Israel settlement near Ramallah

ඊශ්‍රායලය යථාර්ථයක් වන සංදර්භය තුළ පලස්තීනය

අජිත් පැරකුම් ජයසිංහ

පලස්තීනය නැවතත් යුද පිටියක් වී තිබේ. ගාසා තීරයේ ඉස්ලාම් අන්තවාදී හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද රොකට් හා ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව, ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලබන ප්‍රතිප්‍රහාරවලින් පලස්තීන ජනයාට සිදු වන හානිය අති මහත් ය.

ප්‍රහාරවලට ලක්ව මිය ගිය දරුවන්ගේ හා වැළපෙන මිනිසුන්ගේ ඡායාරූප මේ දිනවල ලොව පුරා බෙදා හැරෙමින් තිබේ. එසේ කරන්නේ පලස්තීන ජාතිකයන් කෙරෙහි ලෝකයේ අනුකම්පාව දිනා ගන්නට ය. ඊශ්‍රායල් විරෝධය කුළුගන්වන්නට ය. එහෙත්, මේ වන විට ලෝකය ඇති තරම් පලස්තීනයට අනුකම්පා කර තිබේ. අනුකම්පා කළ පමණින් තිරසර සාමයක් ඇති වන්නේ නැත.

පලස්තීන මෙන්ම ඊශ්‍රායල් වැසියන්ට ද අවශ්‍ය වන්නේ තිරසාර සාමයයි. ආරක්ෂාවයි. එය ඇති කරගත හැක්කේ දේශපාලන සම්මුතියකිනි. සම්මුති නිර්මාණය කරගත හැක්කේ දේශපාලනික බලතුලනය අනුවයි. බලතුලනයන් හැම විටම ඓතිහාසික සංදර්භයන් සමග අනුගත වන්නේ නැත.

පලස්තීනය හා ඊශ්‍රායලය වැනි නම් මධ්‍යධරණී මුහුද සහ ජෝර්දාන් නදිය අතරතුර භූගෝලීය ප්‍රදේශය සහ වෙනත් යාබද භූමීන් විස්තර කිරීම සඳහා ඉතිහාසය මුළුල්ලේ භාවිතා කර තිබේ. යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආදී ආගම් ගණනාවක මුල් ඇදුණු ආගමික භූමියක් වන මෙම කලාපය ඉතිහාසය මුළුල්ලේ සිදු වූ ආගමික යුද්ධ, මහා ජන සංචලන ආදිය හේතුවෙන් කලින් කලට දැවැන්ත විපර්යාසයන්ට ලක් වී තිබේ. ඊජිප්තු මම්ලුක් සුල්තාන් රාජ්‍යයේ හා පසුව ඔටෝමාන් අධිරාජ්‍යයේ සිරියානු ප්‍රාන්තයේ කොටසක්ව පැවති පලස්තීනය 1917දී බ්‍රිතාන්‍යය විසින් යටත් කර ගන්නා ලදී. කලක් මෙම ප්‍රදේශය දකුණුදිග සිරියාව ලෙස ද හැඳින්විණි.

යුදෙව්වන් යනු ව්‍යාපාරික ප්‍රජාවක් ලෙස ලොව පුරා ම පැතිර සිටි ජන කණ්ඩායමකි. ඔවුන්ට‍ එරෙහි ජාතිවාදී අදහස් යුරෝපයේ පැතිරෙන්නට පටන් ගත්තේ 19වන සියවස තරම් ඈත කාලයේ සිට ය. විශේෂයෙන් ම ජර්මනිය වැනි නැගෙනහිර යුරෝපීය රටවල සිදු වූ යුදෙව් සංහාරයන් සමග යුදෙව් ජනයා තුළ ද ජාතික හැඟීම් හා ජාතියට දේශයක් පිළිබඳ හැඟීම වර්ධනය විය. අද අපි සියොන්වාදය ලෙස දකින ජාතිවාදයේ නැගීම සිදු වන්නේ මෙම සංදර්භය තුළයි.

