපාදන මුස්ලිම් කොන්ග්‍රසය තරම් සවිමත් නැත. සජබ පිටු 32 ව්‍යවස්ථාව තුල එවැනි විධිමත් ප්‍රතිපාදනයක් ඇත්තේම නැති තරම් ය. ජවිපෙ ට සමාජිකත්වය සම්බන්ධයෙන් දැඩි තිරණ ගැනීමට ව්‍යවස්ථාව ඉඩ සලසයි. ශ්‍රීලනිප ව්‍යවස්ථාව මේ වන විට අධිකරණයේ ප්‍රශ්න කිරීමට ලක්ව ඇති බැවින් ඔවුනට සාමාජිකයින් ඉවත් කිරීම පහසු නැත.

පිටු 62 ක නසීර් අහමඩ් නඩු තීන්දුව තුලින් මතු වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති නම්, ඉවත් කිරීම අපහසු නොවන බවයි. මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 ක් හෝ ඒ ආසන්න ගණනකට විනය පරීක්ෂණ, නඩු විභාගයක් පැවැත්වෙමින් ඇත. නසීර් අහමඩ් අනුවම යමින් ඔවුන් සියළු දෙනා ද පක්ෂවලින් ඉවත් කිරීම, ඒනම් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට හැකියාව තිබේ ද?

එයට ‘ඔව්‘ සහ ‘නැත‘ යැයි උත්තර දෙකක් තිබේ. මේ ඒ පිළිබඳ විෂය මුලික විග්‍රහයකි.

ඉවත් කිරීමේ නෛතික ප්‍රතිපාදනය කුමක්ද?

1978 ව්‍යවස්ථාවේ 99 (13) වගන්තිය අනුව, ‘‘ඉල්ලා අස්වීමෙන් හෝ පහ කිරීමෙන් හෝ අන් කවර හේතුවක් නිසා හෝ නතර වූ අවස්ථාවක ………………..‘‘ සිදු කළ යුතු ක්‍රියාමාර්ග දැක්වේ. මන්ත්‍රීවරයෙකු ඉවත් කිරීමේ එකම ප්‍රතිපාදනය මෙය යි.

99 (13) වගන්තියේ ව්‍යවහාරික නීතිය යුග දෙකකි. එහි පළමු වැන්න, පක්ෂ විනය කඩකල මන්ත්‍රීවරුන් ට අසුන් අහිමි කිරීමට දේශපාලන පක්ෂ සමත් වූ 1992 ට පෙර යුගය යි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට (පළාත් සභා) විරුද්ධව ඡන්දය දීම නිසා, එජාපය චන්ද්‍රකුමාර විජේගුණවර්ධන (කඹුරුපිටිය), වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන (හක්මන) පක්ෂයෙන් නෙරපනු ලැබීය. එදා, පක්ෂ නායක ජේ.ආර්.ජයවර්ධනගේ තීන්දුවට එරෙහිව පැවරූ නඩු වලින් (SC 50/87Spl සහ SC 51/87 Spl) පැරදුණු ඔවුන් ට මන්ත්‍රී ධූර අහිමි විය.

1988 මැයි 24 දින සම්මත වූ, 14 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් කේවල ඡන්ද කොට්ඨාශ ක්‍රමය වෙනුවට දිස්ත්‍රික් මනාප ඡන්ද ක්‍රමය හදුණ්වා දෙනු ලැබීය. එහි දී, අපේක්ෂකයෙකුට පමණක් නොව, මුලින් පක්ෂයකට ද ඡන්දය ලබාදීම සිදුවේ. මන්ත්‍රී ධූරය අයිති පක්ෂයට නැතිනම්, මන්ත්‍රීවරයාට ද, මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වයේ නියෝගයට අවනත විය යුතු ද? හෟර්ද සාක්ෂිය අනුව ඡන්දය දීම සඳහා මහජන නියෝජිතයින්ට අවස්ථාවක් නොමැති ද? යන සෛද්ධාන්තික තර්කය මතුවන්නේ 14 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුවය.

