තට්ටු දෙකේ බස්

අරාජිකවාදී පොදු ප්‍රවාහනය විධිමත් කිරීම

ලංකාවේ අරාජික වෙළඳපොළ බලවේග අතර ප්‍රවාහන ක්ෂේත්‍රය සුවිශේෂීය. දුම්රිය සේවය නිලධාරිවාදයට හා වෘත්තීය සමිති අරාජිකවාදයට යට වූ අකාර්යක්ෂම සේවාවකි. මේ වන විට එන්ජිමේ එල්ඊඩී ලයිට් ඇටවූ දුම්රිය ද ඉඳහිට දක්නට ලැබේ. අරගල සමයේදී ‘කපුටු කාක් කාක් කාක් – බැසිල් බැසිල් බැසිල් බැසිල්’ තාලයට නලාව හඬවන දුම්රිය රියදුරන් මෙම සටහන තබන මා දැක තිබේ.

නරකම තත්වය දක්නට ලැබෙන්නේ මගි බස් ප්‍රවාහනයේය. ලොරි චැසිවල බොඩි ගැසූ ඇතැම් පොදු ප්‍රවාහන ලේලන්ඩ් බස් හතර අතින් නිවෙන දැල්වෙන එල්ඊඩී ලයිට් සවි කළ, ඇතුළත නයිට් ක්ලබ් වැනි, සංගීත නලා පමණක් නොව සයිලන්සරයට සවි කරන ලද සද්දෙ වැඩි කරන නලා ද ඇති අමුතුම වාහන විශේෂයකි. මේවායින් ඇතැම් ඒවායේ බෝඩ් එක නිල්පාට නිසා ඒවායේ ගමන් ගාස්තුව සාමාන්‍ය ගමන් ගස්තුව වෙන් එකහමාරකි. අනෙක් බස්වලින් කිසිදු වෙනසක් නැති මුත්, ඒවාට අර්ධ සුඛෝපභෝගී යයි කියනු ලැබේ. රජය ජුලි මස පළමුවන දින සිට මේ බස් සේවාව නවත්වන බව කීවද ඒවායේ අයිතිකාරයන්ගේ අඬෝඇඬියාව හා වර්ජන තර්ජන දැන් ආරම්භ වී තිබේ. ඒ නිසා නතර වීම ෂුවර් නැත.

බස්වලට දෙන රූට් පර්මිට් හෙවත් මාර්ග බලපත්‍ර ද රේඩියෝ හා රූපවාහිනී විකාශන බලපත්‍ර සේ අවිධිමත්, දේශපාලන හිතවත්කමට ලබාදෙන, අතින් අත හුවමාරු වෙන අමුතු ලේඛන වර්ගයකි. පසුගිය සඳුදා මාර්ග අංක 174 කොට්ටාව බොරැල්ල බස් වර්ජනයක් පැවති බව ද හේතුව අලුතෙන් මාර්ග බලපත්‍ර දෙකක් නිකුත් කිරීම බව ද අසන්නට ලැබිණි.

මතුගම වැනි නගරවල සිට අධිවේගී මාර්ගයේ ධාවනය වන කොළඹ බස් කොට්ටාවේ සිට බොරැල්ල දක්වා ධාවනය වන්නේ මේ 174 මාර්ගයේය. මේ බස් අන්තර් නගර ශීඝ්‍රගාමී බස් සේවාවක් වන මුත්, කොට්ටාවේ සිට ඒවා මැද සීට් අකුළා හිටගෙන සෙනග අදින බස් සේවයකි. ජයවර්ධනපුර, බත්තරමුල්ල, බොරැල්ල වැනි පැතිවල කාර්යාලවල සේවය කරන බස් වහල් මගී පිරිසක් මේ බස්වලට සිටිති. උන් බසයට ගොඩ වූ පසු සීට් දිගහැරගෙන වාඩි වන්නේ නැත. කොන්දොස්තරලා උන්ට කියන්නට ඕනෑ ද නැත. උන් අනෙක් මිනිසුන්ගේ කරවල නැග පොල් පටවන්නා සේ සෙනග පැටවීමට කොන්දොස්තරලාට උදව් කරති.