වාමාංශික, දක්ෂිණාංශික, ආගමික, නිර්ආගමික ආදී ලොව පුරා යුදෙව් ජනකොටස්වල සහයෝගයෙන් සාමූහික ජනාවාස බිහි කිරීමේ දේශපාලනික සංචලනයක් 19වන සියවසේ සිට සිදු විය. ආලියා නම් වූ මෙම වැඩසටහනේ මුල් පියව‍රේදී 1882 සිට 1903 දක්වා කාල පරිච්ඡේදය තුළ යුදෙව් ජාතිකයෝ 35,000ක් වත්මන් ඊශ්‍රායලය පිහිටි භූමියට සංක්‍රමණය වූ හ. 1890 වන විට ජෙරුසලමේ බහුතර ප්‍රජාව බවට පත් වන්නට ඔවුන්ට හැකියාව ලැබිණි. එහෙත් අවට ප්‍රදේශවල තවදුරටත් බහුතකරය වූයේ ගෝත්‍රික අරාබි ජනයා හා ක්‍රිස්තියානි අරාබිවරුය.

1897දී බිහි වූ පළමු සියොන්වාදී කොංග්‍රසය විසින් පලස්තීන භූමියේ ඊශ්‍රායල් රාජ්‍යයක් බිහි කිරීම පිළිබඳ යෝජනාව සම්මත කර ගන්නා ලදී. එහෙත්, ඔටෝමාන් අධිරාජ්‍යය තුළ මෙම යෝජනාව ඉදිරියට ගෙන යාමට සියොන්වාදීන්ට අවස්ථාව නොලැබිණි.

දෙවන ආලියා ලෙස හැඳින්වෙන 1904 – 1914 සමයේදී යුදෙව් ජාතිකයෝ 40,000ක් දකුණුදිග සිරියාවේ ජෆා නගරය කේන්ද්‍ර කරගෙන පදිංචි වූහ. මෙම සංක්‍රමණිකයන්ගෙන් බහුතරය රුසියාවේ හා පෝලන්තයේ සිදු වූ යුදෙව් සංහාරයන්ගෙන් මිදී පළා ආ ජනයාය. සියොන්වාදීන් සිය ජාතික භාෂාව ලෙස හීබ්‍රෑ බස යළි පිහිටුවන්නේ ද මෙම සමයේදී‍ය.

විසිවන සියවසේ මුල් පනස් වසර තුළ ලොව පුරා යුදෙව්වෝ මිලියන ගණනින් පලස්තීනයට සංක්‍රමණය වී පදිංචි වූහ. මේ දැවැන්ත, සංවිධිත සංක්‍රමණය සාධාරණීකරණය කළ හැකි සිද්ධි දාමයක් ද තිබේ. ඒ අතර ප්‍රධාන ක්‍රියාවලිය වන්නේ නාසිවාදීන් විසින් කරන ලද දැවැන්ත යුදෙව් සංහාරයයි. මෙම වකවානුවේදී යුදෙව් ජනයා මිලියන ගණනින් මිත්‍ර හමුදා සමග යුද්ධයට ද සම්බන්ධ වූ හ. මේ යුද ප්‍රවීණයෝ පසු කලෙක පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් බිහි කිරීමේ සටනට නායකත්වය දුන්හ. පසු කලෙක, දෙවන ලෝක යුද්ධයෙන් දුර්වල වූ බ්‍රිතාන්‍යයට එරෙහිව නිදහස් අරගලයක් ද සියොන්වාදීන් විසින් ආරම්භ කරන ලදී.

අවසානයේදී 1948 වන විට, සම්ප්‍රදායිකව මුස්ලිම් ආධිපත්‍යයක් පැවති පලස්තීනය තුළ බිහි කරන ලද කෘත්‍රිම ජනාවාස ඔස්සේ භූමියට අයිතිවාසිකම් කියමින් ඊශ්‍රායල් රාජ්‍යයක් බිහි කර ගැනීමට සියොන්වාදීහු සමත් වූ හ. වෙන් වෙන්ව පලස්තීන රාජ්‍යයක් හා ඊශ්‍රායල් රාජ්‍යයක් බිහි කිරීමේ එක්සත් ජාතීන්ගේ සැලැස්ම පලස්තීන අරාබිවරු මෙන් ම, යුදෙව් ඊශ්‍රායල්වරු ද ප්‍රතික්ෂේප කළ හ.