නීතිය, ව්‍යවහාර බුද්ධිය, නායකත්වය හා දෝෂාභියෝගය

ජනාධිපති ආර්.ප්‍රේමදාස ට විරුද්ධ දෝෂාභියෝගයට අත්සන් කළ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, ජී. ඇම්.ප්‍රේමචන්ද්‍ර අමාත්‍යවරුන් සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රා ගන්කන්ද, ප්‍රේමරත්න ගුණසේකර, සමරවීර වීරවන්නි, වින්සන්ට් පෙරේරා යන මන්ත්‍රීවරුන් 8 දෙනා, 1991.09.06 දින එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණයක් අනුව එජාපයෙන් නෙරපා හරිනු ලැබීය. නෙරපීමට එරෙහිව, දිසා අධිකරණයේ ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ ද නඩු (Dissanayake v. Kaleel SC (Special) Nos. 4 සිට 11/91 දක්වා) විභාග විය. එම නඩුව, පක්ෂ තහනම් කිරීම පිළිබඳ නෛතික තත්වය පිළිබඳ විශ්ව කෝෂයකි. විනිසුරු ප්‍රනාන්දු, වඩුගොඩපිටිය හා කුලතුංග විසින් ලබා දුන් නඩු තීන්දුව පිටු 248 කි.

‘‘පක්ෂ සාමාජිකත්වය නෙරපීම හිතු මනාපයට කළ නොහැකිය. යුක්තිය තිබිය යුතුයි. මන්ත්‍රීවරුන්ට තමන්ගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දිය යුතුය. වරද කුමක් ද කියා චෝදනා පත්‍රයකින් දැන්විය යුතුය. උත්තර දීමට, නීතිඥ සහාය ලබා ගැනීමට, පැහැදිලි කිරීමට ඉඩ දිය යුතුය.‘‘ යන්න ගාමිණී නඩුවේ පදනමයි.

සමානුපාතික නියෝජනය තුල පක්ෂය ලැබෙන ඡන්ද සංඛ්‍යාව මත පක්ෂයට ලැබෙන ආසන සංඛ්‍යාව තීරණය වන බැවින්, පක්ෂ සාමාජිකත්වය අහිමි වූ විට මන්ත්‍රී ධූරය අහිමිවිය යුතු බව අනෙක් පස තර්ක වූවේය.

නඩුවෙන් ලලිත් – ගාමිණී කණ්ඩායම පරාජය වූවේ එජාපය ‘‘ස්වභාවික යුක්ති නීතිය අනුව කටයුතු කර තිබූ බව‘‘ තහවුරු කරන්නට එජාපය නීතිඥයින්ට හැකි වූ නිසාය.

ඇත්තම කථාව නම් එජාප නායකයින්, විනය පරීක්ෂණය සඳහා කැඳවීම් ලිපි ලියාපදිංචි තැපෑලට යොමු කළ බවට ලේඛන තිබූ නමුත්, ඒවා මන්ත්‍රීවරුන්ට ලැබී නොතිබුණි. (තැපෑලේ දී ලිපි අස්ථාන ගත කරනු ලැබීම එවකට මහ ලේකම් සිරිසේන කුරේ ගේ මෙහෙයුමකි)

ප්‍රේමදාස හමුවේ දණ ගැසු මන්ත්‍රීවරුන්ගේ ඉරණම

ආර්.ප්‍රේමදාස ට එරෙහිව දෝෂාභියෝගයක් අත්සන් කර පසුව තම අත්සන ඉවත් කර ගත්, ආරියරත්න ජයතිලක හා එස්.ඒ.මුතුබණ්ඩා ද, පක්ෂයෙන් නෙරපනු ලැබීය. නෙරපීම අභියෝගයට ලක් කර, ශ්‍රේෂ්ඨාධිිකරණයට ඉදිරිපත් වූ (මුතුබණ්ඩා එදිරි කලීල් SC 2/92 Spl) නඩුවේ පැමිණිල්ලේ නීතිඥවරු ලලිත් ඇතුළත්මුදලි ඇතුළු කණ්ඩායමකි. ජයතිලක, මුතුබණ්ඩා ගේ පෙත්සම නිශ්ප්‍රභා විය. අඛණ්ඩව අභියෝග කළෝ ද, අතරමැද දී දණ ගැසූවෝ ද එකම ඉරණම උරුම කර ගත්තෝය.

