මැරෙන එකත් පණ යන වැඩක්
අජිත් පැරකුම් ජයසිංහ
ඊයෙත්, අදත් ගතවුණේ සියදිවි නසාගත්, ඥාති සහෝදරයකුගෙ මරණයේ කටයුතුවලට. එයා අවිවාහකයි. වයස 41යි. උගත්. ඒත්, මානසික අවුලක් තිබුණා. කුරුල්ලෙකු වගේ සැහැල්ලුවෙන් සිටි ඔහු අවුරුදු දහයක් ඇතුළත අක්‍රිය අසරණයෙකු වුණා. අවසානයේදි පෙති ගොඩක් බීලා ගේ ඇතුළෙම මැරුණා. උදේ දොර කඩලා තමයි මිනිය හොයාගත්තෙ.
86 හැවිරිදි, ඇඳෙන් නැගිටින්නට අමාරු, තාත්තාගෙ විදුහල්පති විශ්‍රාම වැටුපෙන් තමයි දෙන්නා මෙලොව නිකම් චලනය වුණේ. මේ දෙන්නා ගැන බලපු අපේ තවත් ඥාති සොහොයුරෙක් මාස තුනකට කලින් රිය අනතුරකින් මියගියා. “දැන් ඉතින් අපිව බලාගන්න කෙනෙක් නැහැ,” ඒ මරණ ගෙදරදි මේ මල්ලි මට කිව්වා.
ඔහු මරණය තෝරාගැනීම බුද්ධිමත් ක්‍රියාවක් වෙන්නට පුළුවන්. ඒත්, මළ සිරුර නිදහස් කරගන්නට අපි හෙන කට්ටක් කෑවා.
මෙවැනි මරණයක් වුණාම මැරිලාද කියලා තහවුරු කරගන්නට ඕනැ. ග්‍රාම නිලධාරිට, පොලිසියට, හදිසි මරණ පරීක්ෂකට දැනුම් දීලා ඒ ඔක්කොම ගෙන්වාගෙන මරණ පරීක්ෂණය කරන්නට ඕනැ. මහේස්ත්‍රාත් පරීක්ෂණයක් කරන්නට අවශ්‍ය වෙන්නත් පුළුවන්. මරණ පරීක්ෂකවරයා දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරනවා.
දැන් මල් ශාලාවකට කතා කරලා හර්ස් ඵකකින් රෝහලට ගෙනියන්නට ඕනැ. නැතිනම් පොලිසිය ඒකට ක්‍රමයක් සම්පාදනය කර ගන්නා තෙක් මිනිය කුණු වෙයි. පොලිසියේ රාජකාරිය භාර නිලධාරි තැන ෆොටෝ, ලේඛන අරගෙන ඇවිත්, රෝහල් පොලිසිය, OPD හරහා මිනිය මෝචරියට යවන්නට ඕනැ. මරණ පරීක්ෂණය කල් යනවා නම්, මිනිය අධිශීතකරණයකට දාගන්න සාමාන්‍යයෙන් පගාවක් අවශ්‍යයි. නැතිනම් ගෙදර ගෙනයන්නට වෙන්නෙ කුණු වෙච්ච මිනියක්.
මිනී කපන එක කරන කම්කරුවන්ට ඒ සේවය වෙනුවෙන් ලැබෙන සමාජ අපවාදයට ගැලපෙන පඩියක් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා උන්ට සන්තෝසම් දෙන්නෙ අනුකම්පාවට. ඒත්, මෝචරියෙ බිස්නස් ගොඩයි. ෂොපිං බෑග් දෙකයි, සබන් කැට දෙකයි, බුලත් විට දෙකයි තාප්පය එහා පැත්තෙ ගෙදරින් ගත්තා. රු. 450යි. සිගරැට් දෙකකුත් ඉල්ලුවා.
මේ අතර සමීප ඥාතීන් දෙදෙනෙකු පොලිසියට කටඋත්තර දෙන්න ඕනැ. මං එක්කෙනෙක්.
අධිකරණ වෛද්‍ය නිලධාරිත් නැවත ප්‍රශ්න කරනවා. ඊට පස්සෙ එයා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට යනවා.