පලස්තීන් යුද්ධයෙන් පසු 1949දී පලස්තීනය හා ඊශ්‍රායලය

ඊජිප්තුව, සිරියාව, ජොර්දානය හා ඉරාකය පලස්තීන භූමිය ආක්‍රමණය කළ හ. ඊශ්‍රායලය ද පෙරළා පහර දුන්නේ ය. අරාබි රටවල් විසින් ද අරමුණු කරනු ලැබුවේ ස්වාධීන පලස්තීනයක් බිහි කිරීමට නොව පලස්තීන‍යේ කොටස් තමන්ට ‍ඈඳා ගැනීමටයි.

යුද්ධයෙන් පසු ජෝර්දානය ජෝර්දාන් නදියේ බටහිර ඉවුර තම රටට ඈඳාගෙන එහි පලස්තීන අනන්‍යතාව මකා දමා පලස්තීනුවන් ජෝර්දාන් පුරවැසියන් බවට පත් කිරීමට පියවර ගත්තේ ය. ඊජිප්තුව ගාසා තීරය යටත් ප්‍රදේශයක් බවට පත් කර ගත් මුත් එහි වැසියන්ට ඊජිප්තු පුරවැසිභාවය පිරිනැමුවේ නැත. ඒ වෙනුවට ඔවුන් අනාථයන් පිරිසක් බවට පත් කරන ලදී. ඊජිප්තුව පලස්තීන වැසියන් පාවිච්චි කළේ ඊශ්‍රායලයට එරෙහිව සිය උපායික අරමුණු සාක්ෂාත් කර ගැනීමටයි.

එහෙත්, පලස්තීනුවන්ගේ ජාතික හැඟීම් අකා මකා දැමීමට ඊශ්‍රායලයට හෝ අරාබි රටවලට බැරි විය. 1964දී පලස්තීන විමුක්ති සංවිධානය බිහි විය.

1967දී ඊජිප්තුව, ජෝර්දානය හා සිරියාව ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමට සැරසෙමින් සිටියදී මුලින් පහර දුන් ඊශ්‍රායලය සය දින යුද්ධයකින් මේ රටවල් තුන විසින් අත්පත් කරගෙන තිබුණු ගාසා තීරය, බටහිර ඉවුර හා සිරියාවේ ගෝලාන් කඳුකරය ද ඊශ්‍රායලයට ඈඳා ගත්තේ ය.

වර්තමානයේ පලස්තීන රාජ්‍ය හිමිකම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝකයේ බොහෝ රටවල් විසින් පිළිගෙන ඇතත්, පලස්තීන භූමිය තවමත් ඊශ්‍රායල් ආධිපත්‍යයට යටත් ය. ගාසා තීරයේ ජනගහණයෙන් 99%ක් ම පලස්තීන මුස්ලිම් ය. බටහිර ඉවුරේ 75%ක් මුස්ලිම් ය. ඊශ්‍රායලය තමන්ට හිමි භූමිය යයි සලකන බිමේ මුස්ලිම් ජනගහණය 16%කට වැඩි ය. පලස්තීනුවෝ මේ බිමේ යුදෙව්වන්ට පමණක් දෙවන වන විශාලතම බහුතර ප්‍රජාවයි.

පලස්තීන අර්බුදයට විසඳුම් සෙවීමේදී සියොන් ජාතිවාදයට වි‍රුද්ධ පදනමකින් පලස්තීන ජාතිවාදය සමග සිට ගැනීම ලොව පුරා වාමාංශිකයන් අතර ජනප්‍රිය ස්ථාවරයක් වී තිබේ. එහෙත්, අද වන විට පලස්තීන විමුක්ති අරගලය ද භේද භින්න වී තිබේ.  ගාසා තීරයේ බලය හොබවන හමාස් සංවිධානයත් බටහිර ඉවුරේ බලවත් ෆාටා සංවිධානයත් අතර උග්‍ර ගැටුමක් නිර්මානය වී තිබේ.