විපක්ෂයේ කැරළිකරුවන්ගේ ඉරණම

මේ කාලයේ ම (1993), ශ්‍රීලනිපයේ, ජිනදාස නියතපාල, ප්‍රදීප් හපන්ගම, තිලක් කරුණාරත්න, මර්වින් සිල්වා, හේමකුමාර නානායක්කාර ඇතුළු කණ්ඩායම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද, පක්ෂ නායකත්වය නොතකා කටයුතු කළේය. ශ්‍රීලනිපයේ ඔටුන්න හිමි කුමාරයා, අනුර බණ්ඩාරනායක එජාපට එක් වී උසස් අධ්‍යාපන හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ධූරය දැරීය. ශ්‍රීලනිප මේ මන්ත්‍රීවරු නෙරපා දැමූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ මන්ත්‍රී ධූර ආරක්ෂා කර දෙනු ලැබීය. ඔවුන් ට රැකවරණය ලැබුණේ, නෙරපා හැරීමේ ක්‍රියාවලියේ තිබූ දුබලතාවයන් ය.

1993 ශ්‍රීලනිප නඩුව, බණ්ඩාරගම ශ්‍රීලනිප සංවිධායක හා මන්ත්‍රී තිලක් කරුණාරත්න විසින් සිරිමා බණ්ඩාරනායක විරුද්ධවය. ‘ද අයිලන්ඩ්‘, 1993.01.24 දින ‘ලක්දිව‘, බීබීසී සම්මුඛ සාකච්ඡා මගින් ශ්‍රීලනිප විනය දැඩිව කඩ කළ බව චෝදනාව විය. 1993.05.31 දින තිලක් කරුණාරත්නගේ දිසා අධිකරණයෙන් තහනම් නියෝගයක් ගැනීමේ උත්සාහය සාර්ථක වූවේ නැත. නමුත්, විනය පරීක්ෂණවලට එරෙහිව අතුරු තහනම් නියෝග ගැනීමේ වත්මන් සුලබ ව්‍යවහාරයේ කේන්ද්‍රය තිලක් ගේ නඩුවයි. විනය ක්‍රියාමාර්ග ගැනීමේ දී නිසි ක්‍රමවේදය අනුගමනය නොකිරීම (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සභාව වසර ගණනාවකින් පවත්වා තිබුණේ නැත) හේතුවෙන් තිලක් කරුණාරත්න නෙරපා හැරීම නීති විරෝධී බව අධිකරණය තීරණය කළේය.

ඒ අනුව පැහැදිලි වන්නේ, 1994 ට පෙර යුගයේ දී ද, ස්වභාවික යුක්ති නීතියේ පියවර අනුගමන කිරිම හෝ නොකිරීම, ශ්‍රේෂ්ඨාධිකරණයට ඒත්තු ගැනීමේ හැකියාව/නොහැකියාව මත මන්ත්‍රීවරුන් ඉවත් කිරීමේ හැකියාව/නොහැකියාව ස්ථාපනය වී ඇත.

ආචාර්ය විමල් වික්‍රමසිංහ සහ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ ඇතුළු කණ්ඩායමක්, සිරිසේන කුරේ එජාප හිටපු මහ ලේකම්වරයා ගේ ද මැදිහත්වීමෙන් ‘පුරවැසි පෙරමුණ‘ ලෙස වෙනම මැතිවරණයට ඉදිරිපත්වීමට 1999 දී සැලසුම් කෙරුණි. නමුත්, එම සාකච්ඡා පැවැත්වෙන අතර, එම කණ්ඩායමේ සරත් අමුණුගම, සුසිල් මුණසිංහ, නන්ද මැතිව්, විජේපාල මෙන්ඩිස්, චූල බණ්ඩාර, ස්ටැන්ලි කල්පගේ ඇතුළු 35 ක් දෙනෙකු ‘ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා‘‘ යැයි කියමින් චන්ද්‍රිකා ආණ්ඩුවට එක් විය.