අධිවේගී බස්කාරයන්ගේ මේ නීති විරෝධී වැඩේ නිසා ගාට ගාටා යන 174 බස්වලට කෙළ වී තිබේ. ඒ නිසා දැන් ඔවුන් අධිවේගී බස්කාරයන්ට පහර දෙති. පසුගියදා තවලම සිට කොළඹ යන අධිවේගී මාර්ගයේ ධාවනය වන බසයක රියදුරුට හා කොන්දොස්තරට පහර දුන් බව ද වාර්තා වේ.

අරාජික බස් කර්මාන්තය ගැන මෙවැනි විස්තර ඕනෑ තරම් තිබේ.

බස් අයිතිකාරයන් වැඩි පිරිසක් චන්ඩිය. ඇතැමෙකු පාතාලයෝය. බස් සේවකයන් අතරින් සැලකිය යුතු පිරිසක් ද කුඩුකාරයන්, බේබද්දන්, රස්තියාදුකාරයන් වැනි අයයි. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල නිලධාරීහු ද චන්ඩිකමට හා මුදලට යට වෙති. නියාමනයක් ඇත. එහෙත්, එය තග් ලෙවල් එකේ වැඩකි.

ලංගම කියා එකක් ද ඇත. ඒ බස්වල හෝ ඒවායේ සේවකයන්ගේ කිසිදු වෙනසක් නැත. ඔවුන් ද අරුන් සේම ෆෝන් කනේ ගසාගෙන අධි වේගයෙන් අපරීක්ෂාකාරීව ධාවනය කරති. මහ මග රණ්ඩු වෙති. හදිසි අනතුරු කරති. මාටියා ගසති. ඇතැම් විට පෞද්ගලික බස්වලින් පගා ගසා නිකම් යති. ලංගමෙන් දෙන සීසන් එක රැගත් පාසල් ළමයින් ඔවුන්ට සතුරන් පිරිසකි.

මේ අරාජිකත්වය කාලයක් තිස්සේ නිර්මාණය වූ එකකි. රූපවාහිනී හා ගුවන් විදුලි විකාශන බලපත්‍ර වගේමය. පෞද්ගලික ව්‍යවසායකයන් දැන් බස් සඳහා ආයෝජන කර ඇති නිසා ඔවුන් ගැන ද සිරස ගැන සේම සිතන්නට සිදු වී තිබේ. ඔවුන් නැති නම් පොදු ප්‍රවාහනයක් ද නැත.

කෙසේ වෙතත්, මේ රට වෙනස් කරන්නට නම්, පොදු ප්‍රවාහනය විධිමත් කිරීම අත්‍යවශ්‍යය. බස් සම්බන්ධයෙන් යමක් කිරීම එහිදී අත්‍යවශ්‍යය. මාර්ග සඳහා බස් සමාගම් පිහිටුවා, බස් හිමියන් එම සමාගම්වල බස් සැපයුම්කරුවන් බවට පත් කර, ඩිජිටල් ටිකට් වැනි ක්‍රම හඳුන්වා දී ආදායම් හා ලාභ බෙදී යන ක්‍රමයක් සකසා බස් සේවය කලට වේලාවට දුවන විධිමත් සේවාවක් බවට පත් කිරීමට හැකිය. ලංගම බස් සේවා නියාමනය සඳහා යෙදවිය හැකිය.

එහෙත්, ලංකාවේ බස් ව්‍යාපාරිකයන් දිගු කලක් තිස්සේ හුරු වී තිබෙන අරාජිකවාදී ව්‍යාපාරික සංස්කෘතියට එයින් එල්ල වන අභියෝගය හමුවේ දැඩි ප්‍රතිරෝධයක් එල්ල වීම නිසැකය. බස් හිමියන් සමග සාකච්ඡා කර, අවබෝධ කර දී, ජේවීපීකාරයන් මැද්දට පැන අනිවාර්යයෙන් පතුරුවා හරින කඩාකප්පල්කාරී දුර්මත පරාජය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එහෙත්, අධිෂ්ඨානයක් සහිත නායකත්වයකට මේවා කරන්නට බැරි දේ නොවේ.