පලස්තීනය මෙන් ම, ඊශ්‍රායලය ද තෙල් නිපදවන රටවල් නො වේ. පලස්තීනය රඳා පවතින්නේ කෘෂි ආර්ථිකය හා විදේශාධාර මතයි. ඊශ්‍රායලය වෙළඳපොළ ආර්ථිකයක් ඇති කාර්මික රටකි. දැනට පලස්තීන පාලනය පවතින බටහිර ඉවුර හා ගාසා තීරය අතර නිදහසේ සංචලනය වීමට පලස්තීන වැසියන්ට නොහැකිය. බටහිර ඉවුරේ හෝ ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්ට ඊශ්‍රායලයට ඇතුළු වීමට බලපත්‍රයක් අවශ්‍ය වේ. බලපත්‍ර ලබා ගැනීම අපහසු වන අතර ඕනෑම අවස්ථාවක අවලංගු කළ හැක. බටහිර ඉවුර පුරා ඊශ්‍රායල මුරපොල සිය ගණනක් ඇති අතර ඒවා නිසා පලස්තීනුවන්ට කෙටි දුරක් පවා ගමන් කිරීම දුෂ්කරය. බටහිර ඉවුර බාධකය ඊශ්‍රායලය බටහිර ඉවුරෙන් වෙන් කරන තාප්පයක් සහ වැටකි. පවත්නා තත්වය පලස්තීනයේ සංවර්ධනයට මෙන්ම ජන ජීවිතයට ද දැඩි ලෙස බාධාකාරීය.

පලස්තීන අර්බුදයට එකම භූමියක රාජ්‍ය දෙකක් පැවතිය හැකි විසඳුමක් යෝජනා වී තිබෙන අතර දෙපැත්තේම ජනතාවගෙන් එයට සුබවාදී ප්‍රතිචාර ලැබී තිබේ. එම ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක වන්නේ ඊශ්‍රායල සහ පලස්තීන යන දෙඅංශයේම ස්වයං නිර්ණ මූලධර්මය මත පදනම්වය. එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය විසින් අනුමත කර ඇත.

රාජ්‍ය දෙකේ විසඳුම ක්‍රියාවට නැංවීමේදී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර මායිම්, ජෙරුසලමේ තත්ත්වය සහ පලස්තීන සරණාගතයින්ට ආපසු පැමිණීමේ අයිතිය පිළිබඳ සාකච්ඡාමය එකඟතාවයකට පැමිණීම අවශ්‍යය. දෙපාර්ශ්වය අතර දශක ගණනාවක් තිස්සේ සාකච්ඡා පැවැත්වෙන නමුත් අවසන් එකඟතාවකට පැමිණීමට ඔවුන් සමත් වී නැත.

ද්වි-රාජ්‍ය විසඳුමකට එළඹීම දුෂ්කර වූ සාධක ගණනාවක් තිබේ. ප්‍රධාන ප්‍රශ්නය වන්නේ දෙපාර්ශ්වය අතර විශ්වාසයක් නැතිකමයි. දේශසීමා, ජෙරුසලමේ තත්ත්වය සහ පලස්තීන සරණාගතයින්ට ආපසු පැමිණීමේ අයිතිය යන සියල්ල ඉතා සංකීර්ණ ප්‍රශ්න වන අතර ඒ කිසිවකට පහසු විසඳුමක් නොමැත.

අභියෝග මධ්‍යයේ වුවද, පලස්තීන-ඊශ්‍රායල් ගැටලුවට එකම ශක්‍ය විසඳුම වන්නේ රාජ්‍ය දෙකේ විසඳුමයි. ඊශ්‍රායල සහ පලස්තීන යන දෙඅංශයෙන්ම ස්වයං නිර්ණ අයිතියට ගරු කරන එකම විසඳුම එය වන අතර කලාපය තුළ කල්පවත්නා සාමයක් සහ ආරක්ෂාවක් ඇති කළ හැකි එකම විසඳුම ද එයයි.

ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැක්කේ මේ ඔස්සේ සාකච්ඡා ඉදිරියට ගෙන යාමෙනි. පලස්තීන මෙන් ම ඊශ්‍රායල් වැසියන්ට ද ගෞරවනීය සාමයක් අවශ්‍ය ය. යුද්ධය අවශ්‍ය වන්නේ අන්තවාදීන් අතළොස්සකට හා මේ ප්‍රශ්නයෙන් වාසි ලබන තුන්වන පාර්ශ්වයන්ටය.