‘‘පක්ෂයෙන් එලවීම සඳහා හේතු නොදැක්වීම, චෝදනා පත්‍රයක් නොමැතිවීම‘‘, හේතුවෙන් 1999 නොවැම්බර් මස එජාපය මන්ත්‍රීවරුන් පස් දෙනා පක්ෂයෙන් නෙරපීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය (SC SPL.(E) NO. 4/99) තීරණය කළේය. සරත් අමුණුගම සහ තවත් අයට එදිරිව කරු ජයසූරිය නඩුවෙන් පසුව කිසිදු අවස්ථාවක, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂවලින් ඉවත් කිරීම හා එමගින් ඔවුන්ගේ මන්ත්‍රී ධූර ඉවත් කිරීමට දේශපාලන පක්ෂ දැරූ උත්සාහයන් සාර්ථක වූයේ නසීර් අහමඩ් නඩු තීන්දුවෙනි.

මන්ත්‍රීවරයෙකු නෙරපා හැරීමේ ක්‍රමවේදය කුමක් ද?

දේශපාලන පක්ෂයක් සිය සමාජිකයෙකු නෙරපා හැරීමට ගනු ලබන තීරණය පක්ෂ මහ ලේකම් විසින් මැතිවරණ කොමිසමට දැනුම් දිය යුතුයි. එවිට මැතිවරණ කොමිසම ඒ බව අදාළ මන්ත්‍රීවරයාට ලිඛිතව දැනුම් දෙනු ලැබේ. මන්ද, පක්ෂ සමාජිකත්වය අහිමිවීම හේතුවෙන් අදාළ මන්ත්‍රීවරයාගේ ධූරය අහිමි වන බැවිනි. කෙසේ නමුත්, මැතිවරණ කොමිසම දින 21 යන තුරු අදාළ මන්ත්‍රීවරයා නෙරපා හරින්නේ නැත. නීති ප්‍රකාරව පක්ෂයේ තීරණයට එරෙහිව අදාල පක්ෂ මුලස්ථානය ස්ථාපිත දිසා අධිකරණයේ නියෝගයක් ලබා ගැනීමට සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසීම එහි අරමුණ යි. යම් මන්ත්‍රීවරයෙකු දින 21 ක් තුල දිසා අධිකරණයේ නඩු පවරන්නේ නැති නම්, මැතිවරණ කොමිසමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට උත්සක නොවන්නේ නම්, එම මන්ත්‍රීවරයා ඉවත් කරනු ලබයි.

දිසා අධිකරණයකින් අතුරු තහනම් නියෝග ලබා ගත හැකි නම්, තම ධුරය රැකගන්නට එවිට මන්ත්‍රීවරයාට හැකියාව ලැබේ.

ජනතා විමුක්ති පෙරමුණ – බුලේගොඩ නඩුව

ජවිපෙ දෙවැනි නැගිටීමෙන් පසුව, ශ්‍රී ලංකා ප්‍රගතිශිලී පෙරමුණ නමින් මැතිවරණයට ඉදිරිපත් වූ ජවිපෙ මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, පක්ෂයේ ලේකම් ආරිය බුලේගොඩ විසින් නෙරපනු ලැබුවා නොව, පන්නා දමනු ලැබූවේ ‘පක්ෂයේ සාමාජික ගාස්තු නොගෙවීම/ගෙවීම පැහැර හැරීම‘ චෝදනාව යටතේ ය. ගලප්පත්ති ගේ මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සුදානම් විට ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවනු ලැබූ ගලප්පත්ති ට එදිරි බුලේගොඩ නඩුවේ දී (1997 1 SLR 393) ද, ස්වභාවික යුක්ති මුලධර්මයට අනුව විධිමත් විමර්ශනයක් නොපැවැත්වීම, පෙත්සම්කරු ඇති චෝදනා පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොදීම මත නීති විරෝධී බව තීරණය විය.