ඒක කරලා ඉවර වෙලා මරණයට හේතුව කිව නොහැකි නම්, අදාළ සාම්පල රස පරීක්ෂකට යොමු කරලා, විවෘත තීන්දුවක් දීලා මිනිය නිදහස් කරනවා. පොලිස් රාළහාමි ඊළග දවසේ අර සාම්පල අරගෙන බස් එකේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යන්නට ඕනැ.
මේ මරණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා මරණයට හේතුව අධි මාත්‍රාවෙන් ගත් මානසික රෝග ඖෂධ විෂවීම බව තීරණය කළා. ඉන් පස්සෙ ඒ තීන්දුව අරගෙන නැවත ඕපීඩී එකට, රෝහල් පොලිසියට ගිහින්, ගේට් පාස් අරවා මේවා අරගෙන, ඒවායේ ෆොටෝ කොපිත් අරගෙන අදාළ තැන්වලට ගිහින් දීලා නැවත මෝචරියට ගිහින්, මල් ශාලාවෙන් ගෙනාපු හර්ස් එකෙන් මිනිය මල් ශාලාවට අරගෙන එන්නට ඕනැ.
ලැබෙන්නෙ කටර් එකකින් පපුවේ සිට බඩ පලලා, ඒ හිස් කුහරය තිබුණු ඉන්ද්‍රිය ටික අර ෂොපින් බෑග් එකට පුරවලා දෙපරැන්දෙ ගහලා.
ඊළගට ඒ නියෝගයත් අරගෙන පොලිස් රාළහාමි එක්ක මරණ පරීක්ෂක හමුවෙන්නට යන්නට ඕනැ. මරණ පරීක්ෂක නැවත ප්‍රකාශ සටහන් කරගන්නවා. ඇසින් දුටු කෙනෙකුත් කැඳවන්නට වෙනවා. ඊට පස්සෙ මිනිය භූමදානය කරන්නට අවසරය සමග මරණ පරීක්ෂක වාර්තාව ලැබෙනවා. ඒකත් අරගෙන රෙජිස්ට්‍රාර් හොයාගෙන යන්නට ඕනැ. මරණ සහතිකේ හරියට ගන්න එක වැදගත්. ඒකට දැවැන්ත ෆෝම් එකක් පුරවන්නට ඕනැ. මැරුණු පුද්ගලයාගෙ මව්පියන්ගෙ නම් පවා හරියට ලියන එක වැදගත් වෙනවා.
පොලිස් රාළහාමිත් ඉතින් මේ වැඩ ටිකට දැවැන්ත මහන්සියක් වෙනවා. එයා ගැනත් බලන්න ඕනැ.
ඔය ඔක්කොම ටික ඉවර කරගන්න දවස් දෙකක් ගියා. මරණ ගෙදර වැඩ කටයුතුත් ගොඩයි. වල කපන්නට ඕනැ. කොඩි දාන්න, සරසන්න ඕනැ. පන්සල් ගිහින්, හාමුදුරුවරුන් වඩම්මාගෙන ඇවිත්, දැහැත්, ගිලන්පස පුදලා, පාංසකූලෙ දීලා හවස මිනිය වළ දැම්මා. ඔක්කොටම හිටියෙ අපි ඥාති සහෝදර සහෝදරියන් කීපදෙනෙකු විතරයි.
සෙනසුරාදා, ඉරිදා නිසා හොඳයි. කොහොම වුණත්, මං දැන් මැරිලා. එහෙම කියලාත් බැහැ. අද හවස ගමේ මළගෙදරකටත් යන්නට තියෙනවා.
සියදිවි නසාගන්න එකත් ලේසි නැහැ. රජය ඒ වෙනුවෙන් අති විශාල කාලයක් වැය කරමින් රාජකාරි රැසක් කරනවා. මැරෙන එකත් රටට ලොකු බරක්.
මිනී පෙට්ටියේ පියන වහන්නට කලින් අමාරුවෙන් වත්තං කරගෙන මිය ගිය අයගේ තාත්තාව පුතා ළඟට එක්ක ආවා. තාත්තා කිව්ව වචන ටික මෙහෙමයි.
“උඹට පිං සිද්ධ වෙනව පුතේ
මං උඹට මොනව කියන්නද?
උඹ උගත් මිනිහෙක්.
මට කියන්න තියෙන්නෙ එච්චරයි.”