Tatyana Lee Jayaratne herself is an active sports star

වින්දිත ගැහැණිය වෙනුවට චැම්පියන් ස්ත්‍රිය

අජිත් පැරකුම් ජයසිංහ

බොහෝ ස්ත්‍රීවාදීන් කරන්නේ කාන්තාව වින්දිතයකු ලෙස නැවත නැවත නිරූපණය කිරීමයි. කාන්තා දුක් අඳෝනා පිරි කලා නිර්මාණ මීට නිදසුන් වේ. ඒවා වැඩියෙන් ජනප්‍රිය වන්නේ ද ඊනියා ස්ත්‍රීවාදී පිරිමින් අතරමය.

පුරුෂාධිපති ව්‍යූහයන් තුළ ස්ත්‍රියගේ වින්දිතභාවය නැවත නැවත අවධාරණය කිරීමෙන් පැවති ඒකාකෘති ප්‍රශ්න කිරීමක් සිදුවන මුත්, ඒවා අලුත් වටයකින් නැවත වැරගැන්වීමක් ද සිදු වේ.

පුරුෂාධිපති ආකෘතීන් වෙනස් කරන විපර්යාස කාරකයන් වන්නේ තම හැකියාවන් පූර්ණ කරගැනීම සඳහා සටන් කරන චැම්පියන් ස්ත්‍රීන්ය. කලාවෙහි තිබිය යුත්තේ ඔවුන්ගේ කතාය. නැතිනම් ඔවුන්ගේ දෘෂ්ටි කෝනය ය.

පවතින පුරුෂාධිපති ව්‍යූහයන් එක රැයින් වෙනස් වෙන්නේ නැත. එමෙන්ම චැම්පියන්වරියන් වීමට එම ව්‍යූහයන් වෙනස් වන තුරු බලා සිටීම ද අවශ්‍ය නැත. අවුරුදු දහස් ගණනක ඉතිහාසය තුළ සිදු වූ පරිවර්තනයක් එහෙම ලේසියෙන් ආපසු හැරවිය නොහැකිය. එසේම, එකී පරිවර්තනයට පෙර සමාජයක තිබුණු ක්‍රමයක් වෙත ආපසු යන්නට හැකි වේ යයි සිතීම ද මුළාවකි. යා හැකි වන්නේ අලුත් ක්‍රමයක් වෙතය. එය කුමක්දැයි පරිකල්පනය කළ යුතුය.

එය උදාහරණයකින් පෙන්වා දෙන්නේ නම්, දෙමළාගේ ප්‍රශ්නයට විසඳුම වන්නේ ආපසු පූර්ව යටත් විජිත යුගයට යාම නොවේ. සිංහල, දෙමළ ආදී දේශපාලන අනන්‍යතා ඉක්මවා යන අලුත් දේශපාලන අනන්‍යතාවක් ගොඩනැගීමයි. දකුණු ආසියාතික දේශපාලන අනන්‍යතාවක් ලෙස මම මෙය පරිකල්පනය කිරීමට කැමැත්තෙමි.

ස්ත්‍රී පුරුෂ LGBTIQ+ සමාජ ලිංගික අනන්‍යතාවලට බෙදෙනවා වෙනුවට මේ සියල්ල ඉක්මවා යන පොදු සමාජ ලිංගික අනන්‍යතාවක් අපට නිර්මාණය කරගත නොහැකිද?

දෙමළාගේ ප්‍රශ්නය කෙරෙහි දෙමළෙකු තරම් ම සංවේදී විය හැකි සිංහලයෙකුට දෙමළ ප්‍රශ්නයට විසඳුම් ලබාදීම වෙනුවෙන් මැදිහත් විය හැකිය. ස්ත්‍රිය පිළිබඳ ප්‍රශ්නයේදී ද සිදු විය යුත්තේ එයයි. ස්ත්‍රියගේ ප්‍රශ්නය පිරිමියකු ලෙසම අවබෝධ කරගත යුතු අතර පුරුෂාධිපති ව්‍යූහයන් වෙනස් කිරීමට සටන් කළ යුත්තේ පුරුෂයින් ලෙසය. එසේ නොමැතිව තමන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන පසුතැවීමෙන්, වරදකාරී වීමෙන් හෝ එය වෙනස් කරගැනීමට උත්සාහ කිරීමෙන් නොවේ.

අශෝක හඳගමගේ ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ ලෙස්බියන් හෝ සංක්‍රාන්ති ලිංගික ස්ත්‍රියක් පිරිමියකු ලෙස රඟපාන්නට යාමෙන් අවමානයට ලක් වේ. එහෙත්, ඇය අවසානයේදී තම ස්ත්‍රී ලිංගය ප්‍රදර්ශනය කර පෙන්වයි. එයින් ඇය පසුපස එන පීඩකයන් අන්දමන්ද වේ. ඇය එතනින් ඉදිරියට යා යුතු වන්නේ ලෙස්බියන් හෝ සංක්‍රාන්ති ලිංගික ස්ත්‍රියක වශයෙනි. ඇය පිරිමියකු යයි පෙන්විය යුතු නැත. තම පෙම්වතියගේ යෝනිය තුළට කළුවරේ ලී කෑලි ඇතුළු කළ යුතු නැත. ඇත්තටම එහෙම දෙයක් සිදු වන්නට ද ඉඩක් නැත.

ස්ත්‍රීවාදී සිනමාකරුවකු වූ අශෝක හඳගම තමන් පසුබිම් කරගන්නා සැබෑ කතාවේ චරිත දෙක අතර ඇත්තේ ලෙස්බියන් සම්බන්ධයක් බව වටහා ගන්නට අසමත් වෙයි. පුරුෂෝත්තමවාදී පුවත්පත් වාර්තා විෂම ලිංගිකත්වයට මූලිකත්වය දෙන ඇසකින් විග්‍රහ කිරීම එම චිත්‍රපටයේ ඇති ගැටලුවයි.

පහත දැක්වෙන්නේ මගේ මෙම දේශපාලනික පදනමෙන් යුතුව මා ලියූ කෙටිකතාවකි. කියවන්න:

සූදුරු අබා

 March 2, 2024

සූදුරු අබා කියන නම අපි හදාගත්තෙත් කොල්ලන් දාපු අර නම විදියටමයි. ඇත්තම කියනවා නම්, ඒක අපි ගත්තෙ ශ්‍රීමතී තිලකරත්න කියල ටිකක් පැරණි ගායිකාවක් කියන ආදර සුබා කියන ගීතයේ පදවලින්…….