18 ට සම්මත කිරීමට ‘දෑත් ශක්තිමත් කිරීම‘

ජනාධිපතිවරයාගේ අතට බලය ගොනු කරන 18 වන ව්‍යවස්ථා සංශෝධනය 2/3 ක බහුතරයක් ලබාදීම සඳහා එජාප මන්ත්‍රීවරු 7 දෙනෙකු මහින්ද රාජපක්ෂ රජයට ඡන්දය දුන්නේය. බදුල්ලේ ලක්ෂමන් සෙනෙවිරත්න, පොළොන්නරුව අර්ල් ගුණසකර, ගාල්ල මනූෂ නානායක්කාර, ගම්පහ උපෙක්ෂා ස්වරණමාලී, කුරුණෑගල නිමල් විජේසිංහ, මහනුවර අබ්දුල් කාදර් එම මන්ත්‍රීවරුන් ය. එජාප ය මෙම මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සමාජිකත්වය තහනම් කරනු ලැබූ නමුත්, මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට හැකි වූයේ නැත.

එක්සත් ජාතික පෙරමුණ නම් නාමික පක්ෂය (සැබෑ නම එක්සත් ජාතික පක්ෂය) යටතේ තරඟ කළ රවුෆ් හකීම් ඇතුළු ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීවරු 8 ක් ද 18 සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නේය. ඔවුන් කිසිවෙකුට විරුද්ධව එදා එජාපය විනය පියවර ගත්තේ නැත.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී පී.එච්. පියසේන ද 18 ට පක්ෂව ඡන්දය දුන්නේය. 2010 නොවැ. 28 දින ‘ඉලංගේ තමිල් අරසු කච්චි‘ පක්ෂය විනය විරෝධී කටයුතු හේතුවෙන් ඔහු ඉවත් කළේය.

පියසේන තමන් පක්ෂයෙන් නෙරපීමට විරුද්ධව යාපනය දිසා අධිකරණයේ (DC Jaffna case No. 38/2010 (Misc) නඩු පැවරූ නමුත් ඔහුට තහනම් නියෝගයක් ගැනීමට නොහැකි විය. තමන් පක්ෂයෙන් ඉවත් කිරීමට විරුද්ධව, පියසේන ශ්‍රේෂ්ඨාධිකරණයට SC Application Special [Expulsion] No. 03/2010) පෙත්සම ඉදිරිපත් කළ අතර, 2011 පෙබරවාරි 8 දින ද්‍රවිඩ ජාතක සන්ධානය විසින් පියසේන ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම නිතී විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කල බැවින් මන්ත්‍රී ධූරය රැකුණේය.

හකීම් – රිෂාඩ් යුද්ධය

ස්වභාවික යුක්ති නීතිය, මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ තහනමට බලපාන ආකාර පිළිබඳ හොඳම උදාහරණය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ අමීර් අලි, රිෂාඩ් බදුර්දීන් හා නජිම් ඒ මජීඩ් 2005 අප්‍රේල් 4 දින පක්ෂයෙන් නෙරපීම යි. ඉහත මන්ත්‍රීවරුන්, මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් විවේචනය කරමින් පක්ෂය වෙත ලිපියක් යැවීය. එම ලිපියේ විවේචණය නොඉවසූ හකීම් එයට පෙරළා උත්තර දුන්නේ ‘‘ඔබ වැරදියි. උතුරු නැගෙනහිර මුස්ලිම්වරුන්, ඔබ විසින් සිදු කළ ක්‍රියාවට සමාව දෙන්නේ නැත. පක්ෂය ඉදිරියේ දී සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත්තේය, (“Finally I would like to remind that the Muslims of the north east will not pardon you for the treacherous act committed and the Party to o will take appropriate action against you in due course .”) යැයි කියමිනි.

