Hilton Colombo

ශ්‍රී ලංකාව හිල්ටන් හෝටලය පෞද්ගලීකරණයට සැරසේ

ශ්‍රී ලංකා රජය විසින් Hilton Colombo හෝටලයෙහි හිමිකාරීත්වය දරන Hotel Developers Lanka Limited හි කොටස් විකිණීම සඳහා උනන්දුව ප්‍රකාශ කිරීම සඳහා වූ ඉල්ලීම් ඔක්තෝබර් 10 වන දින සිට නොවැම්බර් 9 දක්වා කැඳවා තිබේ.

Gulf News වාර්තා කරන පරිදි, “කොළඹ ප්‍රමුඛතම සත්කාරක දේපල ලෙස සැලකෙන මෙම හෝටලය මේ වන විට පුළුල් පුනර්ජීවනයකට භාජනය වෙමින් පවතින අතර, ඉක්මනින් කාමර 367 ක්, රැස්වීම් අවකාශයන් 15 ක් සහ ආහාර පාන පහසුකම් 8 ක් එළිදක්වනු ඇත. එක් සැලකිය යුතු එකතු කිරීමක් වන්නේ යාබද අක්කර 1.9 ක ඉඩමකි. උඩින් පාලමක් මගින් එය ප්‍රධාන ගොඩනැගිල්ල සමග සම්බන්ධ කළ හැකිය.”

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා (SEC) පනත යටතේ ලැයිස්තුගත කර ඇති මෙම සමාගම එයින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය යෝජනා 2020 ජුනි 18 වන දින Hotel Developers (Lanka) PLC හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සම්මත කරන ලදී.

ඉවත් කරන ලද ආයතනයේ සියයට 100ක් නිකුත් කරන ලද කොටස් මහා භාණ්ඩාගාරය විසින් තබා ගන්නා බව සමාගම ප්‍රකාශ කළේය.

2019 දී සමාගම බිලියන 2.88 ක ආදායමක් ඉපැයුව ද රුපියල් මිලියන 325.6 ක පාඩුවක් ලබා ඇත.

ශ්‍රී ලංකාව 2005 සිට, පෞද්ගලිකකරණය නතර කරන ලද අතර ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ෂෙල් ගෑස් ඇතුළු කලින් පෞද්ගලීකරණය කර තිබූ සමාගම් කිහිපයක් නැවත රජයට පවරා ගන්නා ලදී. ඒ අතරින් විශේෂයෙන්ම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පසුව විශාල පාඩුවක් ලැබීය. වසර 15කදී රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩුව රු. ට්‍රිලියන 1.8ක් බව ද එය වාර්ෂික උපයන විට ගෙවීමේ (PAYE) බදු ආදායම මෙන් 18 ගුණයක් බව ද ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දෙයි.