පක්ෂය රිෂාඩ් ඇතුළු කණ්ඩායම නෙරපීමට විරුද්ධ ශිරානි බණ්ඩාරනායක ලියූ නඩු තීන්දුවේ දැක්වෙන්නේ විනය පරීක්ෂණයක් පැවැත්වීමටත් පෙර ‘‘ඔබ වැරදියි. මුස්ලිම් සමාජය පවා සමාව දෙන්නේ නෑ‘‘ යැයි පැවසීම තුලින් ‘‘නෙරපීමට පෙර ඔබ අදාළ මන්ත්‍රීවරුන් වැරදිකරුවන් බවට පූර්ව නිගමනයකට පැමිණ තිබූ බව යි. 02/2005, 03/2005, 04/2005 ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තුන එකට විභාග කොට අලී, රිෂාඩ්, මජීඩ් ගේ පක්ෂ තහනම නීත්‍යානුකුල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සරත් එන් සිල්වා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල 2005 ජූලි 1 දින තීන්දු කරනු ලැබීය. මුස්ලිම් කොන්ග්‍රසයේ විනය කාර්ය පටිපාටියට අනුව, පක්ෂ සාමාජිකයෙකු ඉවත් කිරීමේ බලය ඇත්තේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලයට පමණී. එසේ තිබිය දී, පක්ෂ නායකයා වරද පිළිබද පූර්ව නිගමනයකින් කටයුතු කළ බව එම නඩුවේ ප්‍රමුඛ තර්කය වූවේය. නසීර් අහමඩ් නඩු තීන්දුවේ දී එදා තමන්ට වැරදුණු තැන, නීතියට අඩුව අඩුවක් නොවන සේ සපුරා ගන්නට මෙවර මුස්ලිම් කොන්ග්‍රසය සමත් වූවේය.

සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය බිහිවීම හා අමිර් අලී නඩුව

මුස්ලිම් කොන්ග්‍රසය හා විරසකවීමෙන් පසුව ඒ වන විටත් නීතිඥ හමිඩ් විසින් දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කර තිබූ දේශපාලනය ලෝකයේ ‘අනාගත රිෂාඩ් ගේ පක්ෂය‘ යැයි ඒ වන විටත් හදුන්වා දෙමින් තිබූ ‘‘සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සම්මේලනය සංවිධානය කෙරුණි. එහි මහ ලේකම්වරයා වූයේ වයි.එල්.එස්.හමීඩ් ය. පුත්තලමේ පැවති සම්මේලනයට රිෂාඩ් බදුර්දීන්, අමීර් අලී ඇතුළු ඒ වන විටත් මුස්ලිම් කොන්ග්‍රසයෙන් කටයුතු සඳහා සම්බන්ධකර නෙගෙන සිටි පිරිසට ආරාධනා කර තිබුණි. නමුත්, ඒ වන විට ඔවුන් පක්ෂයේ මුදල් ගෙවා සමාජිකත්වය ගත්තෝ නොවීය. පක්ෂ සම්මේලනයේ දී රිෂාඩ් බදුර්දීන් පක්ෂ නායකයා ලෙස ද, අමීර් අලී පක්ෂයේ සභාපති ලෙස ද නම් යෝජනා විය.

මුස්ලිම් කොන්ග්‍රසයේ සාමාජිකත්වය දරමින් සිටින අතරම, වෙනත් දේශපාලන පක්ෂයක් පිහිටුවීම පිළිබඳ රවුෆ් හකීම් ඒ වන විටත් පක්ෂය සමග විරසකව සිටි මේ මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසනු ලැබීය. අමීර් අලී, රිෂාඩ් උසාවිය ගියේය. පක්ෂයේ මහ ලේකම් ප්‍රකට නීතිඥ හමීඩ් එයට අපුරු උත්තරයක් දුන්නේය. එහි අර්ථය ‘‘රිෂාඩ්, අමීර් අලී ට පක්ෂයේ තනතුරු යෝජනා කෙරුණා. ඔවුන්ට පක්ෂ සාමාජික අයදුම්පත් බාරදුන්නා. ඔවුන්ට තනතුරු ලැබෙන්නේ පක්ෂ සාමාජිකත්වය ගත්තේ නම් පමණයි. නමුත්, ඔවුන් පක්ෂ සාමජිකත්වය ලබා ගැනීම ප්‍රතිකේෂප කළ බැවින් ඔවුන්ට තනතුරු ලබාදීම හෝ බාර ගැනීමක් සිදු නොවූ බව‘‘ ය. උසාවිය හමීඩ් ගේ දිවුරුම් ප්‍රකාශය පිළිගනු ලැබූවෙන්, එවර ද, හකීම් ට විරුද්ධ මුස්ලිම් සමාජයේ ප්‍රභලම අභියෝගය බවට පත් වූ රිෂාඩ් බදුර්දීන් පක්ෂයෙන් නෙරපීමට/එළවා දැමීමට/මන්ත්‍රී ධූර අහෝසි කිරීමට මුස්ලිම් කොන්ග්‍රස් නායකයාට හැකිවූවේ නැත.

මාතලේ දේශපාලන ප්‍රබලයෙකු වූ නන්දිමිත්‍ර ඒකනායක එජාපයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය. පසුව පක්ෂ මාරු කර පොදුජන පෙරමුණට එක් වී, පළාත් සභාවට බුලත් කොළය යටතේ නාම යෝජනා ලබාදුන්නේය. ඒ අතර, 2009 මැයි මස එජාප යේ මන්ත්‍රී ඇලික් අලුවිහාරේ මිය ගිය බැවින්, ලැයිස්තුවේ ඊලඟට සිටි නන්දිමිත්‍ර ට මන්ත්‍රී ධූරය හිමි විය. එජාපය නඩු ගියේය. තමන්ට නිදහසට කරුණු දැක්වීමට අවස්ථාවක් නොලැබූ බවට (ලියාපදිංචි තැපෑලෙන් කැඳවීම් ලිපියක් යොමු කර තිබූ නමුත්, එය තමන්ට නොලැබූණු බව අධිකරණයට ඒත්තු ගන්වන්නට හැකි විය.) වූ තර්කය මත ඒ් වන විට පොදුජන පෙරමුණේ සිටි නන්දිමිත්‍ර ට එජාප ලැයිස්තුවේ මන්ත්‍රී ධූරය ලැබුණි. ඔහු විපක්ෂයෙන් මන්ත්‍රී ධූරයේ දිවුරුම් දී එදිනම ආණ්ඩුවට එක් විය. එය පක්ෂ මාරු කිරීම පිළිබඳ අපූර්වතම නඩු තීන්දුවයි!

කෙහෙළිය, බෝගොල්ලාගම, මහින්ද සමරසිංහ එජාපයෙන් නෙරපීම

බෝගොල්ලාගම නඩුවේ දී, එජාප ව්‍යවස්ථාවේ 3.4 වගන්තිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) අ වගන්තිය අතර ඇති පරස්පරය ගැන විනිසුරු ජයසිංහ ලියූ තීන්දුව සුවිශේෂි වේ. නිසි විනය පරීක්ෂණයකින් තොරව එජාපයෙන් නෙරපා ඇති බව තීරණය කළ නිහාල් ජයසිංහ, නිමල් දිසානායක, රාජා ප්‍රනාන්දු විනිසුරුවරුන් බොගොල්ලාගම ගේ පක්ෂ සාමජිකත්වය රැකදුන්නේය. එජාපයේ නීතිඥයින් එදා අධිකරණයට කීවේ බෝගොල්ලාගම මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක් වී ඇමතිධූර ලබා ඇති බැවින් ‘විනය පරීක්ෂණයක් නොපැවැත්විය යුතු බව‘ කියමිනි.

කෙහෙළිය නඩුව

2000, 2001, 2004 මැතිවරණවල දී මහනුවරින් වැඩිම මනාප ලැබූ කෙහෙලිය රඹුක්වැල්ල 2005 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක් විය. කෙහෙළිය නඩුවේ දී (S.C. (EXPULSION) NO. 1/2006) තීන්දුව අගවිනිසුරු සරත් එන් සිල්වා 1978 අංක 2 දරණ අධිකරණ පනත 41 (2) වගන්තිය උපුටා දක්වමින් සිය තීන්දුව ප්‍රකාශ කර ඇත. විනය ක්‍රියාමාර්ග නිසි ලෙස සම්පූර්ණ නොවන්නේ නම්, මන්ත්‍රීවරයෙකු ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම, පක්ෂයෙන් නෙරපීම කළ නොහැක්කක් බවට පොදු මතයක් ස්ථාපනය වූවේ කෙහෙළිය ගේ තීන්දුවත් සමඟ ය.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් 2018 ඔක්තෝබර් මස අගමැති මහින්ද රාජපක්ෂ දින 52 ආණ්ඩුවට එක්විය. ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට ද, ද්‍රවිඩ ජාතික සන්ධානයට හැකි වූයේ නැත.

2007 පෙබරවාරි මස මංගල සමරවීර හා ශ්‍රීපති සුරිආරච්චි ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ ගේ නායකත්වය හා ගැටෙමින් අමාත්‍ය ධූර අහිමි කර ගනු ලැබීය. මන්ත්‍රීවරුන් විපක්ෂය සමඟ සමීප සබඳතා පවත්වමින් කටයුතු කළ නමුත් පක්ෂය ඔවුන් නෙරපා දැමීමට සැබෑ උත්සාහ කළේ නැත.

විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් 2008 දී ජනතා විමුක්ති පෙරමුණින් ඉවත් කිරීමට පක්ෂය තීරණය කල නමුත්, ඔවුන්ගේ ද මන්ත්‍රී ධූර අහිමි කිරීමට හැකි වූවේ නැත. විමල් ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම ජාතික නිදහස් පෙරමුණ ලෙස ඉන් පසුව ක්‍රියාත්මක විය.

මොහාන් ලාල් ග්‍රේරෝ ද දිසා අධිකරණය මගින් ලබාගත් තහනම් නියෝගයකින් මන්ත්‍රී ධූරය රැක ගැනීමට සමත්වූවේය.

නසීර් අහමඩ් නඩු තීන්දුවෙන් කියවෙන්නේ, පක්ෂ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරමින් මුස්ලිම් කොන්ග්‍රස් නායකත්වය පක්ෂයේ ක්‍රියාමාර්ග තීරණය කර ඇති බවත්, විධිමත් කාර්ය පටිපාටිය අනුගමනය කරමින් මන්ත්‍රීවරයා පක්ෂයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ය.

වර්තමානයෙන් අනාගතයට

නසීර් අහමඩ් නඩු තීන්දුවෙන් පසුව, දේශපාලන පක්ෂ කිහිපයක තවත් මන්ත්‍රීවරුන් කිහි දෙනෙකුටම අදාළ විනය පරීක්ෂණ, අධිකරණ ක්‍රියාමාර්ග ගැන පුළුල් අවධානයක් මේ වන විට යොමුව ඇත.

ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ නෛතික භාවය අධිකරණය මගින් විභාග කෙරෙමින් ඇති නිසා ද, සජබ පිටු 32 ක ව්‍යවස්ථාවේ සමාජිකයින් ඉවත් කිරීමේ ප්‍රතිපාදනයේ ඇති දුබලතාව නිසා ද, තවත් මන්ත්‍රීවරුන් පිරිසකට සිය අසුන් අහිමිවීමේ අවදානම අවමය.

ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ශක්තිමත් නොවන හා නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකරන, ස්වභාවික යුක්ති නීතියට පටහැනි ලෙස පක්ෂ ක්‍රියාකාර ඇති කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පක්ෂයෙන් නෙරපා හැරීම අධිකරණය මගින් මේ දක්වා කිසිදු අවස්ථාවක ඉඩ සලසා